Ads 468x60px

.

ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන 500ක් ජපානයේ පිහිටුවයි...

මේ මගින් රටට විදේශ විනිමය උපයා ගත හැක...

ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන 500ක් ජපානයේ පිහිටුවීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 


ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංස්කෘතික වෙළඳ කේන්ද්‍රයේ සංවත්සර උළෙලට ආරාධිතයකු ලෙසින් සහභාගි වූ දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතා විසින් කරන ලද යෝජනාවකට අනුව පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ජපාන නියෝජිත පිරිස සමග පැවැති සාකච්ඡාවේදී මේ තීරණයට පැමිණ ඇත. 

ජපානයේ මහා පරිමාණ ව්‍යාපාරික ආයතනයක් වන විස්නෙට් ආයතනය මගින් ජපානයේ වැඩිහිටි සෞඛ්‍ය මධ්‍යස්ථාන 500 ක් පවත්වා ගෙන යන අතර මෙතෙක් එම මධ්‍යස්ථානවලට ලබා දී ඇත්තේ බටහිර ඖෂධයන්ය ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෙදකම තුළ නිදන්ගත රෝග සහ බෝ නොවන රෝග සුව කිරීමේ ඇති හැකියාව නිසා මේ වසරේ පටන් ආයුර්වේද ප්‍රතිකාර ලබා දීමට ජපානයද තීරණය කර තිබේ. 

මේ අනුව ආයුර්වේද ඖෂධ ජපානය තුළ ප්‍රචලිත කිරීමටද අවස්ථාව උදා වේ. මෙයට අමතරව ජපන් ජාතිකයන්ට ශ්‍රී ලංකාව තුළ ආයුර්වේද පුහුණු පාඨමාලා මධ්‍යස්ථාන ආරම්භ කිරීමටද සැළසුම් කර ඇත. 

මෙම ව්‍යාපෘතිය මේ වසරේ ආරම්භ කරන බවත් මේ මගින් රටට විදේශ විනිමය උපයා ගත හැකි වන බවත් රැකියා අවස්ථා උදා කර දීමටත් ජපන් ජාතිකයන් වැඩි වශයෙන් මෙරටට සංචාරකයන් ලෙස ගෙන්වා ගැනීමට හැකි වන බවත් ජපානයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් සහ ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංස්කෘතික වෙළඳ කේන්ද්‍රයේ සභාපති සුනිල් ගමගේ මහතා පවසයි. ජපන් ජාතික තකා හෂී මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගි වූහ.

- මානෙල් පුෂ්ප කුමාරි
 
Related Posts with Thumbnails