Ads 468x60px

.

උදේ පාන්දර පිටකොටුවට එන කෙනකුට පත්තරයක්‌ මිලට ගැනීමට ඉඩ තිබිය යුතුය..

එය තොරතුරු දැන ගැනීමට ඇති අයිතියේ කොටසකි...

පුවත්පත් නිදහසේ විකිණීමට ඉඩ දීම මාධ්‍ය නිදහසේ කොටසකි.

නගරයක්‌ වශයෙන් ගත් කල ඉතාම කාලකණ්‌ණි සහ බංකොලොත් තත්ත්වයක තිබූ කොළඹ නගරය ඉතා පියකරු නගරයක්‌ බවට පත්වී තිබේ. 

කැඩිච්ච පාරවල්, අලි බහින වළවල්, ආණ්‌ඩුවේ කන්තෝරු වටා ඉදිකර තිබූ හිරගෙදර තාප්පය තරම් උස තාප්ප අද කොළඹ නගරයේ නැත. 

මහ වැස්‌සක්‌ ඇදහැලුණ විට වෙනදා යටවන තරමට අද පාරවල් යට වෙන්නේද නැත. මේ රටේ වැසියෙක්‌ අවුරුදු 10 කට පසු මුල්වරට ජයවර්ධනපුර නගරයට යන අවස්‌ථාව අද එළැඹුණොත් ඔහු ජයවර්ධන පුරයේ මඳ දුරක්‌ ගොස්‌ ජයවර්ධනපුරයට යන පාර විමසනවා ඇත.

එයට හේතුව එම නගරය හඳුනාගත නොහැකි තරමට දියුණු වී තිබීමය. මේ මොහොතේදී නගර සංවර්ධනය අතින් මේ රට ආසියාවේ හොඳම නගර ඇති රට වන සිංගප්පූරුවට පවා දෙවැනි වන්නේ නැත. ඒ ගැන ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්තුමාට අපගේ ස්‌තුතිය හිමි වේ.

මේ කතාවේ ඉතිරි ටික එතරම් ප්‍රියදායක නැත. කොළඹ නගරයේ පුවත්පත් අලෙවිකරුවන් සියලුම දෙනාගේ පත්තර ලෑලි ඉවත් කිරීමට කොළඹ නගර සභාව තීරණය කළැයි අපට පෙරේදා (05 දා) දැනගන්නට ලැබිණ. කොළඹ නගරයේ හිඟා කෑම සහ පේමන්ට්‌ වෙළෙ
ඳාම යනාදිය දැන් තහනම් කර තිබේ. 

කොළඹ හිඟා කෑම යනු විශාල ව්‍යාපාරයක කොටසකි. කුඩා ළමයින්ට පිරිටන් හෝ වෙනත් නිද්‍රාජනක ඖෂධයක්‌ පොවා ඇකයේ හොවාගෙන මුළු දවසම හිsඟාකන කුඩුකාර ගැහැනුන්, අතපය කුණු වී ඇතැයි කියමින් බොරු තුවාල හදාගෙන සල්ලි කොල්ලකන හිඟන පිරිමින් යනාදීන්ගෙන් නගරය පිරී තිබූ කාලයක්‌ විය. 

ඒ අතර පාර දෙපස ගුබ්බෑයම් මෙන් අටවන ලද පේමන්ට්‌ කඩ ද, එම කඩ ළඟින් යන තරුණ කාන්තාවන් ට විවිධ නෑකම් කියා ඔවුන්ගේ අත්වලින් අදින වෙළෙන්දොද බහුලව වූහ. අද මේ තත්ත්වය නැත.

මේ තත්ත්වය ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවරත් නැත. එංගලන්තයේ ලන්ඩන් නුවරත් නැත. දියුණු හැම රටකමත් නැත. එහෙත් දියුණු හැම රටකම ප්‍රධාන නගරවල පාරවල් අයිනේ පත්තර වෙළෙ
ඳාම සිදුවෙයි. නිව්යෝර්ක්‌ නගරයේ පාරවල එක පැත්තක එක දිගට තබන ලද යන්ත්‍ර පද්ධතියක්‌ ඇත. 

මෙබඳු යන්ත්‍ර දහයක්‌ හෝ පහළොවක්‌ එක පෙළට තබා තිබෙන අතර ඒවායේ ඇත්තේ මුදලට විකුණන පුවත්පත්ය. යන්ත්‍රය තුළට කාසියක්‌ දැමූ විට පුවත්පතක්‌ එළියට එයි. මේ යන්ත්‍ර පෙළ අග තවත් යන්ත්‍ර එකක්‌ දෙකක්‌ හෝ තුනක්‌ ඇත. පළමු යන්ත්‍ර දෙකෙහි ඇත්තේ නොමිලේ දෙන පුවත්පත්ය. 

ඒවාට කාසි දැමි යුතු නැත. එබැවින් එක්‌ පුවත්පතක්‌ බැගින් අතට ගන්නා ඒ මිනිස්‌සු ඒවා ගෙදර ගෙන යති. අවසන් යන්ත්‍රයේ ඇත්තේ පොරෝන ඝනකම් රෙදිය. ඒවා සීත කාලයේදී දුප්පත් මිනිසුන්ට පොරවා ගැනීම සඳහා ය. එම යන්ත්‍රවලටද කාසි දැමිය යුතු නැත. 

ශ්‍රී ලංකාව වැනි රටක නම් රාත්‍රි කාලයෙහි එන වෑන් රථයක්‌ යන්ත්‍රය තුළ ඇති බෙඩ්ෂීට්‌ තොගය පමණක්‌ නොව යන්ත්‍රය ද පටවාගෙන යැමේ ප්‍රවණතාවක්‌ ඇති නමුදු ඇමරිකාවේ එවැන්නක්‌ නැත. අවශ්‍ය දුප්පතා පමණක්‌ සීතලෙන් රැකීම සඳහා බේඩ්ෂීට්‌ එකක්‌ පමණක්‌ ගනී.

ලෝකයේ හැම රටක්‌ම පාර අයිනේ විකුණන්නට ඉඩ දී ඇති එකම වෙළෙඳ භාණ්‌ඩය පුවත්පත් පමණි. පුවත්පත් නිදහසේ විකිණීමට ඉඩ දීම මාධ්‍ය නිදහසේ කොටසකි. ඇමරිකාවේ වෙනස, යන්ත්‍රය අසල මිනිසෙක්‌ නොසිටීමය. 


උදේ පාන්දර පිටකොටුවට එන කෙනකුට පත්තරයක්‌ මිලට ගැනීමට ඉඩ තිබිය යුතුය. එය තොරතුරු දැන ගැනීමට ඇති අයිතියේ කොටසකි. ආරක්‍ෂක ලේකම්තුමා මේ තත්ත්වය ගැන සලකා බලන බව අපි දනිමු. ඔහු එයට යහපත් විසඳුමක්‌ දෙන බව ද අපි දනිමු.
 
Related Posts with Thumbnails