Ads 468x60px

.

එප්පාවල එකම පවුලේ හතර දෙනෙකු කපා කොටා මරා දමලා

එප්පාවල, කටියාව යාය 01 ජනපදයේ නිවසක පදිංචිව සිටි එකම පවුලේ සිව් දෙනකු ඉතා අමානුෂික අන්දමින් කපා කොටා ඝාතනය කර තිබේ. පෙරේදා (17 වැනිදා) රාත්‍රි කාලයේ සිදුවී ඇති මෙම අවාසනාවන්ත සිද්ධියෙන් අඹු සැමි යුවළක හා ඔවුන්ගේ මව හා පුංචි අම්මා ඝාතනයට ලක්‌ වී තිබේ.


මෙලෙස ඝාතනයට ලක්‌වී ඇත්තේ වර්ණපටබැඳිගේ මධුසංඛ පෙරේරා (23), දිසානායක නිලුකා චාන්දනි පතිරණ (23) යන අඹුසැමි යුවළ හා බිරියගේ මව වූ මන්නානි පතිරැන්නැහැ ලාගේ සීතා හේමලතා (55) සහ පුංචි අම්මා වූ මන්නානි පතිරැන්නැහැලාගේ මාලනී ස්‌වර්ණලතා (52) යන අයයි. මින් නිලුකා චාන්දනි ගැබිනියක බව ද හෙළිවී ඇත. ඝාතනයට ලක්‌වූ මාලනී ස්‌වර්ණලතා මෙම නිවසේ සිය මව සහ පියා සමඟ ජීවත්ව සිට ඇත. දෙමාපියන්ගේ වියෝවෙන් මාලනී තනිවූවාය. මේ නිසා ඇගේ තනියට මාලනීගේ වැඩිමහල් සොහොයුරිය වූ සීතා හේමලතාත්, ඇගේ දියණියත්, බෑණාත් පැමිණ ඇත.



එසේ සිටියදී ඝාතනයට ලක්‌වූ මාලනීගේත්, සීතාගේත්, බාලසහෝදරයන් දෙදෙනකු එම ඉඩමෙන් කොටස්‌ ලියා දෙන්නැයි බැණ තර්ජනය කරන්නට පටන්ගෙන ඇත. මේ කරදර ඉවසනු නොහැකිව සීතා එප්පාවල පොලිසියට පැමිණිලි කර තිබේ. පසුව මේ සම්බන්ධයෙන් නඩුවක්‌ද විභාගයට ගැනිණ. දැනටමත් එම නඩුව විභාග වෙමින් පවතී. මෙම ඝාතන සිද්ධිය වී ඇති දින සීතාගේත්, මාලනීගේත් වැඩිමහල් සොහොයුරියකගේ පුතකු එම නිවසට පැමිණ රූපවාහිනිය නරඹා කතාබහ කර ගොස්‌ තිබේ. මෙම සිව් පුද්ගල ඝාතන ඉන් අනතුරුව සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ඝාතනයට ලක්‌වූ මාලනීගේත් නිලූකා හා මධුසංඛගේත් මළ සිරුරු නිවස තුළත්, සීතාගේ සිරුර අසල වත්තක තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. ඇගේ කෙස්‌ වැටියද කපා දමා තිබිණි. ඝාතනයට ලක්‌ වූ මධුසංඛ පෙරේරා ආබාධිත යුද හමුදා සෙබළකු බවත්, ඔහු නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී ඝාතනයට ලක්‌වී ඇති බවත් ඔහු පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු අයෙකු බවත් පොලිසිය කියයි. මෙම සිව් පුද්ගල ඝාතනවලට සැකකරන එක්‌ අයෙකු ඊයේ (18 වැනිදා) උදේ නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට භාරවී තිබේ. මේ පුද්ගලයා ඝාතනයට ලක්‌වූ සීතාගේ හා මාලනීගේ සොහොයුරෙකි.

මෙම සිව් පුද්ගල ඝාතන සිද්ධිය දැකබලා ගැනීමට විශාල පිරිසක්‌ එම නිවස කරා පැමිණි අතර ඉන් මුළු එප්පාවල කටියාව ප්‍රදේශවාසීහු දැඩි කම්පාවට පත්වී සිටිති. සිද්ධිය වූ ස්‌ථානයට පැමිණි තඹුත්තේගම වැඩබලන මහෙස්‌ත්‍රාත් පුෂ්පානි වික්‍රමනායක මහත්මිය මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වූවාය.

මෙම ඝාතනයන්ට සම්බන්ධ අනෙක්‌ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා තිබේ. සියලු ඝාතන කඩුවක්‌ භාවිත කර සිදුකරන්නට ඇතැයි සැකකෙරේ. මේ පිළිබඳව උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති සී. ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි දයානන්ද, අනුරාධපුර පොලිස්‌ අධිකාරි මහේෂ් සේනාරත්න, අනුරාධපුර සහකාර පොලිස්‌ අධිකාරි රුවන් සේනාරත්න යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ එප්පාවල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක විජය කුමාරසිරි මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.
පොරොවෙන් කපා ඝාතනය කළ එම පවුලේම සොහොයුරෙකු වන සැකකරු සිද්ධියෙන් පසු නීතිඥවරයකු සමඟ තඹුත්තේගම පොලිසියට භාරවි තිබේ. "සෑර් කාලයක්‌ තිස්‌සේ මම ඉඩම් නඩුවකට පැටලී ඉන්නවා. හතර දෙනාටම කෙටුවට පස්‌සෙ මම අයියාගේ ගෙදරට ගිහින් මේ ගැන මුලින්ම ඔහුට කිව්වා. ඒ පොරොවත් අද මම ඉදිරිපත් කරනවා" යි ඔහු පොලිසියට කීය. මෙම සැකකරු 37 හැවිරිදි දෙදරු පියෙකි. අනෙක්‌ සැකකරු ඊයේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.


 
Related Posts with Thumbnails