Ads 468x60px

.

එක රැයින් ජනප්‍රිය වන්නේ වාසනාව මත කියලයි මම හිතන්නේ - සුභානි හර්ෂණී

ලාබ සිනා ගීතය බිහිවූ යුගය මගෙ ජීවිතයේ වාසනාවන්තම කාලයක්...

මම කරපු පිනක් තමයි ඒ පලදුන්නේ...

හැබැයි මම ඒ ගීතයෙන් එක සතපහක්වත් හම්බ කරලා නැහැ...

කාලයක් මෙරට ජනප්‍රියම ගීත අතර ඉහළම තලයක තිබුණු ගීතයක් තුළින් නවක ගායිකාවක්ද ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූවාය. සුභානි හර්ෂණී නම් ඇය ඒ දිනවල මාධ්‍යය තුළින් නිතර අප හමුවට පැමිණියේ ‘ලාබ සිනා’ තුළින් ලද ජනප්‍රියත්වය නිසාමය. 

ඉන්පසු එදා මෙදා තුර ගීත රැසක් ඇය ගැයුවාය. විද්‍යුත් මාධ්‍ය තුළින් ඒ ගීත අපට අසන්නට ලැබුණි. එදා ලැබූ උන්මාදනීය ජනප්‍රියත්වය නැතත් ඇය අදද ක්‍ෂේත්‍රය තුළ රැඳී සිටී. පවතින ශිල්පීන් අතර රැඳීම ගැනත් ඒ පිළිබඳව විමසන්නට අපි සුභානිව රැජින කතාබහට එක්කර ගත්තෙමු.

මතකද ‘ලාබ සිනා’  ?
ඔව්, මම ක්‍ෂේත්‍රයට එකතු වුණෙත් ඒ ගීතයෙන්මයි. ඒ දවස්වල ඒ ගීතයට පුදුමාකාර ජනප්‍රියත්වයක් ලැබුණා.


සුභානිගේ ජනප්‍රියත්වයට මොකද වුණේ ?
ජනප්‍රියත්වය තියෙනවා. සංදර්ශන වේදිකාව තුළ මට එදා වගේම ඉල්ලුමක් තියෙනවා. මේ දවස්වලත් අලුත් සී.ඩී. එකට සූදානම් වෙමිනුයි ඉන්නේ.

ඒත් ‘ලාබ සිනා’  යුගයේ තිබූ ජනප්‍රියත්වය අදත් තියනවා කිව්වොත් ඒක බොරුවක් ?
එක රැයින් විශාල ජනප්‍රියත්වයක් ලබන ගීත බිහිවනවා. එහෙම ගීත හැමදාම ඒ විදියටම පවතින්නේ නැහැ. ඒ වගේම එවැනි ගීත ගායන ගායක ගායිකාවන්ගේ හැම ගීතයක්ම එක විදියටම ජනප්‍රියත්වය ලබන්නෙ නැහැ. ‘ලාබ සිනා’  ඒ වගේ විශාල ජනප්‍රියත්වයක් ලැබූ ගීතයක්. එදා මට තිබූ ඒ ආකර්ෂණය ඒ විදියටම අද වනතුරු පවතින්නේ නැහැ. ඒක මේ ලෝකේ හැටියක්.

එක රැයින් ජනප්‍රිය වන ගීතයක් නිර්මාණය කරගන්නෙ කොහොමද ?
එක රැයින් ජනප්‍රිය වන්නේ වාසනාව මත කියලයි මම හිතන්නේ. ‘ලාබ සිනා’ ගීතය බිහිවූ යුගය මගෙ ජීවිතයේ වාසනාවන්තම කාලයක්. මම කරපු පිනක් තමයි ඒ පලදුන්නේ.

Subani-2දැන් රියැලිටි තරගවලින් එන නවකයින්ට ඒ විදියට පින් පලදෙනවා දකින කොට ඔබට ඉරිසියා හිතෙනවද ?
අනේ නැහැ. කවමදාවත් නැහැ. අනික මම නිතරම කියන දෙයක් තමයි අංක එක තුළ හැමදාම ඉන්න කිසිම කෙනෙකුට බැහැ කියන එක. අපි කිසිසේත්ම නොහිතපු අසාමාන්‍ය දක්ෂතා ඇති කෙනෙක් අද මේ මොහොතේ ක්‍ෂේත්‍රයට ඇවිත් අනිත් හැමෝම අභිබවා මතුවන්න පුළුවනි. නමුත් ඒ කිසිම කෙනෙක් හැමදාම ඒ තැන රැඳෙන්නේ නැහැ.

ඒ හුඟක් අයට දිගටම පවතින්න බැරි ඇයි ?
බුද්ධිමත්ව ඉන්නවා නම් කාට වුණත් පවතින්න පුළුවනි. දැන් මම ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු එකොළහයි. පළමු ගීතය උන්මාදනීය ගීතයක් වුණා. නමුත් ඒ ගීතය යටපත් වුණාට මම නැතිවෙලා ගියේ නැහැ.

මොකක්ද ඒකට හේතු වුණේ ? 
හොඳ නිර්මාණ බිහි කිරීම වගේම ක්‍ෂේත්‍රයේ අනිත් අය එක්ක ගනුදෙනු කරන විදිහ ප්‍රවීණයින්ට ගරු කිරීම වගේ දේවල් තමයි මගේ පැවැත්මට හේතු.

නවක පිරිස ඔබට ගරු කරන්නෙ නැහැ කියන කනගාටුවෙන් නේද ? ඔය කතා කරන්නේ ?
මම ප්‍රවීණයෙන් කියල මම තවම හිතන්නෙ නැහැ. මම කියන්නේ මම ගැන නමෛයි. මේ ක්‍ෂේත්‍රයේ ගරු කළයුතු අය ඕනෑ තරම් ඉන්නවා. අපිත් ඒ අය දුටු තැන ගරු කරනවා. ඒත් අද පරපුරේ සමහර අය සංදර්ශනයකට ඇවිත් වාහනයෙන් බහින්නෙ තමන්ට වැඩිය කෙනෙක් තවත් නෑ කියලා හිතාගෙන. ගීතය ගැයුවා හැරිල ගියා. අර මම කියපු විදියේ ප්‍රවීණයන් එතැන හිටියත් සමහරු ගණන් ගන්නෙ නැහැ.

ඇතැම් ප්‍රවීණයන් තමන්ට දොස් නගන බවත් තමන්ගේ ගරුත්වය රැක ගන්නේ නැති බවත් ඔබ කියන ඔය නවකයන් කියනවා ?
ඒක බොරුවක්. මගෙ පළමු  ගීතයෙන් මම විශාල ජනප්‍රියත්වයක් ලබද්දී කිසිම ප්‍රවීණයෙක් මට ඊර්ෂ්‍යා කළේ නැහැ. ප්‍රවීණයන්ට නිසි ගෞරවය දක්වන්නෙ නැතුව ඒ අයගෙන් ආදර ගෞරවයක් බලා‍පොරොත්තු වන නවක පිරිසට සහ ප්‍රවීණයන්ගෙ ගීත අමු අමුවේ මංකොල්ල කන නවකයින්ට නම් ප්‍රවීණයන්ගේ දොස් අහන්න වනවා ඇති තමයි.

නවක ගායිකාවක් ‘ලාබ සිනා’ ගීතය රී මික්ස් කරල ගැයුවොත්
මමත් ‘තුරුණු ශක්ති’ තරගයේදී අනුන්ගෙ ගීත ගැයුවා තමයි. ඊට පස්සෙ එළියට ආවේ මගේම ගීතවලින්. තරගයකදී කවුරු හරි මගෙ ගීතය ගැයුවට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මගෙ අවසර නැතුව මගෙ ගීතය විකුණලා මුදල් හම්බ කරන්න හැදුවොත් නම් මම ඒ අසාධාරණයට එරෙහිව නීතිමය පියවර ගන්නවා.

නමුත් ඔබ ඈන් කෞෂල්‍යා ගැයූ ‘දම්මි සුගත් තනි කළාට’ ගීතය ගායනා කරලා ඔබත් මුදල් හම්බ කළා
ඒ මංකොල්ල කෑමක් නමෛයි; අදාළ කැසට් නිෂ්පාදකවරු ගීතයේ නියම අයිතිකරුවන්ගෙන් නීතිමය පසුබිමක් මතයි ඒ ගීතය ලබා ගත්තේ. හැබැයි මම ඒ ගීතයෙන් එක සතපහක්වත් හම්බ කරලා නැහැ.


ජනප්‍රිය ගායිකා සුභානි හර්ෂණී

 
Related Posts with Thumbnails