Ads 468x60px

.

රන්මිණිතැන්න ජනාධිපතිවරයා නොමග යවමින් කළ ව්‍යාපෘතියක් - රන්ජන් කියයි

රන්මිණිතැන්නේ කාරිය හරියට කෙරුණේ නෑ...

දූෂණ, වංචා, යටිමඩි ගැහිල්ල එහි තිබෙනවා...

අවංක දේශපාලනය දැවැන්ත අභියෝගයක්...

සද්ද විද්ද පළඟ පතිර රාජපක්ෂ කුමාරගේ දොන් රන්ජන් ලියෝ සිල්වෙස්ටර් රාමනායක නොහොත් සිංහල සිනමාවේ අද අපට සිටින ජනප්‍රිය නළුවෙක් වන රන්ජන් රාමනායක සිංහල සිනමාවේ වසර ගණනක්ම එක දිගටම ජනප්‍රිය නළු සම්මානයට හිමිකම් කියා තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වන රන්ජන් තමන්ටම ආවේණික සුවිශේෂ චින්තන රටාවක් සහිත සුවිශේෂ චරිතයක් ද වෙනවා.


මේ ඔහුත් එක්ක කල කතා බහක්.

ඔබ වඩාත් සතුටට පත් වන්නේ දේශපාලනඥයෙක් වීම ගැනද? නැතිනම් කලාකරුවෙක් වීම ගැනද ?
මාව කලාකරුවෙක් ලෙස හඳුන්වනවා නම් කැමැතියි. මේ පවතින ක්‍රමය යටතේ අවංක දේශපාලනය දැවැන්ත අභියෝගයක් විදිහටයි මා දකින්නේ.

ඔබව හැමෝම හඳුන්වන්නේ ‘රන්ජන් රාමනායක’ යන කෙටි නමින්. නමුත් ඔබේ සම්පූර්ණ නම සාමාන්‍ය නමකට වඩා දිගින් වැඩි නේද ?
නම, නම් තරමක් දිග වැඩි තමයි. මේ නිසා මට බොහෝ ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙනවා. ගුවන් තොටුපළවලදී මෙන්ම විදේශ රටකට ගියාම බොහෝ ගැටලුවලට මම ලක්වෙනවා. මේ නිසා ඇතැම් විට මගේ වීසා පවා අවලංගු වෙනවා.

විජය කුමාරතුංගයන් ගේ සමීප ඥාතියකු වන ඔබ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දැඩි ලෙස විවේචනයට ලක් කළා නේද?
දේශපාලනයේදී නෑදෑකම්, යාළුකම් මට වැදගත් නැහැ. මගේ ප්‍රතිපත්තිය එයයි. එතුමියගේ දේශපාලන ප්‍රතිපත්තිවලට මම එකඟ නැති නිසා මගේ සිනමා නිර්මාණවලින් ඇය විවේචනය කළා. මම කෙළින් කතා කරන කෙලින් වැඩ කරන මිනිහෙක්.

ඔබ රඟපෑ චරිත අතුරින් වඩාත්ම කැමැති චරිතය කුමක්ද ?
Ranjan2‘යකඩ පිහාටු’ චිත්‍රපටයේ රොම්ෂ් නම් හමුදා නිලධාරියාගේ චරිතයට මම කැමැතියි.

ජනප්‍රිය සිංහල චිත්‍රපට රැසක් ඉදිපත් කළ ඔබ මෑත කාලයේ දී අලුත් නිර්මාණයක් ඉදිරිපත් නොකළේ ඇයි ?
මගේ පළමු චිත්‍රපටිය ‘පාර්ලිමන්ට් ජෝක්ස්’ චිත්‍රපටයට රැඟුම් පාලක මණ්ඩලය එදා කිසිදු වාරණයක් කළේ නැහැ. නමුත් පසු කාලයේදී ‘වන් ෂොට්’ චිත්‍රපටය සහ ‘ලීඩර්’ චිත්‍රපටයේ නම්, වචන, ලාංඡන, සිංදු සහ දර්ශන රැසක්ම රැඟුම් පාලක මණ්ඩලය විසින් ඉවත් කළා. 


මේවා යට පැහැදිලි ලෙසම තිබුණේ අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම්. මෙවැනි පසුබිමක නිර්මාණයක් බිහි කිරීම අසීරු කටයුත්තක්. කලාවට තහංචි පනවන කොට නිර්මාණයක් ඉදිරිපත් කිරීමට උත්සාහ දැරීමට කැමැත්තක් නැහැ. එතකොට ඒ නිර්මාණයේ ගුණාත්මක බව අඩුවෙනවා.

ඔබ බොහෝ කරුණු සම්බන්ධයෙන් සත්‍ය වසන් නොකරන්නකු බවයි බොහෝ දෙනා කියන්නේ ඔබේ මුල්ම රැකියාව ?
මම සංචාරක හෝටල් පාඨමාලාව හදාරා මුලින්ම සංචාරක හෝටලයක භෝජනාගාර සේවකයකු ලෙස වැඩ කොට තිබෙනවා.

පහුගිය කාලයේ ඔබට සෑහෙන්න මඩත් වැදුණා නේද?
ඒ හැම දේකම යට තියෙන්නේ ජරා දේශපාලනය. ආණ්ඩුවට එකඟ නොවන ඕනම කෙනෙක් මට්ටු කරන්න සිරගත කරන්නට කටයුතු යෙදෙනවා. තමන්ගේ දේශපාලනයට කඩේ යන ඕනම කප්පම්කරුවෙක්. 


කුඩුකාරයෙක්, අපරාධකාරයෙක් බේර ගන්නට ආණ්ඩුව සෑදී පැහැදී ඉන්නවා. මට බොරු චෝදනා නගලා දින තුනක් සිරගත කළත් ලංකාවේ බුද්ධිමත් ජනතාව තේරුම් ගෙන තිබෙනවා සත්‍ය කුමක්ද කියලා. ඒ දෙයින් වුණේ ජනතාව තුළ මා කෙරෙහි තිබුණු ඇල්ම තවත් වැඩිවීම විතරයි.

කලාකරුවන් දේශපාලන වේදිකාවට පැමිණීම සිනමාවට යහපතක් වුණාද ?
මම නම් දේශපාලනයට එනකොට සිනමාවට සේවයක් කරනවා කියලා ආවේ නැහැ. මම කිව්වේ මැදපෙරදිග අතරමං වුණ ශ්‍රමිකයන්ට උදව් කරනවා කියලා විතරයි. මම දේශපාලනයට ආ දවසේ ඉඳලා දැනටත් ඉන්නේ විපක්ෂයේ, පවතින ආණ්ඩුවට කඩේ යන කලාකරුවන්ට දේශපාලනඥයන්ගෙන් ලකුණු දාගැනීම සඳහා තමන්ගේ අභිමානය පාවා දෙන කලාකරුවන්ට ජාතික ප්‍රතිපත්තියක් හදල සිනමාවට සේවයක් කරන්න ඕන තරම් කල් තිබුණා. මේ නිසා මේ ප්‍රශ්නය නැගිය යුත්තේ 1994 සිට මේ රජය සමග කිට්ටු සම්බන්ධතාවයන් පවත්වන කලාකරුවන්ගෙන්.

නමුත් ‘රන්මිණිතැන්න’ ටෙලි සිනමා ගම්මානය සාර්ථක වැඩපිළිවෙළක් නේද ?
රන්මිණිතැන්න අපේ කලාවට සුළුවෙන් හරි සේවාවක් වෙන බව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස මම පිළිගන්නවා. නමුත් ඒ කාරිය හරියට කෙරුණේ නෑ. දූෂණ, වංචා, යටිමඩි ගැහිල්ල එහි තිබෙනවා. විශේෂයෙන් කියන්න ඕන කලාකරුවන් ජීවත් වන්නේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවලයි. එසේ තිබිය දී පැය පහ හයක් පමණ දුරකතර ගෙවලා ගිහින් රන්මිණි තැන්නේ මේ කටයුතු කිරීමේදී දුෂ්කරතා ඇති වෙනවා. මෙය ජනාධිපතිවරයාගේ උපදේශකවරුන් එතුමා නොමග යවමින් කළ ව්‍යාපෘතියක්.

මාතර තිහගොඩ ඔබ අලුතින් තැනූ නිවස ගැන මොකක්ද කීමට තිබෙන්නේ ?
මැදපෙරදිගදී සිරුරට යකඩ ඇණ ගසා අමානුෂික වද වේදනාවලට ලක් වූ තිහගොඩ ‘ආරියවතී මහත්මියට’ මගේ මූල්‍ය දායකත්වයෙන් නව නිවසක් තනා පරිත්‍යාග කළා. මම මේකට අනවශ්‍ය ප්‍රචාරයක් දුන්නේ නැහැ. මට අවශ්‍ය වූයේ අසරණ වූ එම කාන්තාවට උදව් කරන්න විතරයි. අඩුම තරමින් නිවසේ යතුරු භාරදීමටවත්  උත්සවයක් පැවැත්වූවේ නැහැ. ඊට ලැබෙන ප්‍රසිද්ධිය මා ප්‍රතික්‍ෂේප කළා.

තිහගොඩ ආරියවතී මහත්මියට නව නිවසක් ලබා දුන්නත්, ඔබ තවම ජීවත් වන්නේ කුලී නිවසක යැයි ඔබ පතුරුවන කතාව ඇත්තක්ද?
ඔබ මගෙන් ඇහුවොත් ඔබ ඉන්නේ තමන්ගේම ගෙදරකද කියා මට බොරු කියන්න බැහැනේ. ඉතින් ඒක කොහොමද? කතාවක් පැතිරවීමක් වෙන්නේ. ඩඩ්ලි සේනානායක මැතිතුමා මියයන විට තිබුණේ කමිස දෙකයි. රුපියල් පන්සීයකටත් අඩු බැංකු ගිණුමක් වගේ බොහොම ටිකක් විතරයි. මම දේශපාලනය කරන්නේ ඒ දර්ශනය මතයි.

ඔබ රඟන, ඉදිරියේදී ප්‍රදර්ශනය කිරීමට නියමිත චිත්‍රපට මොනවාද ?
සුනිල් ටී. ප්‍රනාන්දුගේ ‘ජීවිතය සුන්දරයි’, ක්ලීටස් ප්‍රනාන්දුගේ ‘පරපුර’, ‘සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ සුද්ධෝදන රජතුමාගේ ප්‍රධාන චරිතය රඟපානවා. චිත්‍රපට දහයක් පමණ මේ වන විට ලැබි තිබෙනවා.
 
Related Posts with Thumbnails