Ads 468x60px

.

අධම වහල් යුගයක් වෙනුවට 'යහපාලිත නිදහස් යුගයක්' කරා රට රැගෙන යෑමට


ශ්‍රී ලංකාවේ 16 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අද දිවුරුම් දෙයි. ඉකුත් 17 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වේ ආසන 106ක සරල බහුතරයක් දිනා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් තරග කළ එක්සත් ජාතික පෙරමුණ  (UNP) සමත් විය. ලැබුණු ජනවරමට අනුව අගමැති ධුරයේ දිවුරුම් දීමට වික්‍රමසිංහ මහතාට ඉඩ ලැබී තිබේ.

1977 අවුරුද්දේ සිට අඛණ්ඩව දාහත් වසරක කාලයක් බලයේ සිටි, බරපතළ දූෂණ, භීෂණ, චෝදනා ලැබූ එ.ජා.ප. ආණ්ඩුව පරාජය කිරීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ අලුත් නායකත්වයෙන්,
සිවිල් සංවිධානවල දායකත්වයෙන් පිහිටුවාගත් ශ්‍රී ල.නි.ප.ය ප්‍රමුඛ "පොදුජන එක්සත් පෙරමුණ" සමත් විය. එහෙත් පොදු පෙරමුණට හිමිවූයේ ආසන 105ක සරල බහුතරයක් පමණි. 

මුස්ලිම් හා දෙමළ ජාතික පක්‍ෂ දෙකක හවුල්කාරිත්වයෙන් 1994දී පොදු පෙරමුණු ආණ්ඩුව පිහිටුවා ගැනීම හැඳින්වූයේ "අධම යුගයක අවසානය - නිදහස් යුගයක ඇරැඹුම" ලෙසිනි. 1994 සිට අවුරුදු විස්සක කාලයක් බලයේ සිටි ශ්‍රී ල.නි.ප.ය ප්‍රමුඛ ආණ්ඩුවලටද අවසානයේ දූෂණ, භීෂණ, මර්දන චෝදනා එල්ලවීම දෛවයේ සරදමකි.

ජනවාරි 8 වැනිදා විපක්ෂයේ පොදු අපේක්‍ෂකයාගේ ජයග්‍රහණයෙන් ජනතා අධිකරණය ලබාදුන් තීන්දුව ඉකුත් 17 වැනිදා ජනතා අධිකරණය විසින් යළිත් තහවුරු කරන ලදී. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ඒ තීන්දුවෙන් ප්‍රකට කළ ජනතා අභිලාෂය ගැඹුරින් තේරුම් ගෙන ඇති බව පෙනේ. 

මහ මැතිවරණයෙන් පසුව ප්‍රධාන පක්‍ෂ, ජාතික ආණ්ඩුවකට එක්ව කටයුතු කළ යුතු යැයි මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේදීය. "දින සියය" වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පිහිටුවා ගත් ආණ්ඩුව සැලකිය හැක්කේ එවැනි හවුල් පාලනයකට කළ අත්හදාබැලීමක් ලෙසය. ඒ ආණ්ඩුව සාර්ථක වීම්වලින් මෙන්ම අසාර්ථක වීම්වලින් ගහන වූ අතර හවුල් වී ආණ්ඩු කිරීමේදී පැනනඟින ගැටලු පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ඉන් දෙපාර්ශ්වයටම ඉඩ සැලැසිණි.

මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ රටේ ප්‍රධාන ප්‍රශ්න විසඳීමේ ජාතික කර්තව්‍යය ඉටුකිරීම සඳහා සම්මුතිවාදීව කටයුතු කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂවලට ආරාධනා කරන බවය. 

පැරැණි දේශපාලනය පසෙක දමා, නව දේශපාලන සංස්කෘතියක් උදෙසා පස් වසරක හෝ දෙවසරක කාලයක් එක්ව වැඩ කර බලමු යැයිද වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇත. 

එ.ජා.ප. නායකයාට අනුව මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණට ලැබී ඇත්තේ "ජනවාරි 8 විප්ලවය" තහවුරු කරන ජනවරමකි. එනිසා පොදු අපේක්‍ෂකයාගේ ජයග්‍රහණය උදෙසා දායක වූ සියලුදෙනාම එක්සත්ව එක්සිත්ව පෙරට යා යුතුය.

2001 මහ මැතිවරණයෙන් එ.ජා.ප.ය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ආසන 109ක් ජයග්‍රහණය කළ අතර, එකල විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ශ්‍රී ල.නි.ප. නායිකාව වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය හිමිවිය. 

එහෙත් ඉතිහාසයේ ප්‍රථම වරට උදාවූ මේ "අවස්ථාව" රටේ අනාගත යහපත උදෙසා පාවිච්චි කිරීමට මේ නායකයන් දෙදෙනාටම වුවමනාවක් තිබුණේ නැත. ජනාධිපති හා අගමැති අතර සම්මුතියක් නොතිබීම නිසා රට තුළ අවුල්කාරී තත්ත්වයක් උද්ගත වූ අතර ඒ නිසාම දෙවසරක් ඇතුළත මහ මැතිවරණයකට යෑමට සිදුවිය.

යළි එළැඹී තිබෙන්නේ 2001 වැනි අවස්ථාවකි. ජනාධිපතිවරයා ශ්‍රී ල.නි.ප.යේ නායකයා වන අතර අද අගමැති ධුරයේ දිවුරුම් දෙන රනිල් වික්‍රමසිංහ එ.ජා.ප. නායකයා වේ. 

එහෙත් 2001 නොපැවැති වැදගත් සබඳතාවක් මේ දෙදෙනා අතර ඇත. ඒ ජනාධිපතිවරයාට හිමිවූ ජනවරමට අගමැතිවරයාගේද දායකත්වයක් තිබීමත්, රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එ.ජා.ප.යට හිමිවූ ජනවරමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නොනිල වශයෙන් දායක වීමත්ය.

අධම වහල් යුගයක් වෙනුවට 'යහපාලිත නිදහස් යුගයක්' කරා රට රැගෙන යෑමට ජනාධිපති හා අගමැති ප්‍රමුඛ ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මේ රටේ ප්‍රධාන පක්‍ෂ දෙක වන එ.ජා.ප.ය හා ශ්‍රී ල.නි.ප.ය සූදානම් වන්නේ නම්, එය අන්තවාදය ප්‍රතික්‍ෂේප කරන ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රාර්ථනා කරන යුක්තිගරුක, සත්‍යගරුක ජනතාවට මහත් අස්වැසිල්ලක් වනු ඇත.
 
Related Posts with Thumbnails