Ads 468x60px

.

එකවරම විසිවෙලා ආපු ලී ලෑල්ලක්‌ මගේ බඩ හිල් කරගෙන ගියා

මම එදා උදේ ලී මෝලේ වැඩට ගියා. මේ ලී මෝලේ ලී ඉරන යන්ත්‍ර තුනක්‌ තියනවා. මම එක ලී ඉරන යන්ත්‍රයක ලී ඉරමින් සිටින විට එකවරම විසිවෙලා ආපු ලී ලෑල්ලක්‌ මගේ බඩ හිල් කරගෙන ගිහින් අනිත් පැත්තෙන් මතු වුණා යෑයි එච්. ජී. දිසානායක (51) නමැති දෙදරු පියා තම බිහිසුණු අත්දැකීම විස්‌තර කරමින් අප සමග පැවැසීය.


දෙවනගල එරමිණිගම්මන ප්‍රදේශයේ පදිංචි ඔහු හෙම්මාතගම හිද්දරාගම පිහිටි ලී මෝලක සත්වසරක සේවා කාලයක්‌ ඇති අයෙකි. ආධුනිකයෙකුගේ සහය ලබාගෙන ලී ඉරන යන්ත්‍රයෙන් ලී ඉරමින් සිටින විට එය ගිලිහී යැම නිසා මෙම බිහිසුණු අනතුරට මුහුණපා ඇතැයි පැවැසේ.

උදර කුහරය පසාරු කරගෙන මතු වූ අඩි හයක්‌ පමණ දිග ලී රීප්පයත් අතින් අල්ලාගෙන ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි මගේ ජීවිතය හෙම්මාතගම සහ මාවනැල්ල රෝහල් දෙකේ දක්‍ෂ කාර්යමණ්‌ඩලය සහ දෙවිවරුන් වන වෛද්‍යවරු නිසා බේරුණ බව ඔහු පවසන්නේ වේදනාව යටපත් කරගෙන සිහින් සිනාවක්‌ මුවගට නගා ගනිමිනි.

මාවනැල්ල මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිශාන්ත විඡේනායක හල්පේගමගේ මහතා - මාවනැල්ල මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකය සූදානම් කරන්න කියලා රෝහල් අධිකාරි චන්දන විඡේසිංහ මහතාගෙන් අපට උපදෙස්‌ ලැබුණා. හෙම්මාතගම රෝහලේ වෛද්‍ය නිලධාරී කේ. එම්. ගමගේ මහතා ලබාදුන් හදිසි තොරතුරත් එයට හේතු වුණා. 

මෙවැනි බිහිසුණු අනතුරක්‌ සිදු වූ විට ලීය හෝ යකඩය ඉවත් නොකර තුවාලකරුට කන්න බොන්න කිසිවක්‌ නොදී (වතුර පොදක්‌වත් නොදී) ළඟම තියන රෝහලට රැගෙන යන්න ඕන. ඇනුණ උල බුරුල් වීම මත ලේ වහනය වෙන්න පුලුවන්කම තියනවා. මිනිසෙකුගේ ඇඟේ තිබෙන්නේ ලේ ලීටර් පහකට ටිකක්‌ වැඩි ප්‍රමාණයක්‌. ඒ නිසා ලේ වහනය අවම කර ගත යුතුයි.

හෙම්මාතගම රෝහලේ ගිලන් රථයෙන් සුළු වේලාවක්‌ තුළ රැගෙන ආ ලෙඩා දැඩිසත්කාර ඒකකය ඇතුළට ගැනීම අපට ලොකු ප්‍රශ්නයක්‌ වුණා. අඩි 6 ක්‌ දිග ලීයක්‌ එක්‌ක ලෙඩෙක්‌ දැඩිසත්කාර ඒකකයට ගන්න විදිහක්‌ නැහැ. ඔහුට අවශ්‍ය කඩිනම් ප්‍රතිකාර වාට්‌ටුවෙන් පිටතදී ලබාදී ලේ සාම්පල් ලබාගෙන පරීක්‍ෂා කර
ශල්‍යකර්මයට අවශ්‍ය මූලික කටයුතු සිදුකර ලී ඉරන අත් කියතක්‌ ගෙන ලීය කපා ඉවත් කරන්න සිදුවුණා.

මෙම ශල්‍යකර්මය සාර්ථකව සිදුකිරීම සඳහා වෛද්‍ය කෝසල ගුණසේකර මහතා, නිර්වින්දන ශල්‍ය විශේෂඥ ඉඳුනිල් මහතා, නිර්වින්දන වෛද්‍ය අශෝක මහතා මෙන්ම හෙද කාර්ය මණ්‌ඩලය කනිෂ්ඨ කාර්ය මණ්‌ඩලය ඇතුළු අනිකුත් වෛද්‍ය කණ්‌ඩායම් හැඟීමෙන් දැඩි කැපවීමකින් කටයුතු කළ බව ඔහු අනාවරණය කළේය. 
 
Related Posts with Thumbnails