Ads 468x60px

.

'වැරදි' පිළිගැනීමට සූදානම් බවක්‌ නොපෙනෙන නිසා 'අර්බුදය' දිගටම


සෝමවංශ අමරසිංහ ජනතා විමුක්‌ති පෙරමුණ හැර යැමෙන් පසු ප්‍රශ්න කිහිපයක්‌ හටගෙන තිබේ. වැදගත්ම ප්‍රශ්නය වන්නේ ඔහු පිහිටුවන්නට යන අලුත් පක්‍ෂයට සම්බන්ධ වීම සඳහා ජ.වි.පෙන් කැඩී තව කීදෙනෙක්‌ යන්නේද යන කාරණය ය. 

දෙවනුව එසේ කැඩී යන අය අතර ජ.වි.පෙ. ප්‍රධානීන් කී දෙනෙක්‌ සිටින්නේ ද යන කාරණය ය. තෙවනුව ජ.වි.පෙ. කඩන ලද්දේ කවර බලවේගයක්‌ ද යන කාරණය ය. මහින්ද රාජපක්‍ෂ බලයේ සිටියා නම්
පහසුවෙන්ම ඔහු මෙයට ගාවා ගත හැකිව තිබුණි. 

එහෙත් ඔහු දැනට බලයේ නැති බැවින් ඔහු මෙයට සම්බන්ධ කර ගැනීමට බැරි ය. එසේම ශ්‍රී ල.නි.ප. සහ එ.ජා.ප. යන පක්‍ෂවලට ඒවාට ආවේණික ප්‍රශ්න තිබෙන බැවින් වෙනත් පක්‍ෂ කැඩීමට කාලය වැය කරන්නට බැරි ය. ජ.වි.පෙ කැඩීමේ කුමන්ත්‍රණයකට සහභාගිවීමේ ආසන්නතම අවශ්‍යතාව තිබෙන බවට සැක කළ හැකි පක්‍ෂය වන්නේ කුමාර් ගුණරත්නම් ගේ පෙරටුගාමී පක්‍ෂය ය. 

ඔවුහු මෙයට කලකට පෙර ජවිපෙන් කැඩී ගිය කණ්‌ඩායමක්‌ වෙති. එහෙත් අපට තිබෙන වැටහීමට අනුව මේ මොහොතේදී පෙරටුගාමීන්ට ද එවැනි දෙයක්‌ කරන්නට තරම් හයියක්‌ නැත. එසේ නම් මෙය කළේ ලංකාවේ සැරිසරන කිසියම් විදේශික බලවේගයක්‌ විය යුතු ය. 

සෝමවංශ අමරසිංහ පසුගිය කාලයේදී කවර රටක්‌ සමඟ ඉතා කිට්‌ටුවෙන් සිටියේද යන්න සොයාගැනීමට හැකිනම් ජවිපෙ කැඩීම කවරකු විසින් කරන ලද්දේ ද යන්න සොයා ගැනීමට පුළුවන.

සෝමවංශ ජවිපෙන් ඉවත්ව යැම සහ වෙනත් පක්‍ෂයක්‌ සාදන්නට සූදානම් වීම මගින් ජවිපෙට බලපෑමක්‌ තිබේද? ලෙනින් සෝවියට්‌ කොමියුනිස්‌ට්‌ පක්‍ෂය අත්හැරියේ නම් එදා විය හැකිව තිබූ හානිය හෝ කාල්මාක්‌ස්‌ මාක්‌ස්‌වාදය අත්හැර දැමුවේ නම් එදා විය හැකිව තිබූ හානිය වැනි යමක්‌ සෝමවංශ ජවිපෙ හැර යැමෙන් සිදු නොවන බව ඇත්ත. 


ඔහු ජවිපෙන් යැම නිසා එම පක්‍ෂය බිමට සමතලා වන්නේ ද නැත. එහෙත් පක්‍ෂයක සිටින බලගතු පුද්ගලයකු එම පක්‍ෂය හැර දමා යැමේදී හටගන්නා තාවකාලික දෙදරීම මේ වෙලාවේදී ජ.වි.පෙ. තුළද හටගැනීම වැළැක්‌වීමට බැරි ය. තිබෙන එකම ප්‍රශ්නය නම් දේශපාලන සංක්‍රාන්ති සමයක්‌ රට තුළ තිබෙන මෙවැනි කාලයක මෙවැනි දෙදරීම් දේශපාලන පක්‍ෂයකට සුදුසු ද යන්න ය.

ජ.වි.පෙ. යනු මේ රටේ තිබූ හොඳම මාක්‌ස්‌වාදී පක්‍ෂයයි. රෝහණ විඡේවීරගේ කාලයේදී මෙය ජාත්‍යන්තර කොමියුනිස්‌ට්‌ ව්‍යාපාරය තුළ චීන කොමියුනිස්‌ට්‌ පක්‍ෂයට හෙවත් චීන පිලට නැමියාවක්‌ තිබෙන පක්‍ෂයක්‌ ලෙස කටයුතු කළේ ය. චීන කොමියුනිස්‌ට්‌ ක්‍රමයේ වැදගත්ම ලක්‍ෂණය වන්නේ ජාතික සංස්‌කෘතික වාදයයි. 


තම ජාතියට කොමියුනිස්‌ට්‌ ක්‍රමවේදය හඳුන්වා දීමේදී රටේ සංස්‌කෘතික හරයන් ද පවත්වාගෙන යා යුතු බව චීන කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ පුරෝගාමියකු වූ මාවෝ සේතුං විශ්වාස කළේය. 'අබින්' ලෙස මාක්‌ස්‌ විසින් හඳුන්වා දෙන ලද ආගම එක එල්ලේම විනාශ නොකර කොමියුනිස්‌ට්‌ ක්‍රමයකට අනුව හසුරුවා ගත යුතු බව මාවෝ සේතුං කල්පනා කළේ ය. 

සෝමවංශ අමරසිංහ ජ.වි.පෙ.ට කරන ප්‍රධාන චෝදනාවක්‌ වන්නේ රටේ සංස්‌කෘතිය හා බද්ධ වී ගමන් කිරීමට ජ.වි.පෙ.ට බැරි බව ය. එහෙත් ඒවා හදාගත හැකි වැරදි ය. සෝමවංශ කියන වැරදි 'වැරදි' ලෙස දැකීමට ජ.වි.පෙ. සූදානම් නම් සහ එම වැරදි නිවැරැදි කරගැනීමට ජ.වි.පෙ. කැමැති නම් ඔහු සමඟ අර්බුදයක්‌ නැතිව ඉදිරියට යැමට ජ.වි.පෙ. ට පුළුවන. එහෙත් ජ.වි.පෙ. එම 'වැරදි' පිළිගැනීමට සූදානම් බවක්‌ නොපෙනෙන නිසා 'අර්බුදය' දිගටම පවතිනවා ඇත.
 
Related Posts with Thumbnails