Ads 468x60px

.

කොන්දක් නැති මිනිස්සු තමයි ඔය විදියට ගීත ගායනා කරන්නේ - රනිල්

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිය පවුල සමග පදිංචිව සිටින රනිල් මල්ලවාරච්චි පසුගියදා සිය මිතුරා වන සතිෂ් පෙරේරා ගේ මළගමට සහභාගී වීමට ලංකාවට පැමිණි අතර සිය පියාගේ ගීත නව පරපුරේ ගායන ශිල්පින් ගායනය කරන හෙයින් ඒවා සංරක්ෂණය කිරීමටත් ඔහු පියවර ගත්තා..මේ ඔහු ඒ සම්බන්ධයෙන් කල කතා බහ …


ඔබ මෙවර ශ්‍රී ලංකාවට පැමිණියේ කලකට පසුව නේද?
මම විදේශ ගතවෙලා අවුරුදු තුනකට ආසන්න කාලයක් වෙනවා. මගේ මිත්‍රයා, සතිෂ් පෙරේරාගේ අවමගුලට සහභාගි වන්නයි මම මේ වතාවේ ලංකාවට ආවේ.

සතිෂ් සහ ඔබ අතර තිබූ සම්බන්ධතාව මොන වගේ එකක්ද?
සතිෂ් හා මම එකම යුගයකදීයි සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ. ඒ මීට වසර 20කට පමණ පෙරදියි.අපි සංගීත ප්‍රසංගවලට සහභාගි වුණේ එකටයි. ඒ වගේම ඉතාම සමීප සම්බන්ධතාවක් ඇතිවයි අපේ ජීවිත ගතවුණෙත්. ඔහු මගේ දරුවන්ටත් පුදුමාකාර ආදරයක් දැක්වූවා. සතිෂ් මට හොඳ මිත්‍රයෙක් වගේම සහෝදරයෙකුත් වුණා. මිත්‍රයෙකු සහ සහෝදරයකු ලෙස ඔහු ඒ දක්වපු ලෙංගතු බව නිසාමයි ඔහුගේ අභාවය ආරංචිවූ විගසම මම ලංකාවට පැමිණියේ.

ඔබ වැනි ගායන ශිල්පීන් රැසක් පිය උරුමයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණවී සිටියත් ඔබද ඇතුළුව ඔවුන් බහුතරයකට ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවක් ගොඩනගාගන්න නොහැකිවී තිබෙනවා නේද?
අපේ යුතුකම තමයි අපේ තාත්තලාගේ ගීත ආරක්ෂා කරන එක. එහෙම නැතිව අපි තාත්තලාගේ ගීත ගායනා කරන්නේ අපිට අපේ ගීත නැති නිසා නොවෙයි. මට මගේම ගීත 90ක් පමණ තිබෙනවා. ඒ වගේම, ඉෂාක් බෙග්, ප්‍රියන්ත ප්‍රනාන්දු, සතිෂ් වගේ සියලු දෙනාට තමන්ගේම ගීත තියෙනවා. 

ඒත් රසිකයෝ අපෙන් ඉල්ලන්නේ අපේ තාත්තාලගේ ගීතයි. අපි ඒ තාත්තලගේ පුතලා නිසා අපිට ඒ ඉල්ලීම් පැහර හරින්න බැහැ. ඒත්, අපට අපේ අනන්‍යතාවක් නැතිව නොවෙයි.  

ලංකාවේ පළමු වැනි ගායකයෝ යුගළය විදියට ඇවිල්ලා, (හර්ෂ බුලත්සිංහල) සහ මම ගායනා කළ ‘ඒ මගේ මලයි’ ගීතය ඒ කා‍ලේ ලංකාවේ පළමුවැනි ගීත වීඩියෝව ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමිය විය යුත්තේත් අපි දෙන්නාටයි. රසිකයෝ අතරේ ගොඩාක් ජනප්‍රිය වුණා. ඒත් අපිට ඒ කා‍ලේ උදවු කරන්න කවුරුවත් හිටියේ නෑ. ඒ නිසා අපට අපේ පියවරුන්ගේ ගීත ගායනා කරමින් තමයි ඉදිරියට යන්න සිදුවුණේ.

ඉදිරියට යන්න නිසි අතදීමක් ලැබුණේ නැහැ කියන කාරණය තවත් පැහැදිලි කළොත්?
අපි සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වන කාලයේ ලංකාවේ තිබුණේ ගුවන්විදුලි නාළිකා දෙකයි. ඒවායෙනුත් අපේ ගීත හරිහැටි ප්‍රචාරය වුණේ නැහැ. ඒත් වර්තමානයේ බිහිවෙන කලාකරුවන්ට මීට වඩා අවස්ථා ලැබෙනවා. දැන් ලංකාවේ ගුවන්විදුලි නාළිකාත් 40කට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. 

ඒ වගේම ඒ නාළිකාවලින් අලුත් පරපුරේ කලාකරුවන්ගේ ගීත නිතරම ප්‍රචාරය කෙරෙනවා. ඒ නිසා ඔවුන්ට ඉදිරියට එන්න ලැබෙන ඉඩකඩ වැඩියි. ඒත්. රසිකයන් තුළ අප ගැන තිබෙන මතකයන් තවම ගිලිහිලා නැහැ. ඒ බව මට මේ වතාවේ ලංකාවට පැමිණිෙ අවස්ථාවේදීත් වැටහුණා. ඒත් නව පරපුරට අපේ තාත්තලගේ පරම්පරාව අභිබවා යන්න බැරි වෙලා තිබෙන බව නම් සත්‍යයක්. වෙනම ගමනක් යන්න බැරි වුණා කියලා මට දුකක් නැහැ. මොකද තාත්තලගේ ගීත ඊට වඩා උතුම් නිසා.

හර්ෂ බුලත්සිංහල සහ ඔබ එක්ව ගිය ගමනට මොකද වුණේ?
හර්ෂ සහ මම එක්ව සංගීත ක්ෂේත්‍රයේ යෙදුණු ගමන නතර වුණේ මම රට හැර ගියාට පසුවයි. මීට කලිනුත් හර්ෂ අවුරුදු 3කට විදේශගත වෙලා සිටියදී මම ලංකාවේ ඉඳගෙන තනිවම සංගීත කටයුතුවල යෙදුණා.

කොහොම වුණත් මම විදේශ ගතවුණාට පස්සේ එකතු වෙලා සංගීත කටයුතුවල යෙදෙන්නට නොහැකි වුණත් අපේ සම්බන්ධතාව තවමත් නැතිවෙලා නැහැ හර්ෂ සහ මගේ ගෙවල් තිබුණේ එක ළඟයි. ඒ වගේම අපි හැදුණේ වැඩුනෙත් එකටමයි. ඒ විදියට ඇතිවුණු හිතවත්කම තවමත් ඒ විදියටම අපි ළිඟ තියෙනවා.

මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ගීත ඇතැම් නව පරපුරේ ගායන ශිල්පීන් විසින් නව සංගීතය යටතේ නැවත නිර්මාණයකොට ගායනා කර තිබෙන අයුරු වර්තමානයේ දැකගන්නට ලැබෙනවා. ඒ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?
අලුත් ගීතයක් නිර්මාණය කරන්න හැකියාවක් නැති අය තමන්ට තියෙන ආර්ථික ප්‍රශ්න නිසා තමයි ඔය වගේ වැඩ කරන්නේ. ඒත් ඒ අයට අයිතියක් නැහැ මගේ තාත්තාගේ ගීත ගායනා කරන්න. මගේ තාත්තගේ ගීතවල නියම අයිතිය තිබෙන්නේ පවු‍ලේ අපිටයි. කිසිම නිර්මාණශීලී බවක් නැති, කොන්දක් නැති මිනිස්සු තමයි ඔය විදියට ඒ ගීත ගායනා කරන්නේ.

කොහොම වුණත් තාත්තගේ ගීත රැසක් සංරක්ෂණය කරන්න කටයුතු කරලයි මම මේ වතාවෙන් ලංකාවෙන් පිටවෙන්නේ. තාත්තගේ ගීත සියල්ලම රැකගන්න මට බැහැ. ඒත් සමහර ගීත තියෙනවා තාත්තා විසින් තනුව නිර්මාණය කරලා ඔහු විසින්ම ගායනා කරපු. “මධු මල ලෙස’, ‘මා නිසා ඔබ’, ‘ඉවුරු තලා’, ‘සිහිනෙන් ඔබට මට පෙනෙනවා නම්’ වගේ ජනප්‍රිය ගීත විශාල සංඛ්‍යාවක් ඒ අතර තිබෙනවා. මම ඒ ගීත සියල්ල මගේ නීතිඥයා හරහා සංරක්ෂණය කරන්න කටයුතු කළා. ඒ ගීතවලට කවුරුන් හෝ අත තියපු දවසට මම ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

දැන් ගායනා ක්ෂේත්‍රයේ තවත් ගැටලුවක් තිබෙනවා ඒ තමයි රිගින් ටෝන් සඳහා අනවසරයෙන් ගීත යොදාගැනීම තාත්තගේ ගීතත් ඒවාට යොදාගෙන තිබුණාට අපිට ඒ සඳහා තවමත් කිසිම මුදලක් ගෙවලා නැහැ. ඒ වගේම මාධ්‍ය නාළිකාවලින් ප්‍රචාරය වන ගීතවලට කර්තෘ භාග ගෙවිය යුතු බවට නියම කරතිබුණත් සීමිත ආයතන සංඛ්‍යාවකින් පමණයි අපිට ඒ මුදල් ලැබිලා තිබෙන්නේ. ඉදිරියේදී මෙවැනි දෑ සම්බන්ධව පියවර ගන්නත් අපි බලා‍පොරොත්තු වෙනවා.

සංගීත ක්ෂේත්‍රයේ ඔබේ ඉදිරි බලා‍පොරොත්තු ගැන සඳහන් කළොත්?
මම අවසන් වරට ගීත ඇල්බමයක් එළිදැක්වූවේ 2007දීයි. ඒ නිසා ගීත ඇල්බමයක් එළිදැක්වීමේ අදහසකුත් මට තියෙනවා. සතිස් දැන් අපි අතර නැති නිසා ‘මිල්ටන් සහ මිල්ටන් සමග ෂෙල්ටන්’ ප්‍රසංගය ඉදිරියට කරගෙන යන්න අපිට බැහැ. ඒත් මම ප්‍රියංකර, අමල් වගේ පියවරුන්ගේ ගීත ගායනා කරන අපි හැමෝටම පුත්තු ඉන්නවා. අපේ බලා‍පොරොත්තුවක් තියෙනවා අපේ ඒ උරුමය ඊළඟ පරම්පරාවටත් ලබා දෙන්න.

අපි සංගීත ක්ෂේත්‍රයට ඇතුළු වුණේ සංගීතය ගැන හරිහැටි දැනුමක් ඇතිව නොවෙයි. ඒත් අපේ දරුවෝ අපිට වඩා දක්ෂයි. ඔවුන් හොඳට සංගීත ඉගෙනගෙන තියෙනවා. ඒ තුන්වැනි පරම්පරාව දවසක සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වෙලා මිනිස්සු විශ්මයට පත්වෙන දෙයක් කරාවි. ඔවුන් ඒ වගේ දෙයක් කරනවා දකින එක මගේ තිබෙන ලොකුම බලා‍පොරොත්තුවක්. ඒ වෙනස ඇතිවෙනතුරු තවත් වසර කිහිපයක් ඉවසන්න කියලා මම මගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
 
Related Posts with Thumbnails