Ads 468x60px

.

තර්ජනයන්ට සැලෙන්නේ නෑ-වැඩපිළිවෙලේ කිසිදු වෙනසක් නෑ

කිසිදු හේතුවක් නිසා තමන් විසින් දේශනා කළ දාර්ශනික සත්‍යයන් වෙනස් නොකරන බව බෙල්ලන්තර සදහම් ධර්මාශ්‍රමයේ පූජ්‍ය පිටිදූවේ සිරි සමන්තභද්‍ර හිමියන් පවසයි. තමන් බෞද්ධ භික්ෂූන් කිහිපදෙනකුට විවෘත ආරාධනාවක් කරනු ලැබුවේ ධර්මයේ දාර්ශනික ගැටලු පිළිබඳ ගැඹුරු ධර්ම සාකච්ඡාවකට මිස පොලු මුගුරු රැගත් හරඹයකට නොවන බව උන්වහන්සේ අද දෙරණට කියා සිටියේය.

එසේ වුවද ඊයේ දිනයේ භික්ෂූන් පිරිසක් හදිසියේ තම ධර්ම ආශ්‍රමයට කඩාවැදී එහි දේපළවලටද හානි සිදුකරමින් කලහකාරී ලෙස හැසිරුණු බැවින් තමන්ට නීතිමය වශයෙන් පොලිසිය කැඳවා කටයුතු කරන්නට සිදුවූ බව සමන්තභද්‍ර හිමියන් පෙන්වාදෙයි. එකී භික්ෂූන් තමන්ට අසභ්‍ය වචනයෙන් බැණවදිමින්,නින්දා අපහාස කරමින් තර්ජනය කළා විනා තමා විසින් විමසන ලද කිසිදු ධර්ම කරුණකට නිසි පිළිතුරු නොදුන් බව උන්වහන්සේ කියා සිටියි.
ඊයේ සිදුවීමෙන් පසු තමන් මෙතෙක් කරගෙන ආ ආකාරයේ ධර්ම ප්‍රචාරක කටයුතු නොකරන බවට පොරොන්දුවී ඇති බවට මෙම සිදුවීමට අදාළ අනෙක් භික්ෂු පාර්ශවය විසින් මාධ්‍යයට කරුණු දක්වා තිබීම මුසාවක් මිස සත්‍යයක් නොවන බව සමන්තභද්‍ර හිමියන් සඳහන් කරයි.

තමාට පැමිණෙන තර්ජන ගර්ජන හමුවේ සත්‍ය දහමක් දේශනා කළ කිසිදු ශාස්තෲවරයකු නිහඬ නොවූ බව සිහිපත් කළ උන්වහන්සේ තම ධර්ම ආශ්‍රමයේ කටයුතු පෙරපැවති ආකාරයෙන්ම අඛණ්ඩව ඉදිරියට කරගෙන යන බවත්,බුදුන් වහන්සේගේ සත්‍ය ධර්ම පණිවිඩය ‍මින් ඉදිරියටත් ලෝකය හමුවට ගෙනියන බවත් කියා සිටියේය. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත්,අවිගත්තෝ අවියෙන්ම නැසෙන බවත් බුදුන්වහන්සේ විසින් දේශනා කළ බව සිහිපත් කළ සමන්තභද්‍ර හිමියන් තමාට එරෙහිව අවි අමෝරාගන්නා අයද ඒ බව සිහිතබාගත යුතු බව පෙන්වා දුන්නේය.

තමන්ට එරෙහිව මෙවැනි මර්දනයක් මින් ඉදිරියට ක්‍රියාත්මක නොවිය යුතු බවත්,නීතිය අතට ගැනීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත් ,ධර්මය පිළිබඳ ඕනෑම දාර්ශනික ගැටලුවක් විසඳාදීමට හා සත්‍ය ධර්මය වෙනුවෙන් පෙනී සිටින්නනට තමන් නිරන්තරයෙන් සූදානම් බවත් උන්වහන්සේ පැහැදිලි කළේය.
බුදුන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය තමා ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇති බවත්,ගැඹුරු ධර්ම කාරණාවන් පිළිබඳ තමාට මනා දැනීමක් ඇති බවත් කියා සිටි උන්වහන්සේ සත්‍ය ධර්මය වෙනුවෙන් පෙනී සිටින නිසාම කිසිවෙකුටත් බිය නොවන බවද අවධාරණය කළේය.
 
Related Posts with Thumbnails