Ads 468x60px

.

පාප්වහන්සේගේ ඉල්ලා අස්‌වීමට බලපෑ හේතුව මෙන්න...

මෙක්‌සිකෝ සංචාරයේදී පාප් වහන්සේ අනතුරකට ලක්‌ වූ බව හෙළිවේ...

රහසිගත ශල්‍යකර්මයක්‌ කරලාලු...

මෙක්‌සිකෝවේ සංචාරයක යෙදී සිටිය දී බෙනඩික්‌ පාප්වහන්සේ නාන කාමරයේ වැටී ගිය හිස තුවාල සිදුවීම නිසා රහසිගත ශල්‍යකර්මයක්‌ සිදු කර ඇතැයි ටියුරින් නගරයේ ලාටුවාමියා පුවත්පත කියා සිටිනවා.

පාප්වහන්සේගේ ඉල්ලා අස්‌වීමට බලපා ඇත්තේ ඒකී සිද්ධිය යයිද එම පුවත්පත සඳහන් කරනවා. එම පුවත සනාථ කරමින් වතිකානු පුවත්පතක්‌ද පැවසූවේ මෙක්‌සිකෝ සංචාරයෙන් පසු බෙනඩික්‌ පාප් වහන්සේ ධූරයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.


දහසයවන බෙනඩික් පාප් වහන්සේ ඉල්ලා අස්වීමෙන් පසු මීළඟට පත්වන්නේ ලෝකයේ අවසාන පාප්තුමාද?

ක්‍රි.ව. 1148දී පැවසුණු අනාවැකියක්


පසුගියදා පාප්තුමා තම තනතුරෙන් ඉල්ලා අස්වූවේය. ඒ සමගම මතකයට ආවේ ද ගෝඩ් ෆාදර් සුප්‍රකට චිත්‍රපට මාලාවයි. මරියෝ පුසෝ ගේ කතා පෙළ ඇසුරින් ලියැවුණ ගෝඩ් ෆාදර් තරම් කෙනෙකුට තව තවත් නැරඹිය හැකි දීර්ඝ චිත්‍රපට මාලාවක් ඇතිදැයි මට සැකය. 

මාෆියා කල්ලි සම්බන්ධ කතාවක් ඔවුන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට දිගහැරෙන ආකාරය ඇතුළත් මේ චිත්‍රපට තුනම සාමාන්‍ය චිත්‍රපටවලට වඩා දිගය. නමුත් එය නරඹන අපට කිසිදු වෙහෙසක් නොතේරෙයි. 

මාලන් බ්‍රැන්ඩෝ තම කුඩා මුනුපුරා සමග සෙල්ලම් කරන අතරේ, හෘදයාබාධයකින් මියයාම, බිරිය පිටත තබා තම සගයින් සමග සාකච්ඡා කිරීමට අල් පචීනෝ දොර වසන විට ඇගේ මුහුණේ ඇඳෙන අසරණ හැඟීම, වින්සෙන්ටේ ලෙස රඟන ඇන්ඩි ගාසියා අල් පචීනෝගෙන් පසු අලුත්ම ගෝඩ් ෆාදර් වීම, අල් පචීනෝගේ දියණිය ලෙස රඟන සොෆියා කො‍පොලා වෙඩි වැදී මියයන අවස්ථාව වැනි මතකයෙන් නොමැනෙක ජවනිකා රැසක් ගෝඩ් ෆාදර් නැවත නැවතත් නැරඹු මා තුළ මෙන්ම තවත් බොහෝ සිනමා රසිකයින් තුළ ඇතුවා නිසැකය.

ගෝඩ් ෆාදර් චිත්‍රපටය එවකට වතිකානුව හා පාප්තුමා ගැනද කතා කරයි. මේ මාෆියාව කතෝලික පල්ලියේ කටයුතුවලට මැදිහත් වෙයි. වතිකානුව වෙනුවෙන් බොහෝ මුදල් ලබාදෙන්නටද මාෆියා ප්‍රධානීහු නොපැකිලෙති. 


ගෝඩ් ෆාදර් තුන්වැනි කොටසෙහි එවකට වතිකානු බැංකුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අග්‍රරාජගුරු ප්‍රසාදී ගිල්ඩේ තවත් පුද්ගලයින් දෙදෙනකු හා එක්ව එවකට සුප්‍රකටම මාෆියා පවුල වන ඩොන් විටෝ කොර්ලියෝනි පවුල විසින් ලබාගන්නට යෙදෙන ගනුදෙනුවක් වැළැක්වීමට කටයුතු යොදයි.

එවිට මයිකල් කොර්ලියෝනි මීළඟ පාප්තුමා වනු ඇතැයි වැඩිදෙනෙකු විශ්වාස කරන ලැම්බර්ටෝ කාදිනල්තුමා හමුවෙයි. මෙහි එන වතිකානු බැංකු ප්‍රධානියාගේ චරිතය හා ඔහු සම්බන්ධ සිදුවීම් සත්‍ය සිදුවීම් ඇසුරින් නිර්මාණය වූ බවද, එහි දැක්වෙන්නේ අග්‍රරාජගුරුප්‍රසාදී ‍පෝල් මාසින්කූ ගේ චරිතය බවද වාර්තා වෙයි. ගෝඩ් ෆාදර් චිත්‍රපටයේ එන මේ කතා ලොව පුරා ආන්දෝලනයන්ට තුඩුදුන් ඒවා විය.


මේ දිනවල වතිකානුව හා පාප්තුමා නැවතත් ලොව පුරා කතාබහට ලක්වෙයි. ඒ වසර හසියයක වාර්තාවක් බිඳ දමමින් වර්තමාන පාප්තුමා වන දහසය වැනි බෙනඩික් පාප්තුමා තනතුරෙන් තමා ලබන විසි අටවැනිදා සිට ඉවත් වන බව නිවේදනය කිරීම හේතුවෙනි. මීට හේතුව ලෙස එතුමා දක්වා ඇත්තේ තම වියපත් බව හේතුවෙන් තවදුරටත් තමාට අයිති රාජකාරි කටයුතු කිරීමට අපහසු බවය. 


ජෝසෆ් ඇලෝසියස් රැට්සඟර් නමින් ජර්මනියේදී උපත ලැබූ එතුමා දෙසිය හැට පස්වෙනි පාප්තුමාය. පාප් පදවියට පත්වන තැනැත්තා වතිකානු රාජ්‍යයේ ප්‍රධානියා හා කතෝලික පල්ලියේ ප්‍රධානියාද වෙයි. වර්තමාන පාප්තුමා පැවිදි දිවියට ඇතුළුවූයේ 1951 වසරේදීය. පාප් පදවියට පත්වන විට එතුමන්ගේ වයස අවුරුදු හැත්තෑඅටකි.

ලතින් භාෂාවෙන් “ආශිර්වාද ලත්”යන තේරුම ඇති “බෙනඩික්ට් නම පාප් පදවියේදී තමා හැඳින්වීමට තෝරාගත් වර්තමාන පාප්තුමා තමා ජනතාවට වඩාත් සමීප වියයුතු බව පවසමින් ජනතාව අතරට යනවිට විවෘත රථයක් යොදාගැනීමට කටයුතු කළේය. වෙනත් ආගමික කණ්ඩායම් සමග විවෘත සංවාදයන්ට නිතර දොර ඇරි පාප්තුමා ඒ හරහා ආන්දෝලනයන්ට ලක්වූ අවස්ථාද නොතිබුණා නොවේ.


නමුත් එතුමා මුහුණ දුන් වැඩිම ආන්දෝලනයකින් යුතු සිදුවීම වාර්තා වනුයේ දේවස්ථානයන් තුළ පූජකවරුන් විසින් කුඩා දරුවන්ට සිදුකරන ලිංගික අපචාර සම්බන්ධයෙන් පැමිණිලි විභාග කිරීමේදීය.


මේ සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් තමා කාදිනල්වරයෙකුව සිටින කාලයේ සිටම අනුගමනය කළ එතුමා එවැනි අපචාර සිදුවන බව පිළිගෙන ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයැද සිටි අතර අනාගතයේදී එසේ සිදුනොවීමට වගබලාගන්නා බවද දන්වා සිටියේය.


පාප්තුමාගේ ඉල්ලා අස්වීම හා ඒ සම්බන්ධයෙන් එතුමා ඉදිරිපත් කරන  හේතුව ගැන කුකුසක් ඇතැමුන් පළ කළද පාප් පදවියට පත්වන විටත් එතුමා රෝගී තත්වයෙන් පසුවූ බව කියැවෙයි. 


ඇත්ත වශයෙන්ම එතුමාට අවශ්‍යව තිබි ඇත්තේ වයස අවුරුදු හැත්තෑපහේදී විශ්‍රාම යෑමටය. වයස සමග මතුවූ රෝගී තත්ත්වයන් මෙන්ම විශ්‍රාම ගොස් තමා කවදත් ප්‍රිය කළ ‍ලේඛන කලාවේ නිරතවීමට ඇති කැමැත්ත ඊට ප්‍රධානතම හේතුන් විය.

නමුත් එතුමාගේ ඉල්ලා අස්වීම එවකට සිටි පාප්තුමා විසින් භාර නොගන්නා ලද අතර 1991 වසරේදී එතුමා රුධිර වහනය හේතුවෙන් ඇතිවූ ආඝාත තත්ත්වයකට ලක්වූවේය. ඉන් එතුමාගේ ඇස්වල පෙනීමද මද වශයෙන් දුර්වල වුවද එතුමා පූර්ණ සුවය ලැබුවේය. මෙම රෝගී තත්ත්වය ගැන නිල දැනුම්දීමක් නොකෙරුණු අතර පාප්තුමා 2005 වසරේදී නැවතත් හෘදයාබාධයකට ගොදුරු විය.


මේ සමගම එතුමාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නැවත කතාබහ ඇති වූ අතර තමා පාප් පදවියට පත්වන විටම තම ධුර කාලය කෙටි එකක් වනු ඇතැයි එතුමන් කළ සඳහන නැවත සිහිපත් කෙරිණි. 


බයිපාස් සැත්කමක් සඳහා සූදානම් කිරීමේ අරමුණින් පාප්තුමාට ශල්‍යකර්මයක් කරන ලද බවට මාධ්‍ය වාර්තාවක් පළවුවද ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පුවත්පතක පළවූ එම වාර්තාව වතිකානුව විසින් ස්ථීර කරන ලද්දක් නොවේ.

2009 වසරේදී ඇදවැටීම හේතුවෙන් පාප්තුමාගේ දකුණු මැණික් කටුව අසලින් බිඳී ගිය අතර එතුමාගේ තත්ත්වය බරපතළ නොවන බවද කියැවිනි. මේ සියලු කතා මැද වුවද පාප්තුමාගේ ඉල්ලා අස්වීම කිසිවෙකුත් බලා‍පොරොත්තු වූවක් නොවේ. 


තම හෘද සාක්ෂියට එකඟව මෙම තනතුරෙහි තවදුරටත් සිටිය නොහැකි බැවින් ඉල්ලා අස්වන බවද පාප්තුමා කියා තිබිණි. ඉන් එතුමා අදහස් කර ඇත්තේ තම වයස සමග මතුවන ශාරීරික තත්ත්වයන් නිසා පාප් තනතුරෙහි රාජකාරි පැහැර හරින්නට නොහැකි බවය. 

පසුගිය පෙබරවාරි 11 වැනිදා නිවේදනයක් නිකුත්කරමින් වතිකානුව පවසා සිටියේ තම වියපත් බව හේතුවෙන් දහසය වැනි බෙනඩික් පාප්තුමා ඉල්ලා අස්වන බවය. 1415 දී දොළොස්වැනි ගේ‍රගරි පාප්තුමා ඉල්ලා අස්වීමෙන් පසු පාප්තුමෙකු තම තනතුරින් ඉල්ලා අස්වූ අවස්ථාව ලෙසද මෙය වාර්තා වෙයි.



පාප්තුමා ඉල්ලා අස්වූ බව නිවේදනය කළ අවස්ථාවේ අපූරු සිදුවීමක් ඒ බව වාර්තා කරන්නට ගිය බි.බි.සී. මාධ්‍යවේදියෙකුගේ වීඩියෝ කැමරාවේ සටහන් විය. ඒ නිවේදනයෙන් පැය කීපයකට පසු වැස්සක ලකුණකුදු නැතිව වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවට අකුණක් පහත්වන ආකාරයයි. තවත් කතාවකින් කියැවෙනුයේ මේ අලුතින් පත්වන්නේ අවසන් පාප්තුමා බවට අනාවැකියක් පළකොට ඇති බවය.

මේ අනාවැකිය ඇත්තේ අයර්ලන්තයේ හිටපු අග්‍රරාජගුරුප්‍රසාදීන් වහන්සේ කෙනෙකු විසින් පළකොට ඇති අනාගත වාක්‍ය අතරේ බව කියැවෙයි. 1148දී මියගිය හා වර්තමානයේදී ශාන්ත මලාචි ලෙස හැඳින්වෙන මෙම අග්‍රරාජගුරුප්‍රසාදීන් වහන්සේ මෙවැනි අනාගත වාක්‍ය 112ක් ලියා ඇති බවද ඒවා ඉතා පුදුම සහගත ලෙස පසුකලෙක සිදුවී ඇති බවද කියැවෙයි. 


මේ අවසන් පාප්තුමා “රෝමානු ජාතිකයෙකු වන පීටර්” ලෙස මලාචි අනාගත වාක්‍යයන්හි  සඳහන් කොට ඇති අතර ඉන්පසු එතුමන් ලෝක විනාශයක් සිදුවන බවට අඟවා ඇති ආකාරය නිසා පාප්තුමෙකු නැතිවීමට හේතුව එය බව ඇතැමුන්ගේ පිළිගැනීමයි.


මේ අතර නව පාප්තුමා තේරීම පාස්කුවට පෙර සිදුකෙරෙනු ඇතැයි පැවසේ. නව පාප්තුමා තේරීමේ කටයුතු වර්තමාන පාප්තුමා නිල වශයෙන් තම ධුරයෙන් සමුගන්නා ලබන විසි අට වැනිදා වනතුරු ආරම්භ නොවනු ඇති බවද කියැවෙයි.


වතිකානුවේ, සිස්ටයින් දේවස්ථානයේදී කාදිනල්වරු 117 දෙනෙකුගේ ඡන්දයෙන් මීළඟ පාප්තුමා පත්වනු ඇත. කාදිනල්වරු මීට වැඩි ප්‍රමාණයක් ලොව තුළ සිටියද වයස අවුරුදු අසූවට වැඩි කාදිනල්වරුන්ට ඡන්දය ලබාදිය නොහැකි බැවින් මෙම 117 දෙනා පමණක් නුදුරු දිනයක වතිකානුවට ගොස් තම ඡන්දය ප්‍රකාශ කරනු ඇත. 


මෙම ඡන්ද පත්‍රිකාවල ප්‍රතිඵල ලබාගැනීමෙන් පසු ඒවා පුළුස්සා දමන අතර මුලින් කළු පැහැති දුම නව පාප්තුමා තෝරාගැනීමෙන් පසු සුදු පැහැයට හැරී වතිකානුවේ දුම් කවුළුව තුළින් පිටවීම සාම්ප්‍රදායිකව සිදුවන්නකි. 

මීළඟ පාප්තුමා වනු ඇතැයි සැලකෙන  අටදෙනෙකුගේ නම්ද මාධ්‍ය හරහා හෙළිවී තිබේ. ඒ අතරින් කැපී පෙනෙන්නේ මිලාන් හි අග්‍රරාජගුරුප්‍රසාදීන් වහන්සේ වන ඇන්ජෙලෝ ස්කෝලා හා වියනාවේ අග්‍රරාජගුරුප්‍රසාදීන් වහන්සේ වන ක්‍රිස්ටොෆ් ස්කොයෙන්බෝන් ය.
 
Related Posts with Thumbnails