Ads 468x60px

.

ගුවන් යානා නිපදවමින් අහසේ පියාසර කරවන පිය පුතු දෙදෙනෙක්‌

මේ රටේ අපූර්ව මිනිස්‌සු බිහිවෙති. විවිධ ක්‍ෂේත්‍රයන්හි උපන් හපන්කම් දක්‌වන ඔවුහු විශ්මයජනක නිර්මාණ බිහිකරති. නව අත්හදාබැලීම්වලින් ජන සමාජයම පෙරැළියකට භාජන කරති.

ලොව වෙනත් ජාතීන් හා නිර්මාණකරුවන් අභිබවා යන නිෂ්පාදන බිහිකරති. එහෙත් එම නිෂ්පාදන ව්‍යාප්ත කිරීමට තරම් ශක්‌තියක්‌ නැත්තේ නිමක්‌ නැති ගැටලු නිසාය.

පුංචි එඩ්වඩ් ද අපූර්ව නිර්මාණ කෙරේ උනන්දුවක්‌ දැක්‌වූ ශිෂ්‍යයෙකි. ඔහුගේ නිවස පිහිටා තිබුණේ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ ආසන්නයේය. ඒ නිසාම නිරන්තරව මේ කොලුගැටයාගේ සිත නෙත ඇදී ගියේ ගුවන් යානා දෙසටය. දවස පුරාම කටුනායකට ගොඩබාන කටුනායකින් ගුවන්ගත වන යානා දෙස අසීමිත ආසාවෙන් බලා සිටි එඩ්වඩ් දරුවා කෙසේ හෝ ගුවන් යානයක්‌ තමන් සතුකර ගැනීමේ අධිෂ්ඨානයෙන් පුංචි ගුවන් යානා සොයමින් මව්පියන්ට ඇවිටිලි කරමින් ඒ ඔස්‌සේම ගමන් කළේය.

ඒ 1957 වර්ෂයයි. එඩ්වඩ්ගේ වයස අවුරුදු 10 කි. ඔහු තම සිහිනයේ පළමු අදියර සැබෑ කර ගත්තේය. පුංචි ගුවන් යානයක්‌ තමන් සතු කරගෙන එය එහා මෙහා කරමින් කෑලි ගලවමින් සවි කරමින් අත්හදාබැලීම් කිරීමට එඩ්වඩ් පටන් ගත්තේය. එවකට රුපියල් 17.5 ක්‌ වූ එම පුංචි ගුවන් යානයට රුපියල් 50 ක්‌ ගෙවා මිලදී ගත් මෝටරයක්‌ සවි කළේය. දැඩි ආශාවෙන් එය එහා මෙහා යවමින් තව තවත් ගුවන් යානා ගැන හදාරන්නට එඩ්වඩ් සිත යොමු කළේය.

ගුවන් යානා පිළිබඳ විදේශීය ග්‍රන්ථ වැඩි වැඩියෙන් පරිශීලනය කිරීමට පටන්ගත් තරුණ එඩ්වඩ් පෙරේරා 1965 දී තම සිහිනය තවදුරටත් මල්ඵල ගන්වමින් ඔහුගේ ප්‍රථම ගුවන් යානය ගුවන්ගත කළේය. මේ පුංචි ගුවන් යානයේ ගුවන් පථය වූයේ මීගමුව කිඹුලාපිටියේ වෙල්යායක්‌ මැද තිබූ කුඩා ගුරු පාරකි. ඒ සතුට පිරි අතීතය සිහිපත් කළ එඩ්වඩ් පෙරේරා මහතා, "මම දිගින් දිගටම ගුවන් යානා පිළිබඳ පොත්පත් කියෙව්වා. හැකි හැම විටම කුඩා ගුවන් යානා හැදුවා. කුඩා ගුවන් යනා සෑහෙන දුරකට යෑව්වා."

"මගේ මේ අසීමිත ආශාවටම දෝ දෛවයේ වාසනාවට දේශමාන්‍ය විද්‍යාජොති මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති රේ විෙ-වර්ධන මහතා මුණගැසුණා. ඒ මහතා මගේ මේ නිර්මාණකරණයට විශාල දායකත්වයක්‌ වුණා. අප දෙදෙනා එකතු වී මිනිසුන්ට ගමන් කළ හැකි හෙලිකොප්ටර් යානා 16 ක්‌ නිර්මාණය කළා. කාලය ගෙවී යද්දී මම කුඩා ගුවන් යානා රාශියක්‌ නිර්මාණය කර ගුවන්ගත කළා. මගේ පුතා කොලින් පෙරේරා මේ කටයුත්තට මා සමඟ එකතු වුණා."

ඔවුන් නිපදවූ කුඩා ගුවන් යානා ගුවන්ගතවී ගුවනේ විවිධ පෙළහර පා අපූරුවට නැවත පොළවට පතිත වූයේය. රිමෝට්‌ කොන්ට්‍රොaලයක්‌ මගින් ඒවා බිම සිට මෙහෙයවනු ලැබීය.

දුරස්‌ථ පාලකයක්‌ මගින් හසුරුවමින් ඈත අහස පුරා ගුවන් කරණම් දක්‌වන කුඩා ගුවන් යානා රැසක්‌ නිපදවා දස්‌කම් පාන මෙ පිය පුතු දෙදෙනා එඩ්වඩ් පෙරේරා හා කොලින් පෙරේරා යන මහත්වරුන්ට 1995 දී ගුවන් බලපත්‍ර ලබාදෙනු ලැබීය.

අද දවසේදී ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සමඟ සම්බන්ධ වී මෙරට පාසල් සිසුන් හා ප්‍රජාව වෙනුවෙන් කුඩා ගුවන් යානා රාශියක්‌ ගුවන්ගත කරමින් එඩ්වඩ් - කොලින් පියපුතු දෙපළ දැනුම, අවබෝධය, විනෝදය, නිර්මාණ හැකියාව ප්‍රචලිත කිරීමේ ජාතික මෙහෙවර ද ඉටුකරයි.

පසුගියදා ඔවුන්ගේ ගුවන් යානා සංදර්ශනයක්‌ පල්ලම නන්දිමිත්‍ර මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණ ගුවන සිසාරා පැවතියේ සිසු දරුවන්ට නවමු අත්දැකීමක්‌ එක්‌ කරමිනි. මෙවැනි දක්‍ෂයන් රටට ආඩම්බරයකි.

 
Related Posts with Thumbnails