Ads 468x60px

.

අපේ ජනයාගේ රුචිකත්වය සහ උත්තර නැති ප්‍රශ්න


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස්‌ කොමිසම හමුවට කැඳවීම වළක්‌වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලමින් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 66 දෙනෙක්‌ පාර්ලිමේන්තු සභා ගැබෙහි ආරම්භ කරන ලද උපවාසය නිමාවට පත්විය. 

හිටපු ජනාධිපතිතුමා අල්ලස්‌ කොමිසමට කැඳවීම ප්‍රශ්නයක්‌ නම් එයට එරෙහිව උසාවි ගොස්‌ තීන්දුවක්‌ ලබා ගන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් පවසා තිබේ. හිටපු ජනාධිපතිවරයා අල්ලස්‌ කොමිසම ඉදිරියට ගෙන එන්නේ ජනාධිපතිවරණයට ආසන්නව තිබියදී තිස්‌ස
අත්තනායක මහතාට ඇමැති ධුරයක්‌ ලබාදීම නිමිති කරගෙන බව දැනගන්නට ඇත. 

විමල් වීරවංශගේ අදහස වන්නේ තිස්‌සට ඇමැතිකමක්‌ දීමට වඩා රනිල්ට අගමැතිකම දීම වඩා ලොකු අල්ලසක්‌ බව ය. එහෙත් මෙතැන තාක්‍ෂණික ප්‍රශ්නයක්‌ ඇත. එනම්, රනිල්ට අගමැතිකම දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන ලද්දේ ඡන්ද ව්‍යාපාරය ආරම්භයේ සිටම, රනිල් විපක්‍ෂ නායකව සිටියදී ය. 

එය පූර්ව ජනපතිවරණ පොරොන්දුවකි. එහෙත් එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම්ව සිටි තිස්‌ස අත්තනායක එතැනින් ගලවා සෞඛ්‍ය ඇමැති බවට පත් කෙරෙන්නේ ඡන්දය කට මුල තිබියදී ය. එය අල්ලස්‌ ලෙස විග්‍රහ කරන්නේ ඒ පදනම මත ය. 

එහෙත් ඊළඟට මෙසේ ද තර්ක කළ හැකි ය. එනම් ඒ වන විට සෞඛ්‍ය ඇමැති (මෛත්‍රීපාල සිරිසේන මහතා) ඡන්දය ඉල්ලීමට ගොස්‌ සිටි බැවින් සෞඛ්‍ය ඇමැති තනතුර හිස්‌ව තිබූ බැවින් එම තනතුර පිරවිය යුතුව තිබිණ. එය පුරවන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ තිස්‌ස අත්තනායකගෙනි.

ඒ කටයුතු සහ තර්ක කෙසේ වුවද මහින්ද රාජපක්‍ෂ යළි බලයට ගෙන ඒම සඳහා මේ රට තුළ මේ මොහොතේදී පවතින ව්‍යාපාරය දෙස බලන විට පෙනී යන්නේ ඔහු තරම් ජනප්‍රිය පුද්ගලයෙක්‌ මේ රට තුළ මේ මොහොතේදී නැති බව ය. 


කිසියම් කෙනකු වෙනුවෙන් මේ රටේ පාර්ලිමේන්තුව තුළ උපවාසයක්‌ හෝ සත්‍යග්‍රහයක්‌ පැවතියේද, ඒ මහින්ද රාජපක්‍ෂ වෙනුවෙනි. ඔහු මැදමුලන නිවසේ සිටින විට මේ රටේ හතර දිග්භාගයෙන් ජනයා ඔහු බලන්නට එති. 

ඔහු කිසියම් තැනකට ගිය විට එතැනට එන ජනගහනය පාලනය කරගත නොහැකිව පාරවල් පවා වසනු ලැබේ. ලොකුම ප්‍රශ්නය වන්නේ යුද ජයග්‍රහණය හටගත් අලුතත් ඔහුට මෙතරම් ජනප්‍රියත්වයක්‌ ඇති නොවීම ය. එකල ජනප්‍රිය චරිතය වූයේ එදා ජෙනරාල් නොහොත් අද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ය. 

එයින් වසර ගණනාවකට පසු ඔහු මෛත්‍රීට පරදින්නේ ඔහු යටතේ තිබූ ආණ්‌ඩුව දූෂිත වූ නිසා ය. කොමිස්‌ ගැසීම, වංචා කිරීම, පගා ගැසීම, ඥති සංග්‍රහය, ජාත්‍යන්තර සම්බන්ධතා හරිහැටි කළමනාකරණය නොකිරීම, ජීවන වියදම ඉහළ නැගීම යන සියලු වැරදි වෙනුවෙන් ඔහුගේ ආණ්‌ඩුවට පාඩමක්‌ උගන්වනු පිණිස මිනිස්‌සු ඔහු පැරදවූහ.

එහෙත් මොහොතක ඇවෑමෙන් නැවත වතාවක්‌ ජනප්‍රිය නායකයාව සිටින්නේ මහින්ද රාජපක්‍ෂ ය. එයට හේතුව යුද ජයග්‍රහණය සඳහා ඔහු ලබා දුන් දේශපාලන නායකත්වයද? මිනිසුන් අද එම ගුණාංගය අගය කරන්නේ නම් එදා ඔහු පරදවනු ලැබුවේ මන්ද? ඉතා පහසු ගමනක්‌ යැමට තිබියදී මහින්ද රාජපක්‍ෂ පසුපස යමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උපවාස කරන්නේ ඇයි? සත්‍යග්‍රහ කරන්නේ ඇයි?

අපේ ජනයාගේ රුචිකත්වය ඉතාම ගැටලු සහගත ය. සංකීර්ණ ය. ඉහත සඳහන් ප්‍රශ්නවලට උත්තර නැත්තේ ඒ නිසා ය.
 
Related Posts with Thumbnails