Ads 468x60px

.

කටකතා කියන දේවල් කොහොමත් හැදෙනවා. ඒවා නවත්වන්න බැහැ - සුරාජ් මාපා...

ඇත්තටම විවාහ වෙන්න කියලා තමයි නිතරම ගෙදරින් කියන්නේ... 
මගේ හිතේත් අදහසක් තියෙනවා...

තමාට ලැබෙන කුමන චරිතයක් වුවද විවිධත්වයෙන් යුතුව රඟදක්වන්නට ඔහු සතු හැකියාව දක්ෂතාව, කැපවීම සිත්බඳනා සුලුය. තමා රඟන කුමන චරිතයකට වුවද ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට ඔහු සමත්ය.

මෙනිසාම ඔහු දක්ෂ රංගන ශිල්පියකු ලෙස කලා ක්‍ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන සිටී. සුරාජ් මාපා නම් වූ නව පරපුරේ රංගන ශිල්පියා මේ දිනවල කලා ක්‍ෂේත්‍රයේ කාර්යබහුලම නළුවකු බවට පත්ව ඇත. ඒ මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය රැසක විවිධ චරිත නිරූපණය කරමිනි.


ඔබ රඟපාන ටෙලිනාට්‍ය බොහෝ ප්‍රමාණයක් මේ දිනවල විකාශය වෙනවා.
”ඔව්. මේ දවස්වල ටෙලිනාට්‍ය තුනක වැඩ කෙරෙනවා. ටෙලිනාට්‍ය කීපයක්ම විකාශය වී අවසන් වුණා.සේපාලිකා, රිදී සිත්තම් ඇතුළු තවත් ටෙලිනාට්‍ය කිහිපයක්ම මේ දවස්වල විකාශය වෙනවා.”

ඔබ බොහෝවිට අප නෙත ගැටෙන්නේ පුංචි තිරයේ අහිංසක පෙම්වතාගේ චරිතයෙන්. මේ තුළ යම් කොටුවීමක් ඔබට දැනෙන්නේ නැද්ද?
”මම හුඟාක් වෙලාවට අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය දේ තමයි ලබා දෙන්නේ. ඒ තුළ කොටුවීමක් මම දකින්නේ නැහැ. මගෙන් අවශ්‍ය ෂූටීන් රිදම් එක මම අධ්‍යක්ෂවරයාට ලබාදෙනවා. ඒ නිසා මටවත් චරිතයටවත් හානියක් සිදුවන්නේ නැහැ.”

වර්තමානයේ දී දීර්ඝ ටෙලිනාට්‍ය වැඩි වශයෙන් හැදෙනවා. මේ ගැන ඔබේ අදහස් මොනවගේද?
”මම වැඩ කරන හැම ටෙලිනාට්‍යයකටම ස්ක්‍රිප්ට් එකක් තිබෙනවා. සමහර නාට්‍ය තියෙනවා ඔහේ ගලාගෙන යනවා ඉවර වෙන දවසක් දන්නේ නැති. මම එවැනි නාට්‍යවල රඟපාන්නේ නැහැ. ඉවරයක් අවසානයක් නැති නාට්‍යවල රඟපාන්න මගේ කිසිම ආසාවක් නැහැ.”

ඔබේ ජනප්‍රියත්වය ගැන ඔබට මොකද හිතෙන්නේ?
”ඇත්තටම, මම මෙතෙක් රඟපෑ ටෙලිනාට්‍ය හැම එකක්ම වාගේ හුඟාක් ජනප්‍රිය වුණා. එයට හේතුව විදිහට මම දකින්නේ ඒ චරිතය වෙනුවෙන් මම දක්වන කැපවීම. මම චරිතයක් රඟපාද්දි මගේ පැත්තෙන් කරන්න ඕන උපරිම දේ ඒ චරිතය වෙනුවෙන් කරනවා. 

ඒ වගේම මම හැමවිටම එහි අධ්‍යක්ෂවරයාට, නිෂ්පාදකවරයාට මාත් සමඟ රඟපාන සෙසු නළු නිළියන්ට, කාර්ය මණ්ඩලයට උපරිම සහයෝගය දක්වනවා. ඔවුන් නිරන්තරයෙන් උනන්දු කරවනවා. මේ නිසා මම පමණක් නෙවෙයි මුළු නාට්‍යයම හුඟාක් ජනප්‍රියත්වයට පත්වෙනවා. ඒ ගැන මට හරිම සතුටුයි.”

ඔබට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉහළ මට්ටමක ඇති?
”ජනතාවගේ ප්‍රතිචාර ඉතාම ඉහළයි. ෆේස් බුක් එකට ලැබෙන ප්‍රතිචාර, පාරේ මඟතොටේ දී ලැබෙන ප්‍රතිචාර, ඊමේල් හරහා ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි.

වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ ප්‍රේක්ෂකයින්ගෙන් ද? ප්‍රේක්ෂිකාවන්ගෙන්ද?
”මට එහෙම විශේෂත්වයක් නැහැ. හැම පැත්තෙන්ම ප්‍රතිචාර එක වගේ ලැබෙනවා. විශේෂයෙන්ම පුංචි ළමයින්ගෙන් හුඟාක් ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා.

සම්මාන උලෙළ ගැන ඔබට මොකද හිතෙන්නේ?
”මම රඟපාන චරිතවලට සම්මාන ලැබේවි කියලා ලොකු බලාපොරොත්තු තියාගෙන නැහැ. ලෝකෙ මොන සම්මාන උලෙළක් ගත්තත් ඒවා තුළ විවිධ ප්‍රශ්න තිබෙනවා. නැත්තේ නැහැ. මම මීට පෙර ජනප්‍රිය සම්මාන, ප්‍රේක්ෂක සම්මාන ලබල තියෙනවා. සම්මානයක් ලබන්න ආසයි. ඒ ආසාව හිත තුළ නැත්තේ නැහැ.”

ඔබ නර්තනයටත් දක්ෂයි. නර්තනය ඔබෙන් දුරස් වෙලාද?
”අනේ නැහැ. නර්තනයට මම හුඟාක් කැමැතියි. මේ අවුරුද්ද මම හූගාක් දුරට කැපකරන්නේ ටෙලිනාට්‍ය නිර්මාණ වෙනුවෙන්. ලබන අවුරුද්දේ නර්තන ප්‍රසංග දෙක තුනක්ම පවත්වන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ලබන වසර නර්තනය හා චිත්‍රපට වෙනුවෙන් වෙන් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.”

ඔබ තවමත් පදිංචිය නුවර ද?
”නුවර ඉන්නේ අම්මයි තාත්තයි. මගේ කලා කටයුතුවලට පහසු නිසා කොළඹ තමයි ඉන්නේ. නමුත් මාසෙකට සැරයක් අම්මයි තාත්තයි බලන්න නුවර යනවා.”

දැන් කල වයසත් හරි. විවාහයක් කරගන්න කියලා අම්මයි තාත්තයි කියන්නේ නැද්ද?
”ඇත්තටම විවාහ වෙන්න කියලා තමයි නිතරම ගෙදරින් කියන්නේ. මගේ හිතේත් අදහසක් තියෙනවා විවාහ වෙන්න ඕන කියලා. ඒ ගැන ගෙදරින් හොයනවා. බොහෝ දුරට මට ගැළපෙන කෙනෙක් එක්ක විවාහය සිදුවේවි.

ඔබ සොයන ඇය සතුව මොන වගේ ගති පැවතුම් ද තියෙන්න ඕන?
”ඇයට සමාජය ගැන හොඳ වැටහීමක් තේරුමක් තියෙන්න ඕන. ඒ වගේම අනාගතය ගැනත් පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන.”

ක්‍ෂේත්‍රයේ පැතිරෙන කටකතා ගැන ඔබ දරන්නේ මොන වගේ අදහසක් ද?
”කටකතා කියන දේවල් කොහොමත් හැදෙනවා. ඒවා නවත්වන්න බැහැ. මට නම් මොනතරම් කටකතා හැදුවත් මම ඒ කිසිදේකින් සැලෙන කෙනෙක් නෙමෙයි. මම ඒ මොනවත්ම ගණන් ගන්නේ නැහැ. මම මගේ වැඩ කටයුතු කරගෙන යනවා.

ඔබේ ලිපිනය?
“නො.39, ගාලවත්ත, කටුගස්තොට.”
 
Related Posts with Thumbnails