Ads 468x60px

.

ප්‍රදර්ශනයේ තිබූ ලක්‍ෂ 14 ක්‌ වටිනා දියමන්තියක්‌ හොර රහසේම ගිල දැමූ චිනා අතේ මාට්ටු...

ඔහු සමඟ සිටි අනෙක්‌ චීන ජාතිකයා හෙමිහිට මාරුවෙයි...

වටිනාකමක්‌ නැති වීදුරු ගල් තොගයක්‌ මැණික්‌ගල් වලට මාරු කරන්නත් හදලා...

ආරක්‍ෂිත කැමරා පරීක්‍ෂා කිරීමේදී චීන ජාතිකයා දියමන්තිය ගිලින ආකාරය පැහැදිලිව සටහන් වෙලා...

කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මැණික්‌ ප්‍රදර්ශනයේ තිබූ මැණික්‌ ගල් සොරා ගැනීමට පැමිණි සංවිධානාත්මක චීන ජාතිකයන් පිරිසක්‌ අතරින් එක්‌ අයකු අත්අඩංගුවට ගත් පොලිසිය එම ස්‌ථානයේ දී සැකකරු ගිල දැමූ රුපියල් ලක්‍ෂ 14 ක්‌ වටිනා දියමන්තියක්‌ද සොයාගෙන ඇත. 

මෙම සිද්ධිය වාර්තා වූයේ ඊයේ
(5 වැනිදා) පෙරවරු 9.45 ට පමණය. සැකකාර චීන ජාතිකයා සමග පැමිණි තවත් චීන ජාතිකයන් පිරිසක්‌ අතුරුදන්ව ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය මගින් සංවිධානය කළ ජාත්‍යන්තර මැණික්‌ ප්‍රදර්ශනය ආරම්භවී ඇත්තේ පෙරේදා (4 වැනිදා) සිටය. ඊට දේශීය මෙන්ම විදේශීය ගැනුම්කරුවන් විශාල පිරිසක්‌ද පැමිණ සිටියහ.

ඊයේ පෙරවරු 9.45 ට පමණ බෙල්ග්‍රේඩ් ඉන්ටර්නැෂනල් සමාගම විසින් ඉදිරිපත් කළ වෙළෙඳකුටිය වෙත පැමිණි චීන ජාතිකයන් දෙදෙනකු දියමන්ති පරීක්‍ෂා කරමින් සිට ඇත.ඒ අවස්‌ථාවේ එක්‌ චීන ජාතිකයකු දියමන්තියක්‌ හොර රහසේම ගිල දැමූ බව එහි සිටි සේවකයන් දැක තිබේ.

සේවක සේවිකාවන් ඒ පිළිබඳව චීන ජාතිකයාගෙන් විමසීමේදී ඔහු එය තදින් ප්‍රතික්‍ෂේප කර ඇත. පසුව ආරක්‍ෂිත කැමරා පරීක්‍ෂා කිරීමේදී චීන ජාතිකයා දියමන්තිය ගිලින ආකාරය එහි සටහන්ව තිබී ඇත.ඒ අනුව එම චීන ජාතිකයා අල්ලාගත් සේවකයන් ඔහු බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පොලිසිය වෙත භාරදී තිබේ. 

ඒ වන විට ඔහු සමඟ සිටි අනෙක්‌ චීන ජාතිකයා පලාගොස්‌ සිටි බව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් චීන ජාතිකයා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස්‌ පරීක්‍ෂණයක්‌ සඳහා ඉදිරිපත් කළ පොලිසිය ඔහු ගිල දැමූ දියමන්තිය ලබා ගැනීමට කටයුතු කරන ලදී.

සැකකාර චීන ජාතිකයා තවත් චින ජාතිකයන් හය දෙනකු සමග ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. ඔවුන් බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි අතර මැණික්‌ සොරා ගැනීමේ ජාවාරමේ නිරතව සිටින බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ. 
 
සැකකාර චීන ජාතිකයන්ට රටින් පිටවී යැම වැළැක්‌වීම සඳහා ඔවුන් පිළිබඳ තොරතුරු ගුවන් තොටුපළ වෙත භාරදීමට පොලිසිය කටයුතු කර ඇත.අත්අඩංගුවට ගත් චීන ජාතිකයා සතුව වටිනාකමක්‌ නැති වීදුරු ගල් තොගයක්‌ද තිබූ බව පොලිසිය පවසයි. ඔවුන් එම වීදුරුගල් රැගෙන එන්නේ වටිනා මැණික්‌ගල්වලට ඒවා මාරු කිරීමට බවද හෙළිවී තිබේ.


 
Related Posts with Thumbnails