Ads 468x60px

.

පුහුණුකරුගෙන් සචින්ට කම්මුල් පහරක්

ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් ට ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශිෂ්ට ක්‍රීඩකයෙකු වීමට මං විවර කළ ඔහුගේ පුහුණුකරු රාමාකාන්ට් අක්රි කාර් පසුගියදා 79 වැනි වියට පා තැබීය.ඒ නිමිත්තෙන් පැවැති උපන්දින උත්සව යේදී ඔහු විසින් මෙතෙක් සඟවා ගෙන සිටි ටෙන්ඩුල්කාර් පිළිබඳ රහසක් ප්‍රසිද්ධියට පත්විණි.පුහුණු කඳවුරක් පැවැත්වීම සඳහා ඩුබායි රාජ්‍යයට පැමිණි අවස්ථාවකදී අක්රිකාර්, ටෙන්ඩුල්කාර්ගේ සාර්ථකත්වය පිටුපස ඇති රහස වන්නේ ලකුණු ලබා ගැනීමට ඔහු තුළ තිබූ බලවත් ආශාව බව කියා තිබේ. එහෙත් ඔහු අනාවරණය නොකළ දෙය වූයේ එම ආශාව ටෙන්ඩුල් කාර්ගේ සිතට කාවැද්දීම සඳහා වෙහෙස වී වැඩ කිරීමේ වැදගත්කම ඔහුට වටහා දීම පිණිස අක්රිකාර් ඔහුගේ ජනපි‍්‍රය ශිෂ්‍යයාට තදින් පහර දීම පිළිබඳවය.

අක්රිකාර් මෙතෙක් රහසක්ව තබා ගෙන සිටි ඒ සිද්ධිය, ඔහුගේ උපන්දිනය සැමරීම පිණිස බන්ද්‍රා හි මහාරාස්ත්‍ර ක්‍රිකට් සංගම් කාර්යාලයේ පැවැති උත්සවයකදී ටෙන්ඩුල්කාර් විසින් ම හෙළි කර තිබේ.
සිද්ධිය විස්තර කරමින් ටෙන්ඩුල්කාර් මෙසේ කියා සිටියේය: “පාසල ඇරුනයින් පස්සේ දිවා ආහාරය සඳහා මම ඉක්මනින් මගේ ආන්ටිගේ ගෙදරට යන්න පුරුද්දක් කර ගෙන හිටියා. ඒ කාලයේ සර් (අක්රිකාර්) මා වෙනුවෙන් තරග සංවිධානය කරමින් හිටියා.

මම අංක 4 පිතිකරු ලෙසින් පන්දුවට පහර දෙනු ඇති බවට ප්‍රතිවාදී පිලට කීමට ඔහු පුරුදු වී සිටියා. දවසක්, තරගයකට ක්‍රීඩා කරනවා වෙනුවට මම යාළුවෙක් එක්ක වන්කඩේ ක්‍රීඩාංගණයට ගියා ෂර්දාෂ්රාම් ඉංග්‍රීසි පාසලේ කොල්ලන් ෂර්දාෂ්රාම් මරාති පාසලේ අයත් එක්ක තරග කරනවා බලන්න. හැරිස් ෂීල්ඩ් අවසාන තරගය වූ එහි අපේ කණ්ඩායමට චියර් කරන්නයි මම ගියේ.”අක්රිකාර් ද එම අවස්ථාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේ සිටි අතර ටෙන්ඩුල්කාර් ඔහු වෙත ගියේය. “අපි සර්ව දැක්කා. එයාට ආචාර කරන්න අපි එයා ළඟට ගියා. මම මැච් එකට සෙල්ලම් කරන්න නොගිය බව එයා දැනගෙන සිටියා. නමුත් ඔහු ඇසුවා මම මැච් එකේ හොඳට සෙල්ලම් කළාද කියලා.

අපේ කණ්ඩායමට චියර් කරන්න ඕන වුන නිසා මම මැච් එකට ගියේ නැහැ කියලා මම එයාට කිව්වා. සර් මගේ මුහුණට කම්මුල් පාරක් දුන්නා. මගේ අතේ තිබුන දවල්කෑම පෙට්ටිය වීසි වෙලා ගියා. ඒකෙ තිබුන සියළු දේවල් හැලුනා.” අන්දුන් කුන්දුන් වී සිටි ටෙන්ඩුල්කාර් ට අක්රිකාර් මෙසේ පැවසුවා: “ අනුන්ට චියර් කරන්න ඔයා මෙහේ එන්න ඕන නැහැ. අනෙක් අය තමුන්ට චියර් කරන තරමට හොඳින් ක්‍රීඩා කරන්න.ටෙන්ඩුල්කාර් තව දුරටත් මතකය අවදි කළේය: “එදා පටන්, මම ගොඩක් මහන්සි වෙලා පුහුණු වුණා. වැඩිපුර පැය ගාණක් පුහුණු වුණා. ඒ දවස නොවන්නට, අද මම නරඹන්නන්ගේ අසුනක හිඳ අනුන්ට චියර් කරමින් සිටින්න තිබුණා.”

පුහුණුවීම් ආරම්භ වීමට පෙර ශිවාජි පාක් පිට්ටනිය හරහා දුවන ලෙසට අක්රිකාර් තමාට කිසිම දිනෙක නොකියූ අයුරු ද ටෙන්ඩුල්කාර් මතක් කළේය. එනමුදු, පුහුණු සැසි වාරයෙන් පසුව තමා හොඳටම මහන්සි වී සිටියදී, පා ආවරණ හා පිත්ත රැගෙන දුවන ලෙසට අක්රිකාර් තමාට කීමට පුරුදු වී සිටි බවද ඔහු කීවේය.
“ ක්‍රිකට් ආම්පන්නත් එක්ක මගේ ඒ දිවීම මට කොච්චර උපකාරයක් වුනාද කියලා අවුරුදු ගණනාවකට පස්සේ මට තේරුණා” සචින් ටෙන්ඩුල්කාර් වැඩි දුරටත් කියා සිටියේය.
 
Related Posts with Thumbnails