Ads 468x60px

.

ඇපල් වෙළෙන්දන් දෙදෙනාගේ යට ඇඳුම්වල මත්කුඩු

හොරණ - ගුරුගොඩ නිවාඩු නිකේතනයක ඉදිකිරීම් කටයුතු කරන පෙදරේරුවන් සේ වෙස්‌වලාගෙන කළ වැටලීමකදී රුපියල් ලක්‍ෂ දෙකක්‌ වටිනා මත්කුඩු යට ඇඳුමේ සඟවාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (08 දා) අත්අඩංගුවට ගත් බව බස්‌නාහිර පළාත් බුද්ධි කොට්‌ඨාශය (පානදුර) කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ නගරයේ ඇපල් වෙළෙදාමේ නිරත අය බව පොලිසිය කියයි.

පානදුර පළාත් බුද්ධි කොට්‌ඨාශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක පී. හේවාවසම් මහතා වෙත ඉංගිරිය මඩල ප්‍රදේශයේ පුද්ගලයකුට ලබාදීම සඳහා මත්කුඩු රැගෙන පුද්ගලයන් දෙදෙනකු පැමිණෙන බවට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා පැමිණ නිවාඩු නිකේතනයේ කාමරයක්‌ කුලියට ගෙන සුළු වේලාවක්‌ තුල කළ වැටලීමකදී මත්කුඩු සමඟ ඔවුන් දෙදෙනා කොටුකර ගැනීමට පොලිසියට හැකිවී ඇත.

සැකකරුවන් මේ අයුරින් ඇපල් වෙළෙදාම් කරන මුවාවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට මත්කුඩු තොග පිටින් බෙදා හැර ඇති බව පොලිසිය මෙතෙක්‌ කළ පරීක්‍ෂණ වලදී හෙළිවී ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් හතලිස්‌ එකක්‌ හා මිලිග්‍රෑම් 160 ක්‌ සොයා ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ පර්න්වත්ත හා නුවරඑළිය පදිංචි වයස අවුරුදු 23 හා 27 අතර පසුවන්නන් බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් දෙදෙනාට මත්කුඩු ලැබුණු ආකාරය සොයා ගැනීම සඳහා රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.

බස්‌නාහිර පළාත් බුද්ධි කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රවි සෙනෙවිරත්න, සහකාර පොලිස්‌ අධිකාරි ගාමිණී පෙරේරා, පානදුර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි එච්. එම්. ධර්මසේන, හොරණ සහකාර පොලිස්‌ අධිකාරි සමන් රත්නායක (කළුතර) බස්‌නාහිර පලාත් බුද්ධි කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නාලක සෙනෙවිරත්න, උප පොලිස්‌ පරීක්‍ෂක සාලිය (පානදුර) බස්‌නාහිර පළාත් බුද්ධි කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක ජී. හේවාවසම් (අලුත්ගම) බස්‌නාහිර පළාත් බුද්ධි කොට්‌ඨාසයේ පොලිස්‌ සැරයන් (55284) අල්විස්‌ මහත්වරු පරීක්‍ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails