Ads 468x60px

.

රෝහිත පුතා සහ අපේ පුතාලා

එංගලන්තයේ විශ්ව විද්‍යාලයක එරොස්පේස් ඉංජිනියරින් (Aerospace Engineering) හෙවත්  අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව හදාරන  ජනාධිපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ තමන්ගේ මුල් උපාධිය නිම කොට තව මස තුනකින් පමණ මාස්ටර්ස්  උපාධිය ද නිම කිරීමට අපේක්ෂා කරන බව පවසයි. ඔහු පවසන පරිදි


ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා පමණක් නොව ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීම රෝහිතගේ  බලාපොරොත්තුව වේ. ඔහුගේ බලාපොරොත්තු වලට අප සුභ පතමු. නමුත් මෙතන පොඩි කොස්සක් තිබේ. රෝහිත පුතා කජු කිරි වයසෙන්ම මූලික උපාධිය නිම කරන විට අපේ පුතාලා මුලික උපාධිය ඉවර කිරීමට  කෙස්ස පැහෙන තෙක් ලංකාවේ විශ්ව විද්‍යාල වල  නාකි වෙති. ඉන්පසු   රැකියාවක් ලබා ගැනීම සඳහා උපවාස කිරීම ඔවුන්ට අනිවාර්ය වේ. 

අපේ පුතාලාගෙන් පශ්චාත්  උපාධියක් කිරීමට හැක්කේ එහෙමත් එකෙකුටය. රෝහිතලා  නාරඹ  වයසේදීම උපාධි නිම කිරීමත් අපේ කට්ටිය විශ්ව විද්‍යාල වල වේලීමත් සංකේතවත් කරන්නේ කුමක්ද ? අපගේ අධ්‍යාපනයේ ඇති විපරීත  නොවේද ? රෝහිත පුතා ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම්   ජනාධිපතිවරයා රෝහිතට කෙස්ස පැහෙන තෙක් ලංකාවේ විශ්ව විද්‍යාලයක නාකි වන්නට ඉඩ දෙන්නේ නැත.

කෙසේ හෝ විශ්ව විද්‍යාලය ක්‍රියාකාරිව තබාගැනීමට විධි විධාන දෙනු ඇත. නමුත් තමාගේ හතර වරිගේ එකෙක් අහලකවත් නැති විට ඕවාට නැහෙන්නට ජනාධිපතිට වෙලාව නැත. ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රශ්න විසඳීමට උසස් අධ්‍යාපන ඇමතිට අවශ්‍ය නැත. එසේම මේ ප්‍රශ්න විසඳි ලංකාවේ විශ්ව විද්‍යාල ලෝකයේ අනෙකුත් විශ්ව විද්‍යාල මෙන් ඉහල මට්ටමකට ගෙන ඒමට බොහෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට අවශ්‍ය නැත. ශිෂ්‍ය සංගම වල වැඩ මිසක් තමන්ගේ විශ්ව විද්‍යාල ගුණාත්මකභාවය වර්ධනය ගැන විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ටද  වගක් නැත. සියලුදෙනා වෙනස් වීමට බියය.  

නමුත් හැමදේටම උද්ඝෝෂණය කරති. වෙනස් වීමට බිය මානසිකත්වය සහ උද්ඝෝෂණ මානසිකත්වය නිසා අපේ පුතාලා බිමය. රෝහිත පුතා උඩය.  අපේ පුතාලා බැනර්  එල්ලාගෙන යටි උගුරෙන් මොර දෙමින්  උද්ඝෝෂණ කරන අතරතුර රෝහිත පුතා අභ්‍යවකාශයට යනු ඇත.  රෝහිත පුතා උඩින් යතේ , අපේ පුතුන් බිමින් යතේ.  අපට කල හැක්කේ කුමක්ද ?  අපෙන් එකෙකි මේ මිනිසා කියා හිත හදා ගැනීම හැර වෙන කුමක්ද .

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails