Ads 468x60px

.

මම ඉන්නේ එයා මට මුණ ගැහෙනකල්,ඒ මමත් ආදරය කරපු කෙනෙක් නිසා

දෙමාපියෝ පොඩි කාලෙම නැති වුණා...
මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි...

කිඳුරංගනා ටෙලි නාට්‍ය හරහා ජනාදරයටපත් යුරේනි නොෂිකා පසුගිය දිනවල විදෙස්ගතව සිට නැවත පැමිණියාය. 

නිරූපණ ශිල්පණිියක, ගුවන් සේවිකාවක, නිවේදිකාවක මෙන්ම රංගන ශිල්පිණියක ලෙස නමක් දිනා ගත් ඇගේ මීළඟ සිහිනය වී ඇත්තේ බොලිවුඩ් නිලියක් වීමය.  


සිහිනයට අතගසා එය සැබෑකර ගැනීමේ වෑයමේ යෙදී සිටින ඇය අපට හමුවූයේ ඇය ජීවත්වෙන පුංචි කැදැල්ලේදීයි. විටෙක හුදකලාවේ ගෙවෙන ජීවිතයෙන් මිදී මොහොතකට අප සමඟ එක් වූයේ සැබෑවටම ඇගේ ජීවිතය බෙදා ගැනීමටයි.

යුරේනි, කොහොමද ජීවිතය?
ගොඩක් හොඳින් ඉන්නවා. මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි. හේතුවි ‘පියවි’’ නාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගී වෙනවා. ඒ වගේම ටෙහාන් පෙරේරාගේ අලූත්ම ගීත රූපරචනයකටත් පෙනී සිටිනවා.

යුරේනිට බොලිවුඩ්වලට යන්න ඕන කියලා හිතුනේ ඇයි ?
මොන වෘත්තීයක නියැලූණත් මම හිතුවා ජාත්‍යන්තර මට්ටමට යන්න ඕන කියලා. රංගන ශිල්පිනියක් වුණාමත් ඒ හීනය නැති වුණේ නෑ. මට ඒකට අවස්ථාව ලැබුණා පසුගිය කාලේ. ඉතිං මම ඒ අවස්ථාවෙන් ප‍‍්‍රයෝජනය ගත්තා.

කොහොමද ඒ අවස්ථාව ලැබුණේ?
මට රන්බීර් කපූර්ගේ කළමනාකාරිත්වයෙන් යුතු ඒජන්සියක නිරූපණ ශිලිපිණියක් ලෙස වැඩ කරන්න ලැබුණා. ඒ හරහා තමයි මට පිලිප්ස් වෙළෙඳ දැන්වීමේ ජෝන් ඒබ‍‍්‍රහම් සමඟ රඟපාන්න අවස්ථාව ලැබුණේ.

බොලිවුඩ් රංගන ශිලිපිණියක වීමට ඔබ දැමූ අඩිතාලම සාර්ථකද?
ඇත්තටම ඔව්. එහෙ ගිහින් එකපාරටම නිලියක් වෙන්න බෑ. අනික ලංකාවේ නිළියක් කිව්වට අපට එහේ ලොකු පිළිගැනීමක් නැහැ. ලක්ෂ ගාණක් දෙනා බොලිවුඩ් නිලියන් වීමට උත්සාහ කරනවා. මුලින්ම මම මෝස්තර නිරූපණ ශිල්පිනයක් ලෙස වැඩ කරපු එක මට ලොකු පිටිවහලක් වුණා. මම ඒ ගෙවපු අවුරුදු දෙකක කාලයේදී චිත‍‍්‍රපට තුනකට ආරාධනා ලැබුණා. ඒත් බාර ගත්තේ නෑ.


ඒකට හේතුව මොකක්ද?
මෙහෙමයි ඒ රටේ චිත‍‍්‍රපට ශේණිගත කරලා තියෙන්නේ. මට ලැබුණු චිත‍‍්‍රපට හරහා යන ගමන තාවකාලිකයි. මට ඕන වුණේ හොඳ පදනමක් ඇතුව යන්න.

ඉන්දියාවේ නිෂ්පාදන කණ්ඩායම් එක්ක වැඩ කරද්දී දැනුණේ මොනවගේ වෙනසක් ද?
ඉන්දියාව වෘත්තීය මට්ටමින් බොහොම ඉහළ තැනක ඉන්නේ. කාල කළමනාකාරිත්වය විශේෂයි. නිළියක් වීමට එතනට එන හැමෝම ලස්සනයි. ඒ නිසා වැදගත් වෙන්නේ හැකියාව. අනවශ්‍ය දේ එතන නෑ .අවශ්‍ය දේ විතරයි තියෙන්නේ.

බොලිවුඩ්වලට යන්න තරම් ලංකාවේදී දැනුණු අත්දැකීම් ප‍‍්‍රමාණවත් කියලා හිතනවද?
රංගන ශිල්පිණියක් ලෙස මම ටෙලිනාට්‍ය හයක වැඩකරලා තියෙනවා. චිත‍‍්‍රපට දෙකක රඟපෑවා. ඒවා තාම තිරගත වුණේ නෑ. ලංකාවේදී සහභාගි වුණ යම් යම් තරගවලදී ජයග‍‍්‍රහණ අත්කර ගත්තා. ඒ වගේම මම මගේ රූපය ගැනත් සැලකිලිමත් වෙනවා. මේ හැමදේටම වඩා මගේ ආත්ම විශ්වාසය වැදගත්.


සමහර නිළියන් එක සැරේ ටෙලිනාට්‍ය පහ හයක රඟපානවා. ඇයි ඔබ එහෙම කෙනෙක් නොවුණේ…
මම විශ්වාස කරනවා අප නිතරම රූපවාහිනියේ පෙනෙන කෙනෙක් වුණොත් අපට ලැබෙන වටිනාකම අඩුවෙනවා කියලා. රසිකයන් අතර වටිනාකමක් නැතිකෙනෙක් වෙන්න මම කැමති නෑ. සිරස ඩාන්සින් ස්ටාර් තරගයට වුණත් මම සහභාගිවෙලා හැකියාව පෙන්නුවා. ඊට පස්සේ රියැලටි ෂෝ වලට සහභාගි නොවුණේ එකම තැන ඉන්න අකමැති නිසා.

වෘත්තීය කිහිපයක නියැලෙන කෙනෙක් විදිහට ඔබ කොහොමද ඔබේ ජීවිතයේ කාලය කළමනාකරණය කරගන්නේ?
කළමණාකරනය කියන දෙය මම ඉගෙන ගත්තේ අවුරුදු දහයේ ඉදලා. මම නේවාසිකාගාරයේ හැදුනේ. පාලනයක් ඇතිව ජීවත් වෙන්න පුරුදු වෙලා හිටපු කෙනෙක් නිසාම කාලය කියන දෙය මගේ ජීවිතයට අභියෝගයක් වුණේ නෑ.

තනිකඩව හැදුණු ජීවිතය සහ අතීතය මතක් කළොත්?
මගේ පවුල මම. දෙමාපියෝ පොඩි කාලෙම නැති වුණා. මම ගියේ මෙතෝදිස්ත විද්‍යාලයට ඒ ගුරුවරු තමයි මගේ අම්මා වුණේ. යාළුවො සහෝදරියෝ වුණා. හැබැයි යාළුවො හිටියෙත් අතලොස්සයි.

ඔබ අධ්‍යාපනය පැත්තෙනුත් ඉහළටම ගිය කෙනෙක් විදිහට ඒ හැම දේම අතහැරීම අපරාදේ කියලා හිතෙන්නේ නැද්ද?
ඒක ඇත්තටම අපරාධයක්. මම පාසල් යන කාලේ හොඳට ඉගෙන ගත්තා. බාහිර වැඩවලටත් සම්බන්ධ වුණා. නමුත් මේ හැමදේම මඟ හැරිලා. විදුහල්පතිනිය අදටත් මාත් එක්ක අමනාපයෙන් ඉන්නේ. මඟ හැරුණු හැමදේම වෙනුවෙන් දෙවියන් වහන්සේ මට දීපු දෙයක් තියනවා. මම ඒ දේ සතුටින් බාර ගන්නවා.

ඔබ වැඩිපුරම විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ.. ඔබ කොහොමද දෙවියන් වහන්සේගේ විශ්වාසය රකින්නේ.?
මම සර්ව සම්පූර්ණ කෙනෙක් නෙමේ. අපි අතිනුත් වැරදි අනන්තව සිද්ධ වෙනවා. නමුත් දැන දැන වැරදි කරන්නේ නෑ. උපරිමයෙන් දෙවියන් වහන්සේගේ විශ්වාසය රකිනවා.

ආදරය ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් දේවල් හිතෙනවා. මමත් ආදරය කරපු කෙනෙක් නිසා. මට දෙවියන් වහන්සේ මං වෙනුවෙන් මවපු කෙනෙක් මේ ලෝකේ කොහෙ හරි ඇති. එයා මට මුණ ගැසෙනකල් බලාගෙන ඉන්නවා.


 
Related Posts with Thumbnails