Ads 468x60px

.

චෝදනාවක් ගොනුවී ඇත්නම් කළ යුත්තේ ඊට සාක්ෂියක් ලබාදී චෝදනාවලින් නිදහස් වීමයි


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවීම ගැන විරෝධයක් මතු වී ඇත. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ උපවාසයක් ද පැවැති අතර මන්ත්‍රීවරුන් 113කගේ අත්සනින් යුතුව අල්ලස් කොමිසම වෙත පෙත්සමක් ද ඉදිරිපත් කර තිබේ. 

පෙත්සමෙන් කියා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණවීම අත්හිටවිය යුතු බව ය. නැතහොත් ඉවත් කර ගත යුතු බව ය. අප දන්නා කරුණුවලට අනුව මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. එම
පැමිණිල්ල ගැන පරීක්ෂණයක් පැවැත්වීම නිත්‍යානුකූල ය.

අල්ලස් හා දූෂණ ගැන විමර්ශනය කරන කොමිසම පැමිණිලිකරුවන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට බැඳී සිටී. ඒ අනුව පැමිණිලිකරුවන් හෙළිදරව් නො කර සිටීමේ නෛතික ප්‍රතිපාදන එම ආයතනයට තිබේ. කිසිවකු මේ ආයතනය වෙතින් පැමිණිලිකරුවන් පිළිබඳ තොරතුරු ඉල්ලා සිටින්නේ නම්; එය වැරැදිය.

පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. පැමිණිල්ල ඉදිරිපත් කළේ කවුරුන්ද යන්න හෙළිදරව් නො කර සිටීමේ අයිතිය කොමිසමට තිබේ. පැමිණිලි කරුවන් කවුරුන් ද යන්න විමසා සිටීම ද යුක්ති සහගත යැයි කල්පනා කළ නො හැකි ය.

මේ සිද්ධිය දේශපාලන පසුබිමක් ඔස්සේ ඔඩු දුවන බවක් පෙනෙන්නට තිබේ. ආණ්ඩුව දූෂණ - වංචා හා අක්‍රමිකතා විමර්ශනය කරන්නට පටන් ගත්තේ රටේ යහ පාලනයක් උදා කිරීම සඳහා ය. යහ පාලනයක් උදා කිරීම සඳහා දූෂණ - වංචා හෙළිදරව් කරගත යුතුය. 


වැරැදිකරුවන් නෛතික ක්‍රියාදාමයක් වෙත යොමු කළ යුතුය. එය කළ හැක්කේ ඉවසීමකින් යුතුව සිදු කරනු ලබන ක්‍රියාදාමයක් ඔස්සේ ය. මහින්ද රාජපක්ෂ මහතාට පමණක් නොව එතුමාගේ සහෝදරයන්ට ද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්න යැයි ඉල්ලීමක් කර ඇත්තේ මේ ගැටලු විසඳාගැනීම සඳහා ය. යථාර්ථය හෙළිදරව් කර ගැනීම සඳහා ඔවුන් වෙතින් සාක්ෂි ලබාගැනීම මෙහි අරමුණ හා ඉලක්කය යැයි කිව හැකි ය.

මේ සිදුවීම් පෙළත් සමඟ සාකච්ඡාවට ගැනෙන දේශපාලන කරුණු කිහිපයක් තිබේ. පළමුවන්න හිටපු ජනාධිපතිවරයකු කොමිසමක් හමුවට ගෙන යා හැකි ද? අධිකරණයක් හමුවේ ඔහුගෙන් ප්‍රශ්න කළ හැකිද? යන ගැටලු හා තවත් ගැටලු ගණනාවක් මේ සමඟ බැඳී පවතී. 


නෛතික තත්ත්වයන් විග්‍රහ කරන කල පෙනී යන්නේ ජනාධිපති තනතුරෙහි රැඳී සිට විශ්‍රාම ගිය පුද්ගලයකු පසුව සාමාන්‍ය පුරවැසියකු බවට පත්වන බව ය. ඒ හැරත් ජනාධිපති පදවිය දරන කාලයේ සිදුවූ යම් දූෂණ ක්‍රියාවලියක් තිබේ නම්; ඒ ගැන ප්‍රශ්න කිරීමේ සම්පූර්ණ අයිතිය නීතියට ඇති බව ය. ඒ පිළිබඳ දේශීය පූර්වාදර්ශ මෙන් ම විදේශීය පූර්වාදර්ශ ද තිබේ.

අනෙක් අතට තවත් ආදර්ශවත් කාරණයක් තිබේ. එනම් කිසියම් නායකයකු යුක්තියට හා සාධාරණත්වයට හිස නමන්නේ නම්; රටේ පවතින නීතියට අනුව ක්‍රියා කිරීමට බැඳී සිටීම ය. ඊට එකඟ වීමය. 


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා ගොනුවී තිබේ නම්; එතුමා කළයුත්තේ දේශපාලන වශයෙන් ආන්දෝලනයක් ඇති කිරීම නොව; ඊට ‍එරෙහිව තමන්ගේ ඇත්ත තත්ත්වය ප්‍රකාශ කිරීම ය. ඊට කළ යුතු හොඳම දෙය වන්නේ කොමිසමට ගොස් සාක්ෂියක් ලබාදීමය.

විධායක ජනාධිපතිවරයකු ලෙස කටයුතු කළ පුද්ගලයකු විශ්‍රාම ගිය පසුව අධිකරණයට හෝ කොමිසමක් හමුවට හෝ ගෙන්විය නො හැකි යැයි වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ නැත. එහි වගන්ති තුළින් වැඩිදුරටත් පැහැදිලි වන්නේ යම් දූෂිත ක්‍රියාවලියකට ජනාධිපතිවරයා සම්බන්ධ වී ඇත්තේ නම් ඒ ගැන විමර්ශනය කිරීමේ සම්පූර්ණ අයිතිය නීතියට ඇති බව ය. 


නිදසුනක් ලෙස ගතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය මේ සඳහා ඉදිරිපත් කළ හැකි ය. දැන් සිදුවන්නේ මේ සියල්ලට වඩා වෙනත් පටහැනි ක්‍රියාවලියකි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපතිවරයා ආරක්ෂා කරන තැනක හෝ නැවත ඔහු කරළියට ගෙනෙන තැනක හෝ සිටින්නට පුළුවන. උද්ඝෝෂණ හා උපවාසවල අරමුණ හා ඉලක්කය එය යැයි කියන්නට පුළුවන. රටේ යහපාලනයක් හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමක් අපේක්ෂා කරන මහජන නියෝජිතයන් ඊට වඩා පුළුල් තැනක සිට අපේ දේශපාලනය ගැන කල්පනා කළ යුතුය. 


ඊට වඩා පුළුල් තැනක සිට රටේ අනාගතය ගැන කල්පනා කළ යුතුය. මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ දූෂණ - වංචා - අක්‍රමිකතාවලින් තොර නිදහස් ආර්ථික ක්‍රියාදාමයක් ඔස්සේ ය. එය වටහාගැනීම ඉතා වැදගත්ය.

මහින්ද රාජපක්ෂ මහතා දූෂිතයකු යැයි ආණ්ඩුවේ කිසිවකු ප්‍රසිද්ධියේ චෝදනා කරන්නේ නැත. ඔහුට එරෙහිව අල්ලස් කොමිසම වෙත චෝදනාවක් ගොනුවී ඇත්තේ පුරවැසි සමාජය වෙතින් ය. එය විමර්ශනය කිරීමේ වරදක් අපට නො පෙනේ. මහින්ද මහතා කළ යුත්තේ ඊට සාක්ෂියක් ලබාදී චෝදනාවලින් නිදහස් වීමය.
 
Related Posts with Thumbnails