Ads 468x60px

.

රාත්‍රියේ දොර වසන විටත් සොරා කටුගෙය ඇතුළේලු.

ඇතුළෙන් සහායක්‌ ලැබුණාදැයි සැකයක්.
දින දෙකක්‌ තිස්‌සේ කැමරා අක්‍රිය කරලා.
පොලිස්‌ සුනඛයෝ කෙලින්ම කටුගෙය ආරක්‍ෂක නිලධාරී විවේකාගාරයට.
 
කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබූ මිල කළ නොහැකි වටිනාකමකින් යුත් පුරාවස්‌තු තොගය සොරාගත් පුද්ගලයා කෞතුකාගාරය වසා දමන අවස්‌ථාවේත් එහි සැඟවී සිට 16 වැනිදා රාත්‍රි කාලයේදී පුරාවස්‌තු තොගය සොරාගෙන පලාගොස්‌ ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.



මෙම සොරකමට කෞතුකාගාරයේම සේවය කරන කිසියම් පිරිසකගේ සහායද ලැබී ඇති බවට ලැබුණු තොරතුරු මත ඒ පිළිබඳ වෙනම පරීක්‍ෂණයක්‌ පැවැත්වේ. 


අලුත්වැඩියා කටයුත්තක්‌ සඳහා කෞතුකාගාරයේ සී. සී. ටී. වී. කැමරා පද්ධතිය දින දෙකක්‌ තිස්‌සේ අක්‍රියකර තිබී ඇත. ඒ පිළිබඳව හොඳින් දැනසිටි පිරිසක්‌ කැමරා පද්ධතිය අක්‍රියකර තිබූ රාත්‍රියේ කාලසීමාවේදී ඉතාම සැලසුම් සහගත ලෙස මෙම සොරකම සිදුකර ඇති බව පොලිසිය පවසයි.


ඉකුත් 16 වැනිදා රාත්‍රි කාලයේදී මෙම පුරාවස්‌තු සොරකම සිදුවී ඇති අතර පුරාවස්‌තු සොරාගත් පුද්ගලයා කෞතුකාගාරයේ දෙවැනි මහලේ සිට ඇඳ ඇතිරිල්ලක්‌ උපයෝගී කරගෙන පුරාවස්‌තු තොගයද රැගෙන පහතට බැස පලාගොස්‌ තිබේ.

පරීක්‍ෂණවලදී හෙළි වී ඇති අන්දමට කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ රන් ආලේපිත අසිපත් අටක්‌, බස්‌තමක හිස කොටසක්‌, රන් මුදු හයක්‌, දඹ රන් කහවනු අනූදෙකක්‌, ඉපැරණි මුදල් නෝට්‌ටු තොගයක්‌ මෙසේ සොරාගෙන ගොස්‌ තිබේ. මෙම පුරාවස්‌තුවල වටිනාකම මෙතෙක්‌ තක්‌සේරු කර නැත. සොරාගත් අසිපත් අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පරිහරණය කළ අසිපතක්‌ද තිබී ඇත.

සිද්ධිය සම්බන්ධව පරීක්‍ෂණ පවත්වන රහස්‌ පොලිසිය කෞතුකාගාරයේ සේවය කරන පුද්ගලයන් 45 දෙනකුගෙන් හා එහි ආරක්‍ෂක අංශයේ නිලධාරින් එකොළොස්‌ දෙනකුගෙන් ප්‍රශ්නකර කටඋත්තර ලබාගෙන ඇත. මෙම පුරාවස්‌තු කොල්ලය සඳහා පුද්ගලයන් දෙදෙනකු හෝ තිදෙනකු සම්බන්ධ වන්නට ඇති බව පොලිසිය සැක පළකරයි.

සිද්ධිය වූ දින කෞතුකාගාරයේ ආරක්‍ෂාවට සිට ඇත්තේ ආරක්‍ෂක නිලධාරීන් තිදෙනකු පමණි. මේ අතර රාජකාරි නොමැතිව ආරක්‍ෂක නිලධාරි විවේකාගාරයේ තවත් නිලධාරීන් සිව්දෙනකු රැඳී සිට ඇති බවද හෙළිවී ඇත.

මෙම පුරාවස්‌තු සොරකම ගැන පරීක්‍ෂා කිරීම සඳහා යෙදවූ පොලිස්‌ නිල සුනඛයන් කෞතුකාගාර ආරක්‍ෂක නිලධාරී විවේකාගාරය වෙත ගිය බවද රහස්‌ පොලිසිය කියා සිටී. පුරාවස්‌තු හොරකම සඳහා කෞතුකාගාර ආරක්‍ෂක නිලධාරීන්ගේ කිසියම් සහයක්‌ ලැබුණේ ද යන්න පිළිබඳ පොලිසිය සොයා බලාගෙන යයි.

රන්කාසි, මුදු සහ අසිපත් ඇතුළු පුරාවස්‌තු සියල්ල තැන්පත් කර තිබූ වීදුරු අල්මාරි කඩා බිඳ දැමීමක්‌ නොකර අගුලු ඉතා සූක්‍ෂම ලෙස විවෘත කර පුරවස්‌තු රැගෙන ගොස්‌ ඇත.

පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති අන්දමට කෞතුකාගාරය වසා දමන අවස්‌ථාවේ කිසියම් පුද්ගලයකු ඇතුළේ සැඟවී සිට ඇත. පසුව එම පුද්ගලයා රාත්‍රි කාලයේදී එම පුරාවස්‌තු සියල්ල සොරාගෙන කෞතුකාගාරයේ දෙවැනි මහලේ දොරක්‌ විවෘත කරගෙන සඳලුතලයට පැමිණ ඇත.





පසුව එම පුද්ගලයා ඇඳ ඇතිරිල්ලක්‌ කඹයක්‌ ලෙස යොදාගෙන පහළ සිටි පුද්ගලයකුට සොරාගත් අසිපත් ඇතුළු පුරාවස්‌තු ලබාදී ඇත. පසුව එම පුද්ගලයා ද දෙවැනි මහලේ සඳලු තලයේ සිට ඇඳ ඇතිරිල්ලේ එල්ලී පහළට පැමිණ පලායන්නට ඇති බවට සැක පහළ කරයි.

කෞතුකාගාර ආරක්‍ෂක නිලධාරීන් 17 වැනිදා පෙරවරුවේ එය විවෘත කර පරීක්‍ෂා කරද්දී එහි තිබූ භාණ්‌ඩ රැසක්‌ අතුරුදන් වී ඇති බව හෙළිදරව් විය. කෞතුකාගාර ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා ඒ පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය වෙත දැනුම් දීමෙන් පසුව පරීක්‍ෂණ ආරම්භ කෙරිණි.

අක්‌කර 08 ක භූමි භාගයක්‌ පුරා පැතිරුණ කෞතුකාගාර භූමිය ආරක්‍ෂාව සඳහා සිට ඇත්තේ නිලධාරීන් තිදෙනකු පමණි. මිල කළ නොහැකි වටිනාකමකින් යුත් අති විශාල පුරාවස්‌තු ප්‍රමාණයක්‌ තැන්පත් කර ඇති කෞතුකාගාරය වෙත ලබා දුන් ආරක්‍ෂාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පොලිසිය පවසයි.


සොරාගත් පුරාවස්‌තු රටින් පිට කිරීම වැළැක්‌වීම සඳහා වරාය සහ ගුවන් තොටුපළ රේගුව වෙත ඒ පිළිබඳව දැනුම් දීමට ද පොලිසිය කටයුතු කර ඇත. මෙම මහා පුරා වස්‌තු පිළිබඳ වැදගත් තොරතුරක්‌ වෙතොත් පොලිසියට දැනුම් දීමට කටයුතු කරන මෙන් පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. රහස්‌ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.






කෞතුකාගාරය බිඳ පෞරාණික භාණ්ඩ සොරාගැනීමේ සිද්ධිය හේතුවෙන් එහි සේවය කළ පිරිස තාවකාලිකව ස්ථාන මාරු කිරිමට පියවර ගෙන ඇති බව ජාතික උරුමයන් පිළිබද අමාත්‍ය අචාර්ය ජගත් බාලසුරිය මහතා පවසයි.

අමාත්‍යවරයා සදහන් කළේ දැනට වසා තිබෙන ජාතික කෟතුකාගාරය හෙට දිනයේ යළි විවෘත කිරිමට පියවර ගන්නා බවය.මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකුගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත් බවය.

 
Related Posts with Thumbnails