Ads 468x60px

.

පෙම්වතිය බලන්න ගිය පෙම්වතාට ග්‍රීස්‌ යකෙක්‌ යෑයි සිතා පහර දීලා

රාත්‍රි කාලයේ සිය පෙම්වතිය හමුවීම සඳහා ඇගේ නිවසට හොරෙන් ගිය තරුණයකුට "ග්‍රීස්‌ යකෙක්‌" යෑයි රැවටී පෙම්වතියගේ නිවස අවට පදිංචිකරුවන් පහරදීම නිසා ඔහු බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව හිඟුරක්‌ගොඩ පොලිසිය කියයි.

ඉකුත් සෙනසුරාදා (06 දා) රාත්‍රි මෙම සිද්ධියට ලක්‌ව ඇත්තේ හිඟුරක්‌ගොඩ සිරිකෙත ප්‍රදේශයේ තරුණයෙකි. ඔහු එදින හොර රහසේ පෙම්වතිය හමුවීම සඳහා ගිය මොහොතක අසල්වාසී කාන්තාවක මෙය දැක තිබේ. මේ දිනවල ග්‍රීස්‌ යකුන් හා භූතයන් ගැන නිතර කතා බහක්‌ ඇතිවී තිබෙන බැවින් තරුණයා දුටු කාන්තාව ග්‍රීස්‌ යකෙක්‌ යෑයි කියා මහ හඬින් කෑ ගසා තිබේ. ඇගේ කෑ ගැසීමට එක්‌වූ අවට පදිංචිකරුවන් පෙම්වතියගේ නිවසේ වැසිකිළියේ වහලය උඩ සිටි පෙම්වතා බිමට ඇද දමා ඔහුගේ කකුලක්‌ කඩා දමා බරපතල ලෙස පහරදී තිබෙන බව පැවසේ. පෙම්වතියගේ නිවසේ අය සිද්ධියට මැදිහත්ව එහි සුළමුල සොයා ගන්නා විට පෙම්වතාගේ කකුල තුන් පොළකින් කැඩෙන ලෙසට ගම්වාසින් පහර දී තිබු බව හිඟුරක්‌ගොඩ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ඩී. එම්. දරමිටිපොල මහතා පැවසීය.

තරුණයාට ඉවක්‌ බවක්‌ නොමැතිව පහර දුන් පුද්ගලයන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් හිඟුරක්‌ගොඩ පොලිසිය වැඩිදුරටත් පවසයි.
 
Related Posts with Thumbnails