Ads 468x60px

.

වෙබ් අඩවිවල පළවන දේවල් මම ගණන් ගන්නෙ නෑ - සේමිණී ඉද්දමල්ගොඩ


සේමිණී දිනූෂා ඉද්දමල්ගොඩ පසුගිය කාලයේදී කාගේත් කතාබහට ලක්වූයේ ඇය ටෙලිනාට්‍යයක රංගනය වෙනුවෙන් හිස මුඩු කළ නිසාය. සේමිණී රංගනයෙන් දායක වූ ‘යර්ස් බොස්’ ටෙලිනාට්‍යය බාල තරුණ මහලු කා අතරත් ඉතා ජනපි‍්‍රයත්වයට පත්විය.ටෙලිනාට්‍ය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය වේදිකාව සිනමාව යන මාධ්‍ය දෙක ද ජය ගැනීමට සමත් වී ඇත. සේමිණී අපගේ රංගන ක්ෂේත්‍රයේ සිටින තරු අතර බැබළෙන තරුවකි.
කලා ක්ෂේත්‍රයේ මොන වාගෙ වැඩවලද ඔබ මේ දිනවල යෙදිල ඉන්නේ?
මේ දවස්වල මම ජී. සිවගුරුනාදන්ගේ අලුත්ම චිත්‍රපටයේ වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නව.

ඉදිරි කාලයේ විකාශය වීමට නියමිත ඔබ රංගනයෙන් දායක වූ නිර්මාණ මොනවාද?
මම රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය හතක් අටක් පමණ විකාශය වෙන්න තියෙනව. ‘යකඩ පහන් තිර’, ‘නෙතුª පියෙන තුරා’, ‘දමයන්ති’ කියන ටෙලිනාට්‍ය ඒ අතර වෙනවා. ඒ වගේම මොහාන් නියාස්ගේ අලුත්ම චිත්‍රපටයටත් මම රංගනයෙන් දායක වුණා. එයත් ඉදිරියේදී තිරගත වේවි.

ඔබේ රංගනය පිළිබඳ ආන්දෝලනයක් ඇති කළ “නෙතු පියෙන තුරා” ටෙලි නාට්‍යය ළඟදී තිරගතවේවිද?
මේ ටෙලි නාට්‍යයේ වැඩ නිමවෙලා දැන් අවුරුදු එක හමාරක් විතර ඇති. එය අධ්‍යක්‍ෂණය කළේ මිෂෙල් ෆොන්සේකා. රූපවාහිනී නාළිකාවල දීර්ඝ ටෙලි නාට්‍යවලට ඉඩ වෙන්වෙලා තියෙන නිසා මේ ටෙලි නාට්‍යයට විකාශය කරගන්න කාලයක් නැතිවයි ඉන්නෙ. ඒකයි “නෙතු පියෙන තුරා” විකාශය වීම ප්‍රමාද. දීර්ඝ ටෙලි නාට්‍ය නිසා, ක්ෂේත්‍රයට වන හානියක් මේක. කොටස් විස්සක් තිහක් තියෙන හොඳ ටෙලි නාට්‍යයක් විකාශය කරගන්න අමාරුයි.

”නෙතු පියෙන තුරා” ටෙලි නාට්‍යයේ රංගනය ඔබට සුවිශේෂයි නේද?
ඔව්. මේ ටෙලිනාට්‍යයේ රඟපෑමට මම සම්පූර්ණයෙන් ම හිස මුඩු කළා. මේ ටෙලිනාට්‍යයේ රංගනයට හිස මුඩු කිරීම අත්‍යවශ්‍ය දෙයක් වුණේ නෑ. නමුත් ඒක අවශ්‍ය දෙයක්. ඒ කියන්නෙ හිස මුඩු නොකර මේ චරිතය කරන්න අවස්ථාව තිබුණා. ඒ වුණත් මම මෙහිදී හිස මුඩු කළේ කාරණා දෙකක් නිසා. එකක් තමයි මේ චරිතය හොඳින් නිරූපණය කිරීමට හිස මුඩු කිරීම ප්‍රයෝජනවත් වීම. අනෙක් කාරණය තමයි ඒ දිනවල තරමක් දුර්වල තත්ත්වයේ තිබුණු මගේ හිස කෙස් නැවත හොඳින් පවත්වා ගැනීමට තිබුණු වුවමනාව. කොණ්ඩෙ දුර්වලව තිබුණු නිසා කොණ්ඩෙ බූ ගාල මුලපටන් වැවෙන කෙස්වලට සාත්තු කරන්න මට අවශ්‍ය වුණා. මේ කාරණා දෙකම නිසයි මම හිස මුඩු කළේ.

ඔබ රඟපාන චරිතය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න සූදානම්ද?
මගෙ සීමාවෙ ඉඳල ඒ කැප කිරීම කරන්න මම සූදානම්. ගොඩක් දෙනෙක් ඇහුව ටෙලි නාට්‍යයකට හිස මුඩු කළේ ඇයි කියල. මම කලින් දුන් පිළිතුරේත් එයට උත්තර තියෙනව. ඒ වගේම නිර්මාණයක් වෙනුවෙන් කිසියම් කැප කිරීමක් කරන්න අවශ්‍ය නම් ඒක ටෙලි නාට්‍යයක් ද වේදිකා නාට්‍යයක් ද චිත්‍රපටයක් ද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. මම සලකන්නේ නිර්මාණයේ ප්‍රබලකම විතරයි.

මේ දිනවල වේදිකා නාට්‍යවලට ප්‍රේක්ෂකයින් වැඩියි නේද?
ඇත්තෙන්ම ඔව්. ඒක හොඳ ප්‍රවණතාවයක්. හොඳ ටෙලි නාට්‍ය නැති නිසා ප්‍රේක්ෂකයින් වේදිකා නාට්‍ය වලටයි සිනමාවටයි යොමුවෙලා.

2000 වසරේ හොඳම වේදිකා නිළිය ලෙස සම්මාන ලැබූ ඔබ දැන් වේදිකාවේ දකින්න නැත්තේ ඇයි?
මම වේදිකා නාට්‍ය ගණනාවක රඟපාල තියෙනව. වේදිකාවට මම හරිම ආසයි. වේදිකාවෙන් රංගනය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවනි. ඒ වගේම වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණාම අපේ කාලය කැප කරන්න වෙනවා. වෙනත් වැඩ අතපසු වෙනවා. රඟපාන්න හොඳ චරිතයක් ලැබෙනවා නම් එවැනි කැප කිරීමක් කරන්න මම සූදානම්. නමුත් පසුගිය කාලෙ මට ලැබුණු චරිතවල කරන්න යමක් තිබුණේ නෑ. ඒකයි මම වේදිකාවේ දකින්න නැති වුණේ.

”යර්ස් බොස්” වැනි හාස්‍යෝත්පාදක කතාවලට ඉදිරියටත් දායක වෙනවද?
මම කැමැති නැහැ එකම විදියේ චරිතවලට කොටු වෙන්න. විවිධත්වයෙන් යුතු චරිත නිරූපණයටයි මම කැමැති. මෙහිදී එක දෙයක් කියන්න ඕන. ඒ තමයි විකට රංගනය තමයි අමාරුම කියන එක.

ඔබේ පවුලේ තොරතුරු...?
මමයි මගෙ දුවයි මහත්තයයි ඉතාම සතුටින් ඉන්නව. දුව දැන් 5 වසරේ. මගෙ සැමියා පොලිස් නිලධාරියෙක්.

ඔබේ දියණිය “කුමලී” කලාවට යොමු වෙනවාට ඔබ කැමැතිද?
කැමැතියි. නමුත් කලාවට බලෙන් යොමු කරන්න අදහසක් අපේ නෑ. දැන් අපේ උත්සාහය දුවට හොඳ අධ්‍යාපනයක් ලබාදීම.

දියණිය කලාවට රංගනයට යොමු වුණොත් ඔබ ඊට උදව් කරනවද?
ඔව්. නමුත් මම එයාගෙ පස්සෙන් ඉන්නෙ නෑ. තමා තෝරාගත් ක්ෂේත්‍රයේ පරිස්සමින් ගමන් කරන්න එයා දැනගන්න ඕන.

පොලිස් නිලධාරියෙක් වන ඔබේ සැමියා ගෙදරදීත් නීතියට වැඩ කරන කෙනෙක් ද?
මගෙ මහත්තය පොලිස් නිලධාරියෙක් විදියට හැසිරෙන්නෙ පොලිසියෙදි; රාජකාරියෙදි. ගෙදරදි එයා මට හොඳ සැමියෙක්. දුවට හොඳ තාත්ත කෙනෙක්.

ඔබ වෘත්තියෙන් රංගන ශිල්පිනියක්ද? ව්‍යාපාරිකාවක්ද?
මම වෘත්තීය රංගන ශිල්පිනියක් නෙමෙයි. නමුත් සිනමාව වේදිකාව ටෙලිනාට්‍ය කියන මාධ්‍ය තුනේම හොඳ චරිතාංග නිළියක් ලෙස වැඩ කරන්න මම කැමැතියි.

ඔබ ආඩම්බර කෙනෙක් ද?
ඔව් කාන්තාවක තුළ තියෙන්න ඕන ආඩම්බරකම මා තුළ තියෙනවා.

ජනපි‍්‍රය නළු නිළියන් පිළිබඳ වෙබ් අඩවිවල පළවන දේවල් ගැන ඔබේ මතය..?
සමාජයක ජනපි‍්‍රය චරිත වටා තමයි කටකතා හැදෙන්නෙ; ඔවුන්ට තමයි මඩ ගහන්නෙ. වෙබ් අඩවිවල පළවන දේවල් පිළිබඳව මම එතරම් ගණන් ගන්නෙ නෑ. මා පිළිබඳ මොනව හරි පළ වුනත් මම කලබල වෙන්නෙ නෑ. ඒවට විරුද්ධව පියවර ගන්න යන්නෙ නෑ. වෙබ් අඩවිවල තියන කුණු අවුස්සන්නෙ ඕපාදූප සොයන්නෙ මානසික රෝගීන්. අනෙක් කාරණය තමයි ඔය වෙබ් අඩවි නරඹන්නෙ මේ සමාජයේ ඉතාම ටික දෙනයි. ඒවට උත්තර දෙන්න ගියොත් මුළු සමාජයම ඒකට අවධානය යොමු කරනව. ඒ නිසා හොඳම වැඩේ වෙබ් අඩවිවල පළවෙන දේවල් ගැන කළබල නොවී ඉන්න එක.

’ස්වයංජාත’ ටෙලි නාට්‍යයේ පබිලිනාගේ චරිතය ඔබට අමතක වෙන්නෙ නෑනේද?
ඇත්තෙන්ම ඔව්. එහි එම නිරූපණය කළේ “පබිලිනා” කියන චරිතය. ටෙලිනාට්‍යයේ පබිලිනා මිය යනවා. මට තිබුණා පබිලිනා මිය ගොස් සිටින ආකාරය නිරූපණය කරන්න; මිනී පෙට්ටියක මිනියක් ලෙස ඉන්න. ඒ වෙලාවෙ මගෙ නාසයට පුළුනුත් ගහලයි තිබුණේ. ඒක මහ පුදුම විදියේ අත්දැකීමක්. මට පුදුම බයකුත් දැනුණා. හැබැයි මම මිනී පෙට්ටියෙ ඉන්නව දැකල නිෂ්පාදන කණ්ඩායමේ අයත් රූපගත කිරීම් නරඹන්න ඇවිත් සිටි පිරිසත් ඇඬුවා.
 
Related Posts with Thumbnails