Ads 468x60px

.

ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වූයේත් ආනන්ද තෙරුන්ගේ අර්හත්වය සිදුවූයේත් අද වැනි පුන්පොහෝ දිනකදීය

“පරදුක්ඛූපදානේන - අත්තනො සුඛමිච්ඡති
වේරසංසග්ගසංසට්ඨො - වේරාසො න පරිමුච්චති”


අද නිකිණි පුන් පොහෝ දිනයයි. අප බුදුරජාණන්වහන්සේ භික්ෂු මහා සංඝරත්නය උදෙසා “අනුජානාමි භික්ඛවෙ වස්සානේ වස්සං උපගන්තුං” යනුවෙන් ඇසළ පොහෝ දිනට වස් එළඹෙන ලෙස භික්ෂූන්ට අනු දැන වදාළහ.
එලෙස ඇසළ පොහෝ දින වස් එළැමීමට නොහැකි වූ භික්ෂූන්වහන්සේ සඳහා නිකිණි පොහෝ දින පසු වස් එළැඹීම ඉපැරැණි ශාසනික සම්ප්‍රදායයි. මහා කාෂ්‍යප මහ තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වූයේත් ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන්ගේ අර්හත්වය සිදුවූයේත් අද වැනි පුන්පොහෝ දිනකදීය. ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපට බොහෝ සේ වැදගත් වන කන්ද උඩරට විරාජමාන සිරි දළදා සමිඳුන් උදෙසා පවත්වන මහ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර මෙවර පවත්වන්නේ අද දිනයටයි.
මම ඉහත මාතෘකා කරන ලද ගාථා ධර්මය බෞද්ධයාගේ අත්පොත ලෙස සැලකෙන සූත්‍ර පිටකයේ ඛුද්ධක නිකායට අයත් අනු ග්‍රන්ථයක් වූ ධම්මපදයේ විසි එක් වැනි ප්‍රකීර්ණක වග්ගයේ දෙවැනි ගාථාවයි. එහි සරළ තේරුම් වන්නේ යමෙක් අනුන්ට දුක් දී සැප ලබන්නට කැමැතිවේද ඔවුනොවුන්ගේ වෛරයෙන් බැදුන සිත් ඇති හෙතම වෛරයෙන් නොමිදෙයි යන්නයි.
බුදු දහම පරලොව උදෙසා දෙසු දහමක් ලෙස බොහෝ දෙනා හඳුන්වන්නට පුරුදු වී සිටිනවා. නමුත් බුදුරදුන්ගේ ධර්මය මෙලොව පරලොව උභයාර්ථය සිදු කරන්නකි. කිසි විටකත් එය ව්‍යවහාරික ජීවිතයෙන් ඈත් වූවක් නොවේ. මෙලොව ජීවිතය සාර්ථකව ගත කිරීමට නම් ජීවිතය පිළිබඳ යථා අවබෝධයක් තිබිය යුතුයි. එදිනෙදා ජීවිතයේදී මුහුණපාන නානාවිධ ප්‍රශ්න සමුදායක් මත හා ඒ සඳහා සොයන පිළිතුරු මත “ජීවත්වීම” යන්න සැදී තිබෙනවා. එනිසාම එම ගැටළු සඳහා බුද්ධ දේශනාව උපයෝගී කරගන්නවා නම් මෙලොව ජීවිතය සාර්ථඛවෙනවා. ඒ තුළින් පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට ඔහුට හැකියාව ලැබෙනවා.
ධම්මපදට්ඨ කථාව අනුව බලන විට ඉහත ගාථාවේ නිදාන කථාවටත් එහි අදහසටත් ආසන්න වන තවත් ගාථාවක් ධම්මපද පාලියේ තිබෙනවා. යමක වග්ගයේ එන

“නහී වේරේන වේරානී - සම්මන්තිධ කුදාචනං
අවේරේනව සම්මන්තී – එස ධම්මෝ සනන්තනෝ”

මෙම ගාථාවේ අදහසත් එහි නිදාන කථාවත් ඉහත මාතෘකා ගාථාවට බෙහෙවින්ම ආසන්නයි.
එක්තරා මාළුබාන්නෙක් තමාට හමුවන කැස්බෑ බිත්තර රැගෙන ගොස් ඒවා ගෙදරදී සාදා ගෙන අනුභව කරන වෙලාවේ ඉන් එකක් එම ගෙදර සිටි කුඩා ගැහැණු ළමයාට දෙනවා. එහි රසයට එම ළමයා මොනතරම් ආසා කරාද කියනවනම් වෙන කිසිම කෑමක් නොගෙන අඩන්නට පටන් ගත්තා. ඇගේ මව ඊට පිළියමක් ලෙස ඇයට කිකිළි බිත්තර ගෙනත් දෙනවා. ඉන් සතුටට පත් එම ළමයා තමාම කිකිළි බිත්තර ගෙන කන්නට පුරුදු වුණා. කිකිළි එම ළමයා කෙරෙහි වෛර බැදගත් නිසා එම ආත්ම වාරයෙන් චුතව බැළලියක්ව උපදිනවා. ළමයා කිකිළියක් වෙනවා. මෙසේ ඔවුන් දෙදෙනා උපනුපන් ආත්මවාරවලදී එකිනෙකාගේ බිත්තර කමින් දිගටම වෛරය ගෙන ගියා. අවසානේ මුලින් කිකිළිය යකින්නක්වද ළමයා ගැහැණියක්වද ඉපිද යකින්න ගැහැණියගේ දරුවන් කන්නට පුරදු වී සිටියා. එක් වතාවකදී යකින්නගෙන් බේරීමට කාන්තාව බුදුරඳුන් වෙත දුවනවා. එහිදී බුදුන් වහන්සේ දෙදෙනාගේ වෛර අදහස් දුරු කිරීමට මාතෘකාගත ගාථාව දේශනා කරනවා. ඔවුන් වෛර කරගැනීම ඉවත්කොට ගෙන දෙදෙනාම සුගතිගාමී වෙනවා. “නහී වේරේන වේරානි” ගාථාවේ කථාවද මෙයමය. එහිද වෛරයෙන් වෛරය නොසංසිඳෙන බව ඉගැන්වේ.
 
Related Posts with Thumbnails