Ads 468x60px

.

වාහනයක කි.මී. 17ක් ඇමිණී ගිය මළ සිරුරේ අබිරහස මෙන්න.


නාවලපිටිය නගරයට ආසන්නව ඇති රේල් පාරට නුදුරින් මහ මාර්ගයේ මැද මළ සිරුරක් ඇති බවට නාවලපිටිය ‍පොලීසියට දැනගන්නට ලැබුණේ ඉකුත් 06 වැනිදාය.

ඒ මහනුවර සිට නාවලපිටිය දක්වා අලුයම 4.30ට ගමන් ගන්නා බසයක රියැදුරෙකු කළ දැනුම් දීමකට අනුවය. මේ ආරංචිය ලද සැණින් නාවල පිටිය ‍පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එහි ගියේ ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමටය. එනමුත් ඔවුන් යන විට එහි මළ

සිරුර නොවීය. 

කෙසේනමුදු ‍පොලිස් නිලධාරීන් එහිදී දුටුවේ පාර දිගේ තිබෙන ‍ලේ පැල්ලමකි. එම ‍ලේ පැල්ලම හා මස් වැදලි අනුව එම මළ සිරුර මාර්ගයේ දිගේ ඇදී ගොස් ඇති බව ‍පොලිස් නිලධාරීහු නිගමනය කළහ. 

එම ‍ලේ පැල්ලම දිගේ ගමන් කළ නාවලපිටිය ‍පොලිස් නිලධාරීහු පරීක්ෂණ පවත්වමින් තිබියදී ගම්‍පොළ නගරයේ කඩුගන්නාව මාර්ගයේ ‍පොදු වෙළෙඳ‍පොළ හා කොමර්ෂල් බැංකුව ආසන්නයේ මහ මාර්ගයේ තිබි මළ සිරුර ගම්‍පොළ ‍පොලීසිය සොයාගෙන තිබුණි. 

ඒ අනුව මුල් ‍ලේ පැල්ලම හා මළ සිරුර තිබූ ස්ථානය අතර දුර කිලෝමීටර් දාහතක් පමණ බව ‍පොලිස් නිලධාරීහු ගණනය කළහ. විශාල දුරක් මහ මාර්ගයේ ඇදී එම නිසා ඒ වන විටත් සිරුරේ හිස හා පිට හා ලිංගේන්ද්‍රිය පවා සිරුරෙන් ඉවත් වී තිබූ අතර අනෙකුත් අවයවයන්ට පවා දැඩි හානි සිදුවී තිබුණි. 

හිස සුන් මෙම මළ සිරුර පිළිබඳ පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට විසඳාගැනීමට ප්‍රශ්න කිහිපයක් තිබුණි.

ගම්‍පොළ ප්‍රධාන මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා මළ සිරුර පශ්චාත් පරීක්ෂණය සඳහා ගම්‍පොළ ශික්ෂණ රෝහලට යොමුකරන ලෙසත් පොලිස් පරීක්ෂණ පවත්වමින් සී.සී.ටී.වී. කැමරා දර්ශනද පරීක්ෂා කරන ලෙසත් නියෝග කළේය.


ඒ අනුව මහා මාර්ගය දෙපස තිබෙන සී.සී.ටී.වී. කැමරාවල පටිගත කළ දර්ශන පරීක්ෂාවට ලක්කිරීමේදී ‍පොලීසියට මෙම මළ සිරුරේ අබිරහස හෙළිවිය. ඒ අනුව මෙම මළ සිරුර කිලෝමීටර් දාහතක් ඇමිණී ගමන් කළ බව කියන වෑන් රථය දින 3කට පසුව සොයාගැනීමට ගම්‍පොළ පොලීසිය සමත්ව තිබේ.


සී.සී.ටී.වී කැමරා පද්ධති තුළ පටිගත වී තිබූ දර්ශන අනුව පරීක්ෂණ පවත්වමින් සිටි ‍පොලීසිය හට මෙම වෑන් රථය ගම්‍පොළ නගරයේ බස් නැවතුම්‍පොළ මාර්ගය ඔස්සේ ගොස් වික්‍රමබාහු පටුමග දිගේ යමින් සිටියදී අල්ලා ගැනීමට හැකි වී තිබේ.

මෙ කුඩා වෑන් රථය ගම්‍පොළ මරියාවත්ත ප්‍රදේශයේ අයෙකුට අයත්ය. ඔහුගෙන් නාවලපිටිය ප්‍රදේශයේ ආයතනයක රැකියාව කරන අයෙකු කුලියට මෙම වෑන්රථය රැගෙන ගොස් තිබූ බව හෙළිවී තිබේ. 


මළ සිරුර ඇමිණී ඇති වෑන් රථය අධික වේගයෙන් ගම්‍පොළ දෙසට විත් වීරප්පනේ දුම්රිය හරස් මාර්ගයෙන් අඹගමුව දෙසට ගමන් කර මලබාර් වීදිය ඔස්සේ පැමිණ කඩුගන්නාව මාර්ගයේ පහළට ගොස් පාර මැද හරවා ඇත.

එහිදී මළ සිරුර එහි වැටී තිබේ. ඉක්බිතිව වෑන් රථය නැවත යන අයුරු සී.සී.ටී.වී කැමරාවේ සටහන්ව ඇත.මළ සිරුර වැටී තිබූ ස්ථානයට ආසන්න රන් භාණ්ඩ වෙළෙඳසලක සී.සී.ටී.වී. කැමරාවල මෙහි දර්ශන පටිගත වී තිබේ. ඒ අනුව උදෑසන 4.47ට වෑන් රථය ගමන් කරන අයුරු සටහන්ව ඇති අතර නැවත උදෑසන 5ට එම ස්ථානයෙන් පිටව යන අයුරු සටහන්ව ඇත.


තවත් කැමරාවක ඇති දර්ශන අනුව මළ සිරුර එම වෑන් රථයේ යට කොටසේ ඇමිණී යන අයුරු සටහන්ව ඇත. කෙසේ වෙතත් මෙම අනතුරින් පසු වෑන් රථය කිසිවෙකුත් එය සෝදා ඇති බව ‍පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.


අත්අඩංගුවට ගත් වෑන් රථය පිළිබඳව විද්‍යාත්මක සාක්ෂි ලබා ගැනීම සඳහා ගරාජයකට රැගෙන ගොස් එය දැඩි පරීක්ෂාවට ලක් කිරීමේදී එහිදී වෑන් රථයේ යට කොටසේ තිබූ ඉතිරි වූ ‍ලේ පැල්ලම් කිහිපයක්ද සොයාගෙන ඇත.


ගම්‍පොළ රථ වාහන අංශයේ ස්ථානාධිපති මංජුල අබේකෝන් අපරාධ අංශ ස්ථානාධිපති ටී.ආර්.තල්වත්ත යන මහත්වරුන් සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කර සැකකරු සමග වෑන් රිය අත්අඩංගුවට ගන්නා ලදී.


කෙසේ නමුදු මරණයට පත් වී ඇති පුද්ගලයා හැප්පුණේ මෙම වෑන් රථයටද එසේ නැතිනම් වෙනත් වාහනයකට හැප්පී පාරේ වැටී තිබූ මළ සිරුර මෙම වෑන් රියේ ඇමිණී ඇතිදැයි තවමත් හෙළි වී නොමැත.
 
Related Posts with Thumbnails