Ads 468x60px

.

ලබන මැයි 01දා සිට නියම ප්‍රමිතියෙන් යුතු පාන්


පාරිභෝගික සේවා අධිකාරිය ලබන මැයි 01දා සිට නියම ප්‍රමිතියෙන් යුතු පාන් හා බනිස් ලබා දෙන්නට යයි. අධිකාරිය එම තීන්දුවට පැමිණ ඇත්තේ පාරිභෝගිකයන් වෙතින් ලැබුණු පැමිණිලි විශාල සංඛ්‍යාවක් සලකා බැලීමෙන් පසුව බව ද දැනගන්නට ලැබේ. 

අධිකාරියේ මේ තීන්දුවට අනුව පාන් හා බනිස් අලෙවි කරන සියලු ම වෙළෙඳ ස්ථානවල තරාදියක් තිබිය යුතු ය. එම තරාදිය ද ආණ්ඩුවේ අනුමැතිය ලද තරාදියක් විය යුතු ය. තරාදියක් තිබිය යුත්තේ පාරිභෝගික යාට සැකයක් ඇති වුවහොත් පාන් ගෙඩියේ බර කිරා බැලීමට ය.

අද විකිණීමට ඇති සාමාන්‍ය පාන් ගෙඩියක මිල විය යුත්තේ රුපියල් පනස් හතරකි. එහි බර විය යුත්තේ ග්‍රෑම් 450කි. සාමාන්‍ය පාන් ගෙඩිය කට මිල පිළිබඳ ප්‍රශ්නයක් නැති බව අපගේ වැටහීම ය. සාමාන්‍ය පාන්

ගෙඩියක් රුපියල් 54ට ම අලෙවි කරනු දකින්නට ලැබේ. 

එහෙත් පාන් ගෙඩියේ බර නම්; ප්‍රශ්නයකි. එක - එක කඩවල පාන් එක එක බරෙන් යුතුය. ඒ අනුව පාන් ගෙඩියක නියම බර තීන්දු කොට එය මිලට ගැනීමට අවස්ථාවක් ලබාදීම වැදගත් ය. එය පාරිභෝගිකයා සතු අයිතිවාසිකමක් ආරක්ෂා කරන අවස්ථාවක් ලෙස ද සැලැකිය හැකි ය.

පාන් කෑම දුර්වල කරන ව්‍යාපෘතියක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක විය. ඒ සඳහා යොදාගත් සටන්පාඨය වූයේ රෝග කාරක සහිත අමෙරිකන් පිටි වර්ජනය කරමු යන්න ය. ඒ වෙනුවට සිංහලයාගේ ප්‍රධාන ආහාරය වූ බත් තුන් වේලට ම පරිභෝජනය කරමු යන්න ය. 


එය සටන්පාඨයක් ලෙස ජනප්‍රිය වුව පාන් හා තිරිඟු පිටි භාවිතය සැලැකිය යුතු මට්ටමකින් අඩුවූයේ නැත. පාන් භාවිතය දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයාට හුරු වී තිබේ. එය ඔවුන්ගේ දෛනික ජීවිතයේ ආහාර රටාව සමඟ බද්ධ වී ඇතැයි කීම නිවැරැදිය. පාන් අත්හැරවීමට හෝ පාන් අහෝසි කරවීමට යෑම හෝ විහිළුවකි. කළ යුත්තේ හොඳ පාන් ලබාදීමට ක්‍රියා කිරීම ය.

පාන් මිලට ගන්නේ වෙළෙඳ මධ්‍යස්ථානවලින් පමණක් ම නොවේ. අද ජනප්‍රිය වී ඇති විලාසයක් වන්නේ පාන් හා බනිස් ජංගම සේවාව ය. නළාවක් හඬවාගෙන පටු පාරවල් දිගේ ද ප්‍රධාන වීථි දිගේ ද ගමන් ගන්නා පාන් හා බනිස් සහිත රථයට බොහෝ දෙනා ආකර්ෂණය වී සිටිති.


ගෙදර ගේට්ටුව ළඟට පැමිණ පාන් හා බනිස් දෙන ජංගම රථයකින් පාන්වල බර බලන්නේ කෙසේද? බනිස්වල ප්‍රමිතිය විමසන්නේ කෙසේද? එය කිසිකලෙක ප්‍රායෝගික දෙයක් ‍වන්නේ නැත. එහෙත් බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ පාන් අලෙවි කරන ජංගම රථවලට ද තරාදියක් අවශ්‍ය බව ය.

පාරිභෝගික සේවා අධිකාරිය, බේකරි හිමියන්ගේ සංගමය මෙන් ම පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ද වරින්වර විවිධ මත පළ කරති. බේකරි හිමියන්ගේ සංගමය කියා සිටින තවත් අදහසක් වන්නේ දැනට ග්‍රෑම් 300යේ පාන් ද අලෙවි කරන බැවින් එම පාන්වලට රුපියල් 36/=ක උපරිම මිලක් නියම කළ යුතු බව ය. අප භාවිත කරන බොහොමයක් පාන් ගෙඩිවල බර ග්‍රෑම් 300ක් පමණ විය හැකි ය. 


ඒ අනුව ග්‍රෑම් 300 පාන්වලට රුපියල් 36/=ක මිලක් නියම කරන්නේ නම් එය සාධාරණ ය. බේකරි හිමියන්ගේ තවත් අදහසක් වන්නේ පාන්වල බර කිරා බැලීම සඳහා තරාදියක් භාවිත කරන්නේ නම්; එය අලෙවි කිරීම සඳහා බිල්පතක් ද ලබාදීම වඩා සුදුසු බව ය. එය පිළිගත හැකි තර්කයකි. අදටත් පාන් ගෙඩියට බිලක් දෙන වෙළෙඳ ආයතන තිබේ.

පාන් පිළිබඳ ගැටලුව දේශපාලනයට හෝ ජාතික ආර්ථිකයට හෝ බලපාන ගැටලුවක් ලෙස සැලැකීම වැරැදිය. ආණ්ඩුවේ ආයතනයක් වන පාරිභෝගික සේවා අධිකාරිය හැමවිට ම උත්සාහ දරන්නේ පාරිභෝගික ජනතාවට නියම ප්‍රමිතියේ භාණ්ඩ ලබාදීමට ක්‍රමවේද සකස් කිරීමට ය. 


මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පාරිභෝගික සේවා අධිකාරිය අලුත් පණක් ලැබුවා සේ කටයුතු කරන්නට පටන් ගෙන තිබේ. ඇතැම්විට විමර්ශන හා කඩා පැනීම් වැඩි කර තිබේ. 

එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය ටොන් ගණනින් සොයා ගැනීමට හා ඒවා පරිභෝජනයෙන් හා අලෙවියෙන් ඉවත් කිරීමට එම ආයතනයට හැකි විය. කූට ව්‍යාපාරිකයන් නීතියේ රැහැනට ගැනීමට ද ආයතනයට හැකි විය. ඒවා සැලැකිය හැක්කේ පාරිභෝගික ජනතාවගේ ජයග්‍රහණ ලෙසට ය.

පාන් හා බනිස් සඳහා ප්‍රමිති‍යක් ඇති කිරීමට පියවර ගන්නේ නම්; එය විහිළුවක් කොට සැලැකිය නො හැකි ය. හේතුව එහි අර්ථය වන්නේ රටේ පාරිභෝගික ජනතාවට සෙතක් සැලැසීම නිසා ය. මෙය තරමක් අසීරු කාර්යයක් බව සැබෑ ය. 


එහෙත් දුෂ්කර ක්‍රියාමාර්ගයක් ඔස්සේ මේ ඉලක්ක ජය ගත හැකි නම්; එය ජාතියේ ආහාර රටාව සාධනීය තැනකට ගෙන යා හැකි වැඩසටහනක් වන්නේ ය. පාන් හා බනිස් භාවිතයට ජනතාව හුරුවී අවසන් ය. එය ආපස්සට ගත හැකි දෙයක් නොවේ. ‍ක්ෂණික ආහාරවලට හුරුවීම වේගවත් සමාජයේ එක් හුරුවකි.

අමෙරිකාවේ ජනගහනයෙන් 80%ක වැඩි පිරිස ක්ෂණික ආහාරවලට හුරු වී සිටිති. ශ්‍රී ලංකාවට වුව එය මග හැරිය නො හැකි යථාර්ථයකි. අපට හැ‍ඟෙන පරිදි පාරිභෝගික සේවා අධිකාරිය අත ගසා ඇත්තේ වැදගත්ම වැඩසටහනකට ය. එය තරමක් අසීරු බව සත්‍යයෙකි. 


එහෙත් එය ජයගත හැකි උපායමාර්ග තිබේ. මේ තරාදි ක්‍රමය පළමුව තරමක් නොහුරු වන්නට පුළුවන. එහෙත් කාලයක් යත්දී එය හැම දෙනාටම පුරුදු දෙයක් වන්නට පුළුවන.
 
Related Posts with Thumbnails