Ads 468x60px

.

රෝගියාට අවශ්‍ය සේවය රෝහලින් ඉටු වෙනවාද...

රෝහලක ප්‍රධාන භූමිකාව රෝගියාය. රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර - රෝහලින් නොලැබෙන විට ඔහුට දොස්‌තර කඩ සොයා යාමට සිදු වේ. 

එයින් ගම්‍ය වන්නේද රෝගියාට අවශ්‍ය සේවය රෝහලින් ඉටු නොවන බවයි. එසේ නම් මේ ආයතන පවත්වාගෙන යන්නේ පුද්ගලයන්ට රැකියා අවස්‌ථා ලබාදීම සඳහා පමණක්‌ද?

රෝහලේ සියලු කාර්ය මණ්‌ඩලවලට වැටුප් ගෙවන්නේ මහජනතාවයි. මහජනයා එසේ ගෙවනු ලබන වැටුපට සාධාරණ සේවයක්‌ ඔවුන්ගෙන් ඉටු නොවන්නේ නම් ඊළඟට කළ යුත්තේ ඔවුන් රැකියා වලින් දොට්‌ට

දැමීමය.

මැති ඇමැතිවරු පත්ව සිටින්නේ ජනතාවගේ නියෝජිතයන් ලෙසිනි. ජනතාවගේ අවශ්‍යතා ඉටුකරමින් ඔවුන්ට අවශ්‍ය සේවාවන් සැපයීම මැති ඇමැතිවරුන්ගේ වගකීමකි. 


ජනතාවට සේවය කිරීම සඳහා පත්කරන ලද නිලධාරීන් ජනතාව සෑහීමකට පත් නොවන පරිදි සේවයේ රැඳී සිටින්නේ නම්, ඔවුන් නොපමාව සේවයෙන් දොට්‌ට දැමීම ඔවුන් පත්කළ මැති ඇමැති වරුන්ගේ වගකීමකි.

ලංකාවේ අද පවතින සියලුම රෝහල් පවතින්නේ ජනතාවගේ අවශ්‍යතා සඳහා නොව රෝහල්වල සේවයට බැඳී සිටින විවිධ මට්‌ටමේ සේවකයන් ගේ අවශ්‍යතා සඳහාය. මෙය විළිලැඡ්ජා නැති වැඩකි. 


ජනතාවගෙන් පඩි ලබමින් ජනතාවට සේවය කිරීම පැහැර හරින්නේ නම්, ඔවුන් හිටුවා පස්‌ ගැසිය යුතුය. ජනතාව තමන්ගේ ලෙඩදුක්‌ වලට නිසි ප්‍රතිකාර නොලැබ අකාලයේ මියයති. රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පත්ව ජනතාවගෙන් වැටුප් ලබන අය මහපාරට පැමිණ සේවය වර්ජනය කරති. මේ සාපරාධය කියන්නේ කාටද?

රෝහල් සේවකයන්ගේ ඉල්ලීම් දීමේ සීමාවක්‌ නැත. එක ඉල්ලීමක්‌ ඉටුකළ විට ඊළඟ මාසයේ තවත් ඉල්ලීමක්‌ ඉදිරිපත් කරමින් වැඩ වැරීම දැන් පුරුද්දක්‌ කරගෙන තිබේ. මේ වන විට රෝහල් සේවය හා බැඳුනු වෘත්තීය සමිති 105 ක්‌ පවතී. මේ එක්‌ එක්‌ වෘත්තීය සමිතියේ ඉල්ලීම් සතිපතා ඉදිරිපත් වුවහොත් හැමදාමත් රෝහල් සේවය අඩාල වෙයි.


පසුගිය වසර කිහිපය තුළ සමීක්‍ෂණයක්‌ කරනු ලැබුවහොත් අවුරුද්දේ රෝහල් සක්‍රීය වූ දිනවලට වඩා වැඩියෙන් ඇත්තේ අක්‍රීය වූ දිනයන් බවට සැකයක්‌ නැත. වෘත්තීය සමිති 105 ක ක්‍රියාකාරීත්වය ගත්විට එකක්‌ නැත්නම් එකක්‌ වැඩවරා සටනට බසී. 

රෝගියෝ හැමදාමත් අසරණ වෙති. "පිස්‌සුබලු රෝගය" වැනි සමහර රෝගවලට අඛණ්‌ඩව නියමිත දිනවලට එන්නත් ලබා දිය යුතුය. මෙවැනි අවස්‌ථාවල එන්නත් ලබා දිය යුතු නිලධාරීන් සේවය අත්හැර සිටින විට එවැනි රෝගීන්ට සිදුවන්නේ අකාලයේ මිය යාමටයි. 

රෝහල් කාර්යමණ්‌ඩලය හැමදෙනාම කරන්නේ මේ රටේ දුගී දුප්පත් රෝගීන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීමයි. ජපානයේ වසූරිය රෝගය පැතිරෙමින් පැවති අවස්‌ථා සිය වාසියට හරවාගත් හෙදියෝ සිය ඉල්ලීම් ඉදිරිපත් කරමින් වැඩ වර්ජනය කළහ.

ජපානය කරන ලද්දේ අප්‍රමාදව පාර්ලිමේන්තුවේ පනතක්‌ සම්මත කොට හමුදා සේවය ලබාගෙන වැඩවරා සිටි අය ගෙදර යවා අලුතෙන් සේවකයන් බඳවා ගැනීමය. එදා පටන් ජපන් රෝහල් සේවකයෝ වැඩ වැරීමට බිය වෙති. මේවා වැඩ වර්ජන වලින් පිරී ඇති අපේ රටේ රෝහල් සේවයටත් හොඳ පාඩම්ය.
 
Related Posts with Thumbnails