Ads 468x60px

.

කොන්දොස්‌තරවරුන්ගේ මාටියා ගැහිල්ලෙන් දිනකට ලක්‍ෂ 50 ක්‌ අහිමි වෙනවා - වෙල්ගම කියයි.

ලංගමයට දැන් අවශ්‍ය වන්නෙ මාපිලන්...  

දැන් ඉන්නේ පොළොන්ගු...

මම මාපිලා කියලා කිව්වේ හොඳ නිලධාරියෙක්‌ට...

ඉස්‌සර මාපිලා එනවා කිව්වම ලංගමයම බයයි...

කාර්යශූර දැඩි පාලනයක්‌ නොමැතිව ලංකා ගමනාගමන මණ්‌ඩලයේ වංචාව හා දූෂණය වැළැක්‌විය නොහැකි බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසනවා.

වංචාව තුළින් ලංගමයට දෛනිකව 10% ක මුදලක්‌ අහිමි වන බවත් එය වැළැක්‌වීමට ලංගමයේ විශ්‍රාමලත්, අත්දැකීම්ලත් නිලධාරීන්ගෙන් නිරන්තරයෙන්ම තමා උපදෙස්‌ ලබාගන්නා බව ඇමැතිවරයා සඳහන් කළා.එය ලංගමයේ අනාගත අභිවෘද්ධියට ඉතා වැදගත් බවත් නුදුරු දිනකදීම නව බස්‌ රථ 200 ක්‌ ලංගමයට මිලදී ගන්නා බවත් ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවා.

හෙතෙම මේ බව පැවැසුවේ පානදුර ඩිපෝවේ වසර 37 ක්‌ සේවය කළ නන්දසේන ගමගේ මහතා විශ්‍රාම යාම හා ඒ මහතා විසින් රචිත ලංගම බස්‌ කොමළියට ගෞරවනීය උපහාර යන ග්‍රන්ථය ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට පිළිගැන්වීම සඳහා වූ උත්සව සභාවක්‌ අමතමිනි. පානදුර ශ්‍රී ලංගම ඩිපෝවේදී උත්සව සභාව පැවැතිණි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා "ශ්‍රී ලංගමයට දැන් අවශ්‍ය වන්නෙ මාපිලන්. දැනට ලංගමයේ ඉන්නේ පොළොන්ගු. ශ්‍රී ලංගමයේ ආදායම් වැඩිකර ගැනීමට මාපිලන් අත්‍යවශ්‍ය යුගයක්‌ මේක.

මම මාපිලා කියලා කිව්වේ ඉස්‌සර ලංගමයේ ජංගම පරීක්‍ෂණ අංශයේ හිටියා හොඳ නිලධාරියෙක්‌. ඔහුව අනෙක්‌ සේවකයන් හැඳින්වූයේ මාපිලා කියලයි. මාපිලා එනවා කිව්වම ලංගමයම බයයි. ඒ පළාතේම මාර්ග ලේඛන ආදායම එදාට වැඩි වෙනවා. 

එහෙම අය තමයි අද ලංගමයට අවශ්‍ය. කොන්දොස්‌තරවරුන්ගේ මාටියා ගැහිල්ලෙන් ලංගම ආදායමෙන් දිනකට 10% ක්‌ පමණ අපට අහිමිවෙනවා. අහිමි වන මාර්ග ලේඛන ආදායම රැක ගන්න ඒ වගේ නිලධාරීන් සිටිය යුතුම යුගයක්‌ මේක.

දෛනිකව සියයට 10 ක්‌ අහිමි වෙනවා කියන්නේ දෛනිකව රුපියල් ලක්‍ෂ 500 ක ආදායමක්‌ ලබන ලංගමයට ඉන් ලක්‍ෂ 50 ක්‌ අහිමිවන බවයි. අහිමිවන ලක්‍ෂ 50 න් අලුත් බස්‌ රථයක්‌ මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි ඒක ලංගමයට ලබාගන්න වැඩපිළිවෙළක්‌ හදාගත යුතුයි. 


ශ්‍රී ලංගමයට තවත් බස්‌ රථ 200 ක්‌ මෑතකදීම ගෙන්වීමට කටයුතු කරනවා. ඒ බස්‌ ගෙන්නුවට විතරක්‌ මදි ඒවායෙන් ලැබෙන ආදායම රැකගත යුතුයි. කාර්යක්‍ෂම සේවාවක්‌ ලබාදීලයි ලංගමය ගොඩනඟන්න පුළුවන්.

මෙම අවස්‌ථාවට ශ්‍රී ලංගම ප්‍රාදේශීය කළමනාකරුවන් හා ලංගම සේවකයෝ රැසක්‌ද සහභාගි වුනා.
 
Related Posts with Thumbnails