Ads 468x60px

.

කොණ්ඩයා ගැන කොණ්ඩයාගේ මව කියන...


රටේම අවධානය දිනාගනිමින් කොටදෙණියාවේ සේයා සෙඳව්මි දැරිය දූෂණය කර ඝාතනය කිරීමෙන් පසු එවැනි දෙයක් නැවත සිදුවීම වළක්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ වනවිට කථාබහක් මතුව තිඛෙනවා.

ජනතා උද්ඝෝෂණ මගින් මෙන්ම ජනපති මෛත්‍රිපාල සිරිසේන වෙතින් යෝජනා වූ මරණ දඩුවම පැනවීමෙන් මෙයට විසඳුමක් ලැබේවිද?


මේ ආකාරයේ විකෘති මෝඩපහේ මානසික තත්වයන් සහිත මිනිසුන් ගම්මට්ටමින් අනන්තවත් වාසය කරන නිසා එවැන්නුන් මරණ
දඩුවමට බියවේද යන්නත් සැකසහිතය. එවැනි අය බිහිවීම වැළැක්වීමට සමාජ
ආර්ථීක වටපිටාවක් නිර්මාණය කිරීමද දීර්ඝ කාලීන වැඩපිළිවෙලකි.

සේයා සෙඳව්මි අවාසනාවන්ත ලෙස මරාදැමීම කණගාටුවක් වුවත් මෙම ගැටලූව සම්බන්ධයෙන් ඇය ඉතිරි කර ගිය ඇය නිසා ඇතිවූ සමාජ කථාබහ වැදගත් එකකි.


කොණ්ඩයා නැතිනම් දුනේෂ් ප්‍රියශාන්ත නමැති 33 හැවිරිදි පුද්ගලයා ගැන මේ වනවිට ආරංචි වන තොරතුරු නැවත විමසා බැලීම එම කතාබහට වැදගත් ප්‍රවේශයක් වනු ඇත.

කොණ්ඩයාගේ මව පවසන පරිදි කොණ්ඩයාගේ පියාද සොරෙකි. මවට දරුවන් සිව්දෙනෙකු ලද පසු පියාගේ සොරකමක් නිසා පියා සිරගතවී ඇත. එම පුද්ගලයා මියගොස් ඇත්තේද සිරගෙදරදීය. එක් දියණියක හා පුතුන් තිදෙනෙකු සමග තනිවූ කොණ්ඩයාගේ මව ඔවුන්ට කන්ට අඳින්නට දෙන්න ඉමහත් වෙහෙසක් ගෙන ඇත.


ඔවුන්ට උගන්වන්නට එම මවට මුදල් හැකියාවක් තිබී නැත. මේ අයගෙන් දෙවැනි දරුවා වූ කොණ්ඩයා පාසලට ඇතුළත් කළත් පළමුවන පන්තියේ පමණක් සිටි බවත් පාසලෙන් කට්ටි පැන්න නිසා දෙවන පන්තියේ සිට පාසල් ගමන නතරවූ බවත් මව කියා තිඛෙනවා. 


අධික දරිද්‍රතාවයෙන් පෙළුණ කොණ්ඩයාගේ පවුලේ පිරිමි ළමුන් සොරකමේ ගිය පියාගේ අඩිපාරේ ගියා මිස වෙනස් මගක ගොස් නැත.

මෙම මිනීමැරුම සඳහා මුලින්ම පොලිස් සැකයට භාජනයවූ කොණ්ඩයාගේ අයියා මීට වසර කිහිපයකට පෙර ගෙවල් බිඳීම් කිහිපයක් සම්බන්ධයෙන් හසුවී සිරගතව සිටි අයෙකි.


සිරෙන් නිදහස්වූ පසුව විවාහවී ගඩොල් කැපීමේ රැකියාවක් කළත් ඔහුද ඇතැම් අවස්ථාවල සිය සොයුරු කොණ්ඩයා සමග විවිධ අසමජ්ජාති වැඩ වලට හවුල්වී ඇත.


කොණ්ඩයාගේ එකම සොයුරිය මේ දේවල් විවේචනය කළ අයෙකි. ඇය විවාහවී සේයා සෙඳව්මිගේ නිවස ආසන්නයේ නිවසක කල් ගත කළ අතර ඇය හැමවිටම සොයුරන්ගේ වැරදි වැඩ වලට දොස් කී තැනැත්තියකි.


කොණ්ඩයාද කුලී වැඩ කරමින් ජීවිකාව සොයාගත් අතර මවගේ නිවසේ හා සොයුරියගේ නිවසේ මාරුවෙන් මාරුවට වාසය කරමින් ජීවත්ව ඇත.


මින් මාස කිහිපයකට පෙර ඔහු බලවතුගොඩ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන ගොස් අතවර කරන්නට දැරූ උත්සාහයක් වැරදි යාමෙන් පසු එම දැරිය සුසාන භූමියක තනිකරදමා ගොස් තිබුනේ ප්‍රදේශවාසීන් කෑකෝ ගැසූ නිසාය. 


එම සිද්ධියෙන් පසු ඔහු බලවතුගොඩ මවගේ නිවසේ විසුම අමාරුවූ නිසා එහි නොසිට සොයුරියගේ නිවසට පැමිණ තිබුණ අතර පසුගිය කාලයේ බටකඳ ප්‍රදේශයේ තෙල් මෝලක කම්කරුවෙකු ලෙස සේවයට ගොස් ඇත.

සේයා සෙඳව්මි නිවස ආසන්න මිදුලේ උන්චිල්ලාවක සෙල්ලම්කරමින් සිටිනු එය අසළ ගුරුපාරේ ගමන් කරද්දී කොණ්ඩයා අවස්ථා කිහිපයකදීම දැක ඇත. පහත් මානසික තත්වයක සිටි ඔහු ඇයට ටික කලත් තිස්සේ සිතින් පෙම් බඳිමින් සිට ඇත.

දැරිය පැහැරගන්නට ඔහු පසුගියදා තීරණය කළ අවස්ථාවේදී මුලින්ම කර තිබුනේ දැරියගේ ඇඳුම් ගලවා ඒ දෙස බලාසිටීම බව පාපොච්චාරණයේදී හෙළිවිය. ඔහුගේ විකෘති ආසාවන් එසේ විය.


65 හැවිරිදි කොන්ඩයාගේ මව ඔහු ගැන පවසා ඇති තොරතුරු මෙසේය. එයාට ලියන්න කියන්න බෑ. ඉගෙන ගන්නත් බැරිවුණා. පොඩි කාලෙ ඉඳලම හිටියේ කැලෑවේ. දත්මදින්න මූණ කට හෝදන්නවත් උනන්දුවක් නෑ.


ඔහේ ලැඛෙන කුලී වැඩක් කරන් ජීවත් වෙනවා. එයාට අවුරුදු 30 වෙනකම් මට පිට මිනිස්සුන්ගෙන් කතා අහන්න වුනේ නෑ. එත් මේ ඔක්කොම වෙන්න ගත්තෙ පහුගිය අවුරුදු තුනේදී.

මිනිස්සු ඇවිත් කියනවා මෙයා ඒ ගෙවල් වල ගෑනු ළමයි දිහා බලන් ඉන්නවා. හොරෙන් ජනෙල් අස්සෙන් රෑට බලනව කියලා. සමහරදාට මිනිස්සුන්ට ඒවා අහුවෙල ගුටි කාලත් තියනවා. කෙල්ලො නාන තැන්වල බලන් හිටිය කියල ළ`ගදි දවසක හොඳටම ගුටි කෑවා.ගෑනු අයගෙ යට ඇඳුම් උස්සන් යන බවත් මං දන්නවා. මේව කියන්න මිනිස්සු එනකොට මට ලැජ්ජාවෙ බෑ. පහුගියදා මේ දරුව මරල දාපු එක මට කියල තිබුනෙ නෑ.


එදා පොලිසිය ආවම පැනල දිව්වා ගේ පිටිපස්සෙන්. පස්සෙ කැලේ හැංගිල ඉන්න කොට මං බත් මුට්ටියක් අරන් ගිහින් දුන්නා. මට මුකුත් ඒ ගැන කිව්වෙ නෑ. එයාගෙ හැටි ඒ විදිය නිසා මං හිතුවෙ ගෑනු ළමයිගෙ ප්‍රශ්න වලින් බේරෙන්නයි මේ හැංගිල ඉන්නෙ කියලා. මූව හදාගත්තෙ නෑ කියල මට තමා මිනිස්සු බණින්නෙ..දෙයියනේ මං දැන් මොනවද කරන්නෙ.. මං කියපු කිසිදෙයක් මූ ඇහුවෙ නෑ. හරිම දඩබ්බරයි වෙලාවකට.


කොණ්ඩයාට කොණ්ඩයා යන නම පටබැඳී ඇත්තේ ඔහු අවුරුදු ගණනාවකින් කොණ්ඩය කපන්නට උනන්දු නොවී කොණ්ඩය වවා සිටින්නෙකු විම නිසාය. ඔහු දුටුවන්ට අප්‍රිය පුද්ගලයෙකි. 


ගැහැණුන්නට උසුළු විසුළු කළද ඔවුන් මොහුව කිසිදා ගණන් ගන්නේ නැත්තේ තිඛෙන අප්‍රසන්න බව නිසාමය. පිරිමි යහළුවන්ද කොණ්ඩයාට නොසිටි බව කියැවේ. බොහෝ විට හුදෙකලා වනචාරී ජීවිතයක් ඔහුට තිබී ඇත.

කැලේදී අතට හසුවෙන දේ කඩාගෙන කන ග`ගට පැන මාලූවන් අල්ලා උන් අමුවෙන්ම කන වනචාරී ජීවිතයක්ද ඔහුට තිබී ඇත. ඔහු සිටින්නේ කැලේද සොයුරියගේ නිවසේද නැතිනම් මවගේ නිවසේද යන්න කිසිවෙකු හරිහැටි දන්නේ නැත.


තමන්ගේ ජීවිතය ගැන කිසිදු වටිනාකමක් නොමැතිවූ කොණ්ඩයා සමාජයේ අධික කොන්කිරීම හමුවේ පිඩාවෙන් පෙළුණ අයෙකි. තමන්ට සැබෑ ජීවිතයේදී සමීප වන්නට බැරි කාන්තාවන් මියගිය පසු මළ සිරුර ගොඩගෙන දූෂණය කරන්නට තරම් පහත් මානසික තත්වයකට වැටුණ අයෙකි. ඔහු කාන්තාවන් දෙස හොරෙන්

බලා සිට ඇති කරගත් ප්‍රශ්න නිසා එහුගේ සොයුරියද මවද පීඩාවට පත්වූ අවස්ථා අනන්තය. මෙම මිනීමැරුම කොණ්ඩයා විසින් සිදු කරන්නට ඇති බවට ඔහුගේ සොයුරිය පොලිසිය හමුවේ පසුගිය දිනවල ප්‍රකාශ කර තිබුණ අතර කොණ්ඩයා ඇල්ලීමට ඇය උදව් කර තිබුනි.


සේයා සෙඳව්මිගේ අසල්වාසීන්ද කොණ්ඩයාගේ සොයුරිය ගැන වැරදි වැටහීමක් නැත. ඊයේ ඇය ඇගේ සැමියා ඉදිරියේ මාධ්‍ය ඉදිරියේ කියා සිටියේ කොණ්ඩයා මේ දේ කළ නිසා ඔහුව මරා දැමිය යුතු බවකි. නිකම්ම නොව වේදනා විඳින්නට සලස්වා එල්ලා මැරිය යුතු බවද ඇය කියා තිබුණි.

මේ ආකාරයේ විකෘති මෝඩපහේ මානසික තත්වයන් සහිත මිනිසුන් මරාදැමීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳේද යන්න නැවත මතුවන පැනයයි. එවැනි අය මතුවීම වැළැක්වීමට සමාජ ආර්ථීක වටපිටාව ඉක්මණින් සකස් කිරීම බලධාරීන්ගේ වගකීමයි.
 
Related Posts with Thumbnails