Ads 468x60px

.

'සිල් රෙදි' සඳහා වැයකර ඇත්තේ මහජන මුදල් බව වටිනාපහ හිමි දැනගත්තා නම්


2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණය 'අල්ලස' රජ කළ මැතිවරණයකි. උදලු, ඔරලෝසු, සිල් රෙදි, නිවාස ණය, රුපියල් 5,000, සාරි ඇතුළු කී නොකී බොහෝ දෑ ත්‍යාග හා ආධාර ලෙස ඡන්ද දායකයන් ට හිමිවිය. 'මාධ්‍ය' යොදාගෙන ඡන්ද දායකයන්ට 'මානසික' අල්ලස් ලබාදීමද ජයටම කෙරිණි.

ශ්‍රී ලනිපයේ සභාපති ධුරය දැරූ ජනාධිපති මහින්ද රාජපක්ෂ, හදිසි ජනාධිපතිවරණයක් කැඳවූයේ ඔහුගේ පාලන කාලයෙන් දෙවසරක් ඉතිරිව තිබියදීය. මෛත්‍රිපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූයේ රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුරයක් දරමින් සිටියදීය. 

ඒ වන විට ශ්‍රී ලනිපයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළේද සිරිසේන මහතාය. තවත් අපේක්ෂකයන් කිහිපදෙනකු ඉදිරිපත්ව සිටියද ජනාධිපතිවරණය මහින්ද-මෛත්‍රි දෙදෙනා අතර කෙරුණු ගල උඩ
සටනක් වූයේ එනිසාය. 

කැපී පෙනෙන කාරණය වූයේ මේ සටනේදී 'මැරකම' වෙනුවට 'අල්ලස' පෙරමුණ ගැනීමය. කෙසේ වුවද අවසානයේ හිටපු ඇමැති මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රාහකයා වූ අතර හොඳම පරාජිතයා බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්විය.

පරාජිතයා වූ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ කාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයකු වූ වටිනාපහ සෝමානන්ද හිමියන්ට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයකට ලැබී ඇති පැමිණිල්ලක් නිසා 'ඡන්ද අල්ලස්' යළි කරළියට පැමිණ තිබේ.
 
පසුගිය ජනාධිපතිවරණ සමයේදී විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක් එනම්; කෝටි 60ක මුදලක් වැය කරමින් 'සිල් රෙදි' මිලදී ගෙන බෙදා හැර ඇතැයි අදාළ පැමිණිල්ලෙන් වටිනාපහ සෝමානන්ද හිමියන්ට චෝදනා එල්ල වී තිබේ.

බෞද්ධ ආගමික කටයුතු හා සිල් රෙදි අතර සම්බන්ධයක් තිබිය හැකිය. එහෙත් සිල් රෙදි හා විදුලි සන්දේශ නියාමන කොමිසම අතර සම්බන්ධ යක් තිබිය නොහැකිය. වටිනාපහ සෝමානන්ද හිමියන් ප්‍රකාශ කර ඇත්තේ 'දුප්පත් අහිංසක සිල් ඇත්තන්ට සිල් රෙදි බෙදාදීම ගැන තමන්ගෙන් ප්‍රශ්න කළ බවත්, එය යහපාලනයේ ප්‍රතිඵලයක්' බවත්ය. 

දුප්පත් අහිංසක සිල් ඇත්තන්ට සිල් රෙදි අරන් දීම ආමිස පූජාවකි. එහෙත් ප්‍රශ්නයක් වන්නේ මේ ආමිස පූජාව කර ඇත්තේ මහජන මුදලින් වීමය. කෝටි 60ක් වටිනා ප්‍රශ්නය එය නොව, මේ ආමිස පූජාව කළේ කාහට පින් තකාද? ඒ සඳහා විදුලි සන්දේශ නියාමන කොමිසමේ මුදල් ලබා දුන්නේ කුමන 'පින්වතා'ද යන්නය.

වටිනාපහ හිමියන් අහිංසකයන්ට සිල් රෙදි ලබාදුන් බව පිළිගත්තද, ඊට වැය වූ කෝටි 60ක මුදල විදුලි සන්දේශ නියාමන කොමිසමෙන් ලැබුණේද. නොඑසේ නම් ලැබුණේ කෙසේද? යන්න ගැන කියා නැත. 

ජනාධිපතිවරණ සමයේ 'සිල් රෙදි බෙදුවේ' බෞද්ධාගමික ඡන්ද දායකයන්ට අල්ලසක් ලෙස බව ප්‍රසිද්ධ රහසකි. වටිනාපහ හිමියන් බෙදූ 'සිල් රෙදි' ඊට අදාළද නැද්ද යන්න වෙනම කාරණයකි. කෙසේ වුවද ජනාධිපති උපදේශක ධුරයක් දැරූ වටිනාපහ සෝමානන්ද හිමි සිල් රෙදි බෙදන්නට ඉදිරිපත් වන්නට ඇත්තේ ශාසනයේ උන්නතිය පිණිස විය යුතුය. 

සිල් රෙදි ටික පන්සලට ලැබුණු පසු ඊට මුදල් වැයකර ඇත්තේ විදුලි සන්දේශ නියාමන කොමිසමේ බෞද්ධ සමිතියෙන් යැයි වටිනාපහ හිමියන් සිතුවා විය හැකිය. මේ 'සිල් රෙදි' සඳහා වැයකර ඇත්තේ මහජන මුදල් බව වටිනාපහ හිමි දැනගත්තා නම් කිසිවිටෙක ඊට සම්මාදම් වීමට එකඟ වේයැයි සිතිය නොහැක්කේ බුදුන් වදාළ මඟට එවැනි දෑ අනුචිත නිසාය. 

ලැජ්ජා බිය ඇති ගිහියකු වුවද එවැනි නීති විරෝධී සදාචාරසම්පන්න නොවන කටයුතුවලට දායක වීමට මැළිවනු ඇත.

කරුණු කාරණා එසේ තිබියදී වටිනාපහ හිමියන් රවටා මේ නොවටිනා වැඩේ කර ඇත්තේ කිසි විටෙක බෞද්ධයකු නම් විය නොහැකිය. 'මහජන මුදල්' මෙලෙස ඡන්ද අල්ලස් ලෙස වැය කළා නම්, අඩු ගණනේ එවැන්නක් බුදු දහමට තබා සොබා දහමට හෝ ගරු නොකරන මිථ්‍යා දෘෂ්ටික බොරුකාරයකු විය යුතුය.
 
Related Posts with Thumbnails