Ads 468x60px

.

රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමි අවුරුදු 104ක් ආයුවළදා අපවත් වෙති...

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලන්කාර මහ නාහිමියෝ අවුරුදු 104ක් ආයුවළදා අපවත් වූහ.

මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරාධිපති ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය සිරි සරණංකරෝපසේන වංශාවතංස අග්ගමහා සද්ධම්මජෝතිකා ධජ ශාසනශෝභන වේවැල්දෙණියේ මේධාලංකාර මහ නා හිමිපාණන් වහන්සේ, සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා සිය පැවිදි දිවිය වසර 83 ක් පමණ දිගු කලක් මෙහෙයවා ඇති සංඝපීතෘවරයන් වහන්සේ නමකි.


1909 දෙසැම්බර් මස හත් වෙනි දින මීරිගම වේවැල්දෙණිය ගම් පියසෙහි සිංගම්කුට්ටි ආරච්චිගේ ඉසන් අප්පුහාමි උපාසක මහතා සහ රාජපක්‍ෂ විතාරණලාගේ ලියගුහාමි උපාසිකා මාතාව යන දම්පතීන්ගේ පුත් රුවනක් ලෙස උන්වහන්සේ උපත ලැබූහ.

1923 මැයි 26 වැනි දින අනුරාධපුර අභයගිරි ආරාමයේ දී (පූර්වාරාමය) කතලුවේ සීලවංශ සහ කදිරාගම සුමනසාර මා හිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යත්වයෙන් සසුන් ගත වූ මුන්වහන්සේ නිට්ටඹුව විද්‍යානන්ද මහ පිරිවෙන්හි දී මූලික අධ්‍යාපනය ලබා ප්‍රාචීන භාෂාවන් පිළිබඳ මනා දැනුමක් ලබා අනතුරුව මීරිගම ශාසනවර්ධන පිරිවෙන්හි වැඩසිටි මහෝපාධ්‍යාය කදිරාගම සුමනසාර මා හිමියන්ගේ අපවත්වීමෙන් පසු එම පිරිවෙන්හි පරිවේනාධිපති තනතුරට පත්වූහ.

1930 ජූනි 16 වෙනි දින උපසම්පදා භූමියට පත් වී ඇති මුන්වහන්සේ මීරිගම ජනතාවට පමණක් නොව මුළු මහත් ලක්වැසි ජනතාවට ද පොදුවේ බෞද්ධ ලෝකය සඳහාම සිදු කර ඇති සේවය පමණ කළ නොහැකි ය.

මහනා හිමිපාණන් වහන්සේගේ ජීවිතය භික්‍ෂූන් වහන්සේට පමණක් නොව ඕනෑම කෙනෙකුට ආදර්ශයට ගත හැකි ජීවිතයකි. අලුයම 4.00 ට අවදිවන මුන් වහන්සේ තවමත් සිය කටයුතු තමා විසින් ම සිදු කර ගැනීමට සමත් යවිය.. තනිව හිස රැවුල බා සිරුර කිස නිමා කොට අලුයම 5.30 ට සිය ශිෂ්‍යයන් වහන්සේලා සමඟ බුද්ධ වන්දනාවට සහභාගි වෙති. මළුපෙත්මං ඇමදීම ආදිය නිමා කොට සියලු ශිෂ්‍යයන් වහන්සේලා සමඟ දාන ශාලාවට වැඩම කොට දානය වැළඳීමට උන්වහන්සේ මහත් කැමැත්තක් දැක්වුහ..

සිය ආචාර්යයන් වහන්සේලා ආරක්‍ෂා කළ නිකායික ප්‍රතිපත්ති එලෙසම ආරක්‍ෂා කරමින් පළමුවෙන්ම මීරිගම ප්‍රාදේශීය සංඝ සභාවේ ලේකම් තනතුරට පත් වූ මුන්වහන්සේ පසුව නිකායේ පාලක සභාවට ද කාරක සභාවට ද ප්‍රාදේශීය අධිකරණ නායක විශේෂාධිකාරී මණ්ඩලයට ද පත්වූහ.

1983 උපරිමානුවිජ්ජක තනතුරටත් පසුව සඤ්ඤාලේඛකාධිකාරී තනතුරටත් අනතුරුව නිකායේ අධිකරණ නායක තනතුරට ද පත් වී විශාල සේවයක් සිදු කළහ. 1998 දී පොත්තේවෙල පඤ්ඤාසාර මහ නාහිමියන් අපවත්වීමෙන් පසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක පදවියට පත්වුහ.

අපවත් වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපාණන් වහන්සේ සහ එකල මල්වතු විහාරයෙහි මහා නායක හිමිපාණන් වහන්සේ මෙන්ම වත්මනෙහි අස්ගිරි පාර්ශවයෙහි මහානායක ස්වාමීන් වහන්සේ සමඟ එක්ව නිකායත්‍රයෙහි සමගියට මෙන්ම ලක්වැසි ජනතාවගේ හිත සුව පිණිස සාමූහික සාකච්ඡා කිරීමටත් තීරණ නිකුත් කිරීමටත් ආරම්භ කළහ.


විදේශයන්හි පවා වැඩම කරමින් බෞද්ධ ලෝකයේ ප්‍රබෝධය පිණිස කටයුතු කරන මහා නා හිමිපාණෝ ජපානය, ඕස්ට්‍රේලියාව, බුරුමය, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව, කොරියාව, කාම්බෝජය ආදී රටවල මේ වන විට විවිධ ආගමික කටයුතු සඳහා වැඩම කර ඇත.

මීරිගම පිරිවෙනෙන් ඇරඹි මහානාහිමියන්ගේ අධ්‍යාපනික සේවය අතිමහත් ය. පිරිවෙන් සහ පාසල් ගණනාවක් අරඹා ඇත. මුන්වහන්සේ අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් කටයුතු කළහ.

එමෙන්ම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය සම්බන්ධව පාලන සභාවන්හි ද එහි කුලපති තනතුර ද කලක් දැරූ මහා නාහිමිපාණෝ දෙස් විදෙස් හි විශාල සේවයක් සිදු කරනු ලැබූ  සිය ගණන් ශිෂ්‍යයන් වහන්සේගේ වන්දනීය ගුරු දේවයන් වහන්සේ නමක් විය.
 
Related Posts with Thumbnails