Ads 468x60px

.

යහපාලනය වෙනුවෙන් ඉතා වටිනා පියවරක්‌ ගෙන ඇති බව කීමට අපට හදිසියක්‌ තිබේ..


පසුගිය 17 වැනිදා ජනතාව යහපාලන සංකල්පය තවදුරටත් ඉදිරියට ගෙන යැම සඳහා සිය කතිරය භාවිතා කර ඇති බව නැවත නැවතත් සඳහන් කළ යුතු නැත. රටේ ජනතාව යම් යම් පක්‍ෂ, දේශපාලනඥයන් එක හෙළා ප්‍රතික්‍ෂේප කරමින් ආණ්‌ඩුවක්‌ වෙනස්‌ කළේ ඒ නිසා ය. අලුතින් පත්වන ආණ්‌ඩුව එම ජනතා අභිලාෂයන් මුදුන් පත් කර ගැනීම පිණිස කටයුතු කළ යුතු ය.

ආරම්භයේදී ම අගමැති රනිල් වික්‍රමසිංහ යහපාලනය වෙනුවෙන් ඉතා වටිනා පියවරක්‌ ගෙන ඇති බව කීමට අපට යම් තරමක හදිසියක්‌ තිබේ. එවැනි කලබලයක්‌ ඇති වන්නට හේතු වන්නේ බොහෝ විට රාජ්‍ය

නායකයකු මෙවැනි පියවරක්‌ ගැනීමට දෙවරක්‌ සිතන මොහොතක රනිල් සෘජුව ඒ සඳහා ඉදිරිපත් වූ නිසා ය.

රනිල්ගේ ඒ අගනා තීරණය වන්නේ මහ මැතිවරණයට තරග කර පරාජයට පත් වූ කිසිදු එජාප අපේක්‍ෂකයකු ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට කටයුතු කිරීමය. 


පක්‍ෂ නායකයකු වශයෙන් මෙය තරමක්‌ අසීරු තීරණයක්‌ බව සැබෑය. එහෙත් මේ මොහොතෙහි රටේ ජනතාව බලාපොරොත්තු වන දේ ගැන හැඟීමක්‌ ඇති නායකයකු ලෙස රනිල් බුද්ධිමත් තීරණයක්‌ ගෙන ඇති බව කිව යුතු ය.

එජාප ජාතික ලැයිස්‌තුව 13 දෙනකුගෙන් සමන්විතය. ඒ අතරට ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරන ලද දේශපාලනඥයන් ඇතුළත් කිරීම නුවණක්‌ කාර වැඩක්‌ නොවේ. ජාතික ලැයිස්‌තුව යනු ජනතාව විසින් එලවා දමන ලද පිරිසකට නවාතැන්පළක්‌ නොවේ. 


අප විශ්වාස කරන්නේ ජාතික ලැයිස්‌තුව යනු දේශපාලනඥයන් නොවන එහෙත් රටේ දියුණුව පිණිස දායක කර ගත හැකි පිරිසකට, ඒ නියෝජනය ලබාදීම පිණිස නිර්මාණය කරන ලැයිස්‌තුවකි. ඒ අතරට විද්වතුන්, වෘත්තීයවේදීන්, ආදී පිළිගත් පිරිසකගේ නම් ඇතුළත් වීමේ වරදක්‌ අප දකින්නේ නැත. 

ජාතික ලැයිස්‌තුව මජර දේශපාලන චරිත වලින් පුරවා දැමීමේ අවලස්‌සන අතීතයක්‌ අපට තිබේ. කොළඹින් ඉතාම අඩු ඡන්ද සංඛ්‍යාවක්‌ ලබාගෙන පැරදුණු, එහි දේශපාලනයෙහි පරසිඳු චරිත ජාතික ලැයිස්‌තුවේ බෝඩිං කළ අවස්‌ථා අමතක කළ යුතු නැත. ජනතාව මේ ප්‍රතික්‍ෂේප කරන්නේ එවැනි චරිතය. ගමට, රටට දැනෙන යමක්‌ නොකළ චරිතය.

තමන්ගේ කතිරය ඉතාම නරක ලෙස වෛශ්‍යා වෘත්තියේ යොදවනු ඇතැයි අපේක්‍ෂා කළ චරිත ද ජනතාව ප්‍රතික්‍ෂේප කළේය. එක්‌ පක්‍ෂයක සිට තමන්ගේ මනාපයෙන් ගොඩගිය පසු අනෙක්‌ පක්‍ෂයට කරණමක්‌ ගසනු ඇතැයි අපේක්‍ෂිත බොහෝ දේශපාලනඥයන්ට විවේක ගන්නට සැලැස්‌වූයේ එහෙයිනි. එවැනි කරණම්වලට ප්‍රසිද්ධ චරිත ගැන රටේ ජනතාවට තිබූ 'ඉව' පිළිබඳව අගමැති රනිල්ට අවබෝධ වී ඇති බව නිසැකය.

අප විශ්වාස කරන්නේ මෙය පූර්වාදර්ශයක්‌ කර ගත යුතු බවය. ශ්‍රීලනිපය ද සිය ජාතික ලැයිස්‌තු සාමාජිකයන් අතරට මෙවැනි දේශපාලන චරිත රිංගවා ගැනීමට උත්සාහ නොකළ යුතුය. 'අප්පච්චි මරණ' අන්දමේ තුප්පහි දේශපාලන සංස්‌කෘතියක අත්දැකීම තවදුරටත් ජනතාවට අවශ්‍ය නැති බව ඒ උදවිය ද වටහා ගත යුතුය.

අලුත් මුහුණු 66 ක්‌ පාර්ලිමේන්තුවට එකතු වී තිබේ. පරණ කට්‌ටියට ජනතාව සමු දී ඇත්තේ ඒ කිසිවෙකුත් සිය කාර්යභාරය නිසි ලෙස ඉටු නොකළ නිසා බව පැහැදිලිය. ඒ 66 දෙනා අතර තරුණ ජවය පිරුණු දේශපාලනඥයන් රාශියකි. 


ජාතික ලැයිස්‌තුව පිරවිය යුත්තේ එම පිරිස සමඟ උරෙනුර ගැටී අවංකව ජනතා සේවයෙහි යෙදෙන විද්වතුන් හා වෘත්තිකයන් ය. හිටපු දේශපාලනඥයන්ට ඇරියස්‌ පියවා ගැනීමට හෝ මිත්‍රයන්ට, ඥාතීන්ට, දේශපාලනය කරන්නට ඉඩ දෙන්නට ජාතික ලැයිස්‌තුව භාවිතා කිරීම දැන් අතහැර දැමිය යුතුය. 

රටේ ප්‍රධාන පක්‍ෂ දෙකටම ජාතික ලැයිස්‌තු පිරවීමේදී ජනතාව ගෙදර යෑවූ දේශපාලනඥයන් ගාවා නොගැනීම වැදගත් ය. ඒ, දැනටමත් ජාතික ආණ්‌ඩුවක්‌ සඳහා වූ කතා බහක්‌ ඇතිව තිබෙන බැවිනි. යහපාලනය සංකල්පය අර්ථවත් වන දැක්‌මක්‌ ඇති ජාතික ආණ්‌ඩුවක සිටිය යුතු පිරිසිදුම කොටස්‌ තෝරා ගැනීම දෙපාර්ශ්වයේම වගකීමය.

රනිල් පියවරක්‌ තබා ඇත්තේ ඒ සඳහා ය. රටේ ජනතාව අත් දෙකම ඔසවා ඊට එකඟතාව පළ කර අවසන් ය.
 
Related Posts with Thumbnails