Ads 468x60px

.

ජනතාව බලාපොරොත්තු වන වෙනස


ආණ්‌ඩුවේ දින සියය අවසන්ව තිබේ. ජනතාවට සහන සලසන්නට වත්මන් ආණ්‌ඩුව ගත් විවිධාකාර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පසු විපරමක්‌ ආණ්‌ඩුව විසින්ම දැන් කළ යුතුව තිබේ. ඉදිරි මහමැතිවරණය ළඟ එන බැවින් එවැනි පසුවිපරමක්‌ සිදුකිරීමද කාලෝචිතය.

වර්තමාන ආණ්‌ඩුව අතුරු අයවැය මගින් ගෑස්‌, කිරිපිටි, සීනි, තිරිඟු පිටි ආදී භාණ්‌ඩ 13 ක මිල අඩු කරන ලදී. එහෙත් ඒ මිල අඩුකිරීම් වලින් ඍජුව ලැබුණු වාසිය හැර අනෙකුත් භාණ්‌ඩ හා සේවාවන්හි මිල අඩුවීමක්‌ සිදුනොවීය. එනම් රජය විසින් සත්භාවයෙන් ජනතාව වෙත ලබාදුන් සහන ව්‍යාපාරිකයන් විසින් ජනතාවට ලබා නොදෙන ලදී.

ආණ්‌ඩුව ඉන්ධන මිලෙහි ද විශාල අඩු කිරීමක්‌ සිදුකරන ලදී. එහෙත් ඊට සාපේක්‍ෂව ත්‍රිරෝද රථ ගාස්‌තු හෝ පාසල් වෑන් රථ ගාස්‌තු අඩුවූයේ නැත. ඒ මදිවාට ත්‍රිරෝද රථ රැසක මීටර් වෙනස්‌ කර ඇති බවට ද

චෝදනා එල්ල වී තිබේ.

බස්‌ ගාස්‌තු අඩු වූයේ ඉතාම සුළු වශයෙනි. වත්මන් ආණ්‌ඩුව බලයට ගෙන එන්නට ඇතැම් පුද්ගලික බස්‌ හිමියන්ගේ දායකත්වයක්‌ ලැබුණු නිසා ඔවුන්ගේ බලපෑම් මත එය එසේ වූයේදැයි දන්නේ නැත.

ආප්ප, කිරි තේ හා ප්ලේන්ටියට ආණ්‌ඩුව විසින් පාලන මිලක්‌ නියම කළා අපට මතකය. එහෙත් එම මිලට ඒවා ගත හැකි ස්‌ථාන රටේ ඇත්නම් ඒ ඉතාම අතළොස්‌සකි. වැඩි මිලට ඒවා විකුණන වෙළඳුන් පවසන්නේ ආණ්‌ඩුව පවසන මිල ගණන්වලට ආණ්‌ඩුවෙන්ම ඒවා ඉල්ල ගන්නා ලෙසය. එවැනි ස්‌ථාන පාරිභෝගික අධිකාරිය විසින් වැටලීමක්‌ සිදුකරන බවක්‌ද නොපෙනේ. ආණ්‌ඩුවට මේවා වටලන්නට අවශ්‍ය නම් ඒ ඒ ප්‍රදේශවල පොලිස්‌ ස්‌ථාන ලවා එය සිදුකරවිය හැක.

පාන්වල බර කිරන්නට පාන් විකුණන වෙළෙඳසල්වල ලබන මාසයේ සිට තරාදියක්‌ අනිවාර්ය කර තිබේ. මේ අනුව පාරිභෝගිකයන්ට පාන් ගෙඩිය කිරා බලා මිලදී ගත හැක. පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 454 ක්‌ විය යුතුය. පාන් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් පනහකි. 


මේ අනුව පාන් ගෙඩියේ බර කිරා බලා ඒ අනුව මිල සාදා පාන් අලෙවිය පහසුවෙන් කළ හැක. මේ සම්බන්ධයෙන් බේකරි සංගමයද රජයෙන් ඉල්ලා ඇත්තේ තරාදිය අනිවාර්ය කිරීම මෙන්ම බර අනුව මිල නියම කිරීමද එකවර ගැසට්‌ මගින් ප්‍රකාශයට පත්කර ක්‍රියාත්මක කරන ලෙසය. එහෙත් රජයේ පාර්ශවයෙන් ඒ සම්බන්ධයෙන් බේකරි සංගමයට තවමත් නිශ්චිත පිළිතුරක්‌ ලැබී නැත.

සහල් මිල තවමත් අඩුවී නැත. වෙළඳෙපොළේ බාල සහල් වර්ග අලෙවි වෙයි. ඊට අමතරව සාමාන්‍ය සහල් වර්ගවල ඇට කුඩා කරන මැෂින් මගින් සහල්වල ස්‌වරූපය වෙනස්‌ කර සාමාන්‍ය සහල් වැඩි මිලට අලෙවි කරන බවද පැවසේ. සහල් මිල ඉහළ මට්‌ටමක පැවතියද වී අලෙවි කර ගැනීමේ අසීරුතා, නියමිත සහතික මිල නොලැබීම වැනි ප්‍රශ්න සමුහයකි.

එළවලු මිල මේ දිනවල තරමක්‌ අඩු වී තිබේ. වසර පුරාවටම ගොවියන් ගෙන් නිශ්චිත මිලකට නිෂ්පාදන මිලදී ගෙන සමුපකාර සමිති සහ ලංකා සතොස අලෙවිසල් හරහා රට පුරා බෙදා හැරීමේ ක්‍රමවේදයක්‌ රජය විසින් ආරම්භ කළ යුතුව තිබේ. එසේ නොමැති තාක්‌කල් ගොවීන්ට නිසි මිලක්‌ ලැබීම හෝ පාරිභෝගිකයාට සාධාරණ මිලකට එළවලු වසර පුරා මිලදී ගත නොහැකි වේ.

මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට අලෙවි කළ ලංකා සතොස ආයතනයේ මිලදී ගැනීම් සම්බන්ධව චෝදනා එල්ල වී තිබේ. ඒවා වහා නිවැරදි කළ යුතුය. එසේ නොමැති වුවහොත් එම බර දරන්නට සිදුවන්නේද පාරිභෝගිකයාටය.

මේ සියල්ල අතරේ කෑම පැකට්‌ටුවක්‌ සාධාරණ සහන මිලකට රට පුරා ඕනෑම ස්‌ථානයකින් මිලදී ගන්නට හැකි ක්‍රමවේදයක්‌ රජය මැදිහත්වී වහාම ඇති කළ යුතුය. එය ජනතාවට විශාල සහනයක්‌ වනු ඇත.

පෙර පැවති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ආණ්‌ඩුවට පසුගිය කාලයේ චෝදනා එල්ල වූයේ අධික බදු සම්බන්ධයෙනි. අත්‍යවශ්‍ය ආහාර සඳහා සියයට අසූවක්‌ බදු පනවා ඇතැයි එකල චෝදනා එල්ල විය. දැන් ඒවා නිවැරදි කරන්නට වර්තමාන ආණ්‌ඩුවට කාලයයි. 


දැනගන්නට ඇති පරිදි පෙර රජය පැනවූ ඇතැම් බදු එලෙසින්ම තවමත් ක්‍රියාත්මකය. අනෙක්‌ අතට තමන් මිලදී ගන්නා භාණ්‌ඩයට තමන් කොතරම් බදු ගෙවන්නේද යන්න දැන ගැනීම ජනතාවගේ අයිතියකි. 

බොහෝ රටවල භාණ්‌ඩයේ මිල සහ ඊට අයකරන බද්ද වෙන වෙනම බිල්පතෙහි සඳහන් වේ. අපේ රටේ ද එවැනි ආකාරයට මිල සහ බද්ද පැහැදිලිව දැක්‌විය යුතු බවට වන නීතිවල අවශ්‍යතාවයක්‌ පවතී.

මේ දිනවල රටේ ජනතාවට සහන සැලසීමට වඩා සියල්ලෝම මූලිකත්වය දී ඇත්තේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයටය. කවර අන්දමේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන ගෙන ආවද රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න එලෙසමය. 


එම ව්‍යවස්‌ථා සංශෝධන මගින් දේශපාලකයන් සුළු පිරිසකට පමණක්‌ බලය හිමිවනු ඇත. එබැවින් අවසානයේ ජනතාව බලාපොරොත්තු වන වෙනස ඇතිවේදැයි අපි බලාපොරොත්තු දල්වා බලා සිටින්නෙමු.
 
Related Posts with Thumbnails