Ads 468x60px

.

ප්‍රවීණ රංග ශිල්පී දයා අල්විස් හදිසි අනතුරින් සමුගනී


පසුගියදා හදිසි අනතුරකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් අද උදෑසන අභාවප්‍රාප්ත වුණා.
මියයන විට ඔහු 72 වන වියේ පසුවුණා.


පසුගිය දිනෙක සන්ධ්‍යා කාලයක සිය නිවස ඉදිරිපසදී ති්‍රරෝද රථ අනතුරකට ලක්වූ දයා අල්විස් මහතාට ශාරීරික තුවාල පෙන්නුම් නොකර තිබීම නිසා ඔහු රෝහලට මුලින් ඇතුළත්ව සිටියේ නැත. නමුත් එම අනතුර නිසා ඔහුගේ හිස තැලී අභ්‍යන්තර රුධිර වහනය ඇතිව තිබෙනවා.



ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු කරන ලද සී.ටී. ස්කෑන්වලදී ඔහුගේ මොළයෙන් විශාල ප්‍රමාණයේ ලේ ගැලීම් සහිතව අසාධ්‍ය තත්වයට පත්ව සිටින බව වාර්තා වී තිබුණා. 


සිදු කරන ලද ශල්‍යකර්මවලින් එම ලේ ගැලීම් නැවතීමට සමත් වුවද ඔහුගේ ජීවිතය රැකුනේ යන්ත්‍රවල බලයෙන් පමණි. ඊයේ උදෑසන සිට
ඔහුගේ රුධිර පීඩනය අඩු වූ අතර අවාසනාවන්ත ලෙස අද අලුයම 3.50ට පමණ ඔහු මරණයට පත්වුණා. 

මිය යන විට 72 හැවිරිදි වියේ පසුවූ ඒ් මහතා බෝඩිම, නිවටයා, අහසින් පොළවට වැනි ටෙලි නාට්‍ය මගින් ප්‍රේක්ෂක අාකර්ශනය දිනා ගත්තේය.

1944 වසරේ උපන් දයා අල්විස් මහතා කළුතර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ අතර ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹීය. මහාචාර්ය එදිරීවීර සරච්චන්ද්‍ර ශූරීන්ගේ ‘පේමතෝ ජායතී සෝකෝ‘ වේදිකා නාට්‍යයෙන් සිය රංගන ජීවිතය ඇරඹූ ඔහු හෙන්රි ජයසේනයන්ගේ මකරා නාට්‍යයේද, ධවල භීෂණ, මකරාක්ෂයා, සෙනෙහෙබර ඩොලී, මෝදර මෝල වැනි වේදිකා නාට්‍යවලද රඟපෑවේය.

අනතුරුව සිනමා ක්ෂේත්‍රයටද පිවිසි දයා අල්විස් මහතා විරාගය, වෝටර්, මදර් තෙරේසා, මහගෙදර, නිකිණි වැස්ස වැනි චිත්‍රපට තුළින් සිය රංගන කෞෂල්‍යය විදහා පෑවේය.

ටෙලි නාට්‍ය තිර රචනා ක්ෂේත්‍රයේද ජනප්‍රිය නාමයක් හිමිකරගත් දයා අල්විස් මහතා අතින් ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක් ලියැවිණි. ඔහුගේ මුල්ම ටෙලි නාට්‍ය තිර පිටපතවූ ‘ළා හිරු දහසක්‘ ටෙලි නාට්‍ය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.
 
Related Posts with Thumbnails