Ads 468x60px

.

බදුලු පුරවරය කඳුළු සාගරයක ගිල්වා ගොරඩියවක ඔයේ සැඟව ගිය මව සහ සිඟිති දියණිය...

වත්ත පහළ ගොරඩියවක ඔයට බැහැලා එන්න එපා..

දුව සමඟ අනෙක් පාරේ පාලම උඩින් එන්න...

පන්ති ඉවරයි මම දුව සමඟ බස් එකේ දැන් එනවා...

හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැලිකමුල්ල හොරඩියවක ගම්මානයේ පිහිටි අංක 32ක නිවෙසේ අවුරුදු 3ක සහ 8 වයසේ දියණියන් දෙදෙනකු සමඟ ජෙනීටා නිරෝෂණී (36) මවත්, ඇන්ඩෘ රෝයි ඇන්ටන් (46) පියාත් ජීවත් වූයේ සමඟියෙන් ඉතා සතුටිනි.

ජෙනීටා නිරෝෂණී දෙමළ, සිංහල සහ ඉංගී්‍රසි භාෂා අමතර පන්ති පවත්වා සිසු සිසුවියනට දැනුම ලබාදුන් අතර ඇන්ඩෘ රෝයි සුළු වෙළෙදාම් කටයුතුවල නිරතවෙමින් පවුල් දිවිය ගෙන ගියේය.


මෙම යුවළගේ වැඩිමහල් දියණිය වන රින්සි ඩියෝඩ්රා (8) බදුල්ල දෙමළ බාලිකා විදුහලේ 4 ශේ්‍රණියේ ඉගෙනුම ලැබුවාය. ඇගේ නැඟණිය කැන්සි බේ්‍රනා (3) සුරතල් වයසේ පසුවෙමින් මවත් පියාත් සමඟ කෙළිදෙළෙන් නිවෙසේ කල් ගෙවුවාය.

රින්සි ඩියෝඩ්රා දැරිය 2014 වසරේ පැවැත්වීමට නියමිත 5 ශිෂ්‍යත්ව විභාගයට දැන් සිටම ලක ලෑස්ති වෙමින් සිටියාය. ඉගෙනීමට දක්‍ෂ ඇය පාසල නිමවීමෙන් පසුව බදුල්ල නගරයේ
යාල්පානම්වත්ත ප්‍රදේශයේ පැවැත්වෙන ශිෂ්‍යත්ව උපකාරක පන්තියකටද ගියේ ඉගෙනීමට තිබූ ආශාව නිසාවෙනි.

එම උපකාරක පන්තිය පැවැත්වෙන දිනට ජෙනීටා නිරෝෂණී දියණියට අවශ්‍ය දහවල් ආහාරයද රැගෙන නිවෙසින් පිටව යන්නේ දරු සෙනෙහස පිළිබඳ මවකගේ ඇති සැබෑ ගුණාංගය ඉස්මතු කරමිනි. පාසල නිමවීමෙන් පසු දියණියට දිවා ආහාරය කවා පොවා පසුව දියණිය කැටුව ඇය යාල්පානම්වත්තේ පිහිටි ශිෂ්‍යත්ව උපකාරක පන්තියට යෑම සාමාන්‍ය සිරිතය.

පන්තිය නිම වනතුරු එහි රැඳී සිටින ජෙනීටා පසුව දියණියද සමඟ නිවෙසට යන්නේ මවකගෙන් දැරියකට ඉටුවිය යුතු යුතුකම් කොටස ඉටුකරමිනි.

නමුත් මේ සුන්දර කැදැල්ලට මහත් විපතක් සිදුවන බවට සිඟිති දියණියන් දෙදෙනාත්, මවත්, පියාත් දැන නොසිටින්නට ඇත. ඒ කැදැල්ල සුනු විසුනු කරන්නට තරම් ස්වභාව ධර්මයාත්, දිය රකුසාත් මෙතරම් කුරිරු වූයේ මන්දැයි අපටද ප්‍රශ්නයකි.

පසුගිය 7 වැනි දින බදුල්ල ප්‍රදේශයේ පස්වරුවේ ධාරානිපාත වර්ෂාවක් ඇදහැලුණි. පැය කීපයක් එක දිගටම නොනවත්වා වර්ෂාව පතිත වූයේ හාලිඇළ බදුල්ල ප්‍රදේශයම අඳුරේ ගිල්වා තබමිනි.

ඒ අඳුර තුළින් ජෙනීටා සහ ඇන්ඩෘගේ සෙනෙහෙ කැදැල්ලට ක්‍රම ක්‍රමයෙන් අඳුරු වලාවක් ළං වෙමින් පවතින බව කිසිවකු දැන සිටියේ නැත.

උදෑසන පාසල් ගිය රින්සි දැරියට එදින පස්වරුවේ ශිෂ්‍යත්ව උපකාරක පන්තිය පැවැත්විණි. ජෙනීටා කල්වේලා ඇතිව දහවල් 12.00ට පමණ දියණියට ආහාර රැගෙන නිවෙසින් පිටව ගියේ කැන්සි බේ්‍රනා (3) සිඟිති සුරතල් දැරිය සිය සැමියාට බලාගෙන නිවෙසට වී සිටින ලෙසට කියමිනි. නමුත් ජෙනීටා මේ යන්නේ අවසන් ගමන බව ඇන්ඩෘටත්, කැන්සි සිඟිති දැරියටත් නොසිතෙන්නට ඇත.

ඇන්ඩෘ සිඟිති දියණිය සමඟ නිවෙසේ සිටි අතර ජෙනීටා පාසලට ගොස් රින්සි දියණියට දිවා ආහාරය කවා පොවා සප්පායම් කළාය. මවගේ අතින් කන අවසන් ආහාර වේල මෙය බවට රින්සි දියණියද දැන නොසිටියාය.

අනතුරුව මවත්, දියණියත් බදුල්ල යාල්පානම්වත්තේ ශිෂ්‍යත්ව උපකාරක පන්තියට ගියහ. මේ වේලාවේ අනෝරා වැස්සක් ඇදහැලුණේය. ඒ වර්ෂාවේ මෙම මවගේත් දියණියගේත් මරුවා සැඟවී සිටියේය.

පන්තිය නිමවී මව දියණිය කැටුව බදුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළට පැමිණ කෙහෙල්ඇල්ල හරහා එළදලුව බසයට ගොඩවී ජෙනීටා සිය සැමියා ඇන්ඩෘට දුරකතන ඇමැතුමක් ගත්තාය. පන්ති ඉවරයි මම දුව සමඟ බස් එකේ දැන් එනවා යැයි ඇය කීවේය. 


ඒ සමඟ ඇන්ඩෘ කතා කරමින් වැස්ස සැර වැඩියි. වෙනදා එනවා වගේ වත්ත පහළ ගොරඩියවක ඔයට බැහැලා එන්න එපා. දුව සමඟ අනෙක් පාරේ පාලම උඩින් එන ලෙසට ඇන්ඩෘ ජෙනීටාට උපදෙස් දෙමින් කීය. ඒ මෙම යුවළ අතර වූ අවසන් කතා දෙබස විය.

ධාරානිපාත වර්ෂාවද නොතකා බස් රථය වැලිකමුල්ල ගොරඩියවක ප්‍රදේශයට ළඟාවිය. ජෙනීටා සිය දියණිය සමඟ බසයෙන් බැස සිය නිවෙසට යෑමට ඉක්මන් කළේ ඇදැහැලුණු ධාරානිපාත වර්ෂාව නිසාවෙනි.

ඇය දියණිය අල්ලාගෙන වෙනදාත් සුපුරුදු ලෙස යන තම වත්තේ ගොරඩියවක ඔය අසලට ගියේය. වර්ෂාවත් සමඟ එහි ජල පහර වැඩි වී තිබිණි. නමුත් මෙම ස්ථානයෙන් එගොඩ මෙගොඩ වී ජෙනීටාට හොඳට හුරුපුරුදුය.

ජෙනීටා සිය දියණිය රින්සිගේ අත හයියෙන් අල්ලා ගත්තේය. ඇයගේ එක අතක නිවෙසට අවශ්‍ය ආහාර තිබූ බෑගයක්ද විය. දෙදෙනා ගොරඩියවක ඔයට බැස එගොඩ වීමට උත්සාහ කිරීමත් සමඟ එක්වරම ගලා ආ විශාල සැඩ දිය පහරකට හසුවී දෙදෙනා ගසාගෙන ගියේය. ඇය කෑගැසුවත් ඒ ශබ්දය අවට ප්‍රදේශයට නොඇසිණි. ජල පහරේ ශබ්දයත්, අධික වර්ෂාවත් විසින් ඇයගේ හඬ වසා ගත්තේය.

මෙසේ මවත් දියණියත් සැතපුමක් පමණ දුර ජල පහරේ ගසාගෙන ගොස් අවසානයේ ගොරඩියවක පාලමේ සිරවූහ.

මේ වනවිට අතුරුදන් වූ බිරිය සහ දියණිය සොයා ඇන්ඩෘ ඇතුළු ගම්වාසීහු ගොරඩියවක ඔය පීරන්නට වූහ. විදුලි පන්දම් දල්වා මහ ජලකඳ සමඟ පොරබදිමින් ඔවුන් සෙවූහ. බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බණ්ඩාර රත්නායක මහතාද සිද්ධිය දැනගෙන විශේෂ පොලිස් කණ්ඩායමක් සමඟ එහි ගොස් සිටියේය.

අවසානයේ ගොරඩියවක පාලමේ සිරවී තිබූ මවගේත්, දියණියගේත් සිරුරු ගොඩගෙන පොලිස් ජීප් රථයක දමාගෙන ජීප් රථය ඊයක වේගයෙන් රාත්‍රි 8.00ට පමණ බදුල්ල මහ රෝහලට ආවේ මවගේත්, දියණියගේත් ජීවිත කෙසේ හෝ බේරාගැනීමේ අදහසිනි. 


බදුල්ල මහ රෝහලේ බාහිර රෝගී අංශයේ දැඩි සත්කාර ඒකකයේ සේවයේ නිරතව සිටි වෛද්‍යවරු මවත්, දියණියත් පරීක්‍ෂා කර බැලූ අතර ඒ වනවිටත් මවත්, දියණියත් මෙලොවින් සදහටම සමුගෙන ගොස් සිටියහ.

හාලිඇළ වැලිකමුල්ල, ගොරඩියවක ගම්මානයත්, බදුලු පුරවරයත් කඳුළු සාගරයක ගිල්වා තැබූ ජෙනීටා නිරෝෂණී සහ රින්සි ඩියෝඩ්රා දියණිය සිය පියාගෙන්, සිඟිති නැඟණියගෙන් දයාබර සැමියාගෙන්, දියණියගෙන් සමුගෙන අද (10දා) පස්වරුවේ බදුල්ල ශුද්ධ වූ මාර්ක් දේවස්ථාන සුසාන භූමියේදී අවසන් ගමන් යති.
 
Related Posts with Thumbnails