Ads 468x60px

.

පෙම්බස් දොඩා රන් අබරණ අරන් පෙම්වතා මාරු වෙලා

ජංගම දුරකථන ඇමතුම් මගින් ඇතිකර ගත් පෙම් සබඳතාවක් මත තරුණියක් තමන්ගේ රන් මාලයක් සහ රත්‍රං වළලු දෙකක් ද, කපටි පෙම්වතකුට පූජා කිරීමේ සිද්ධියක් බේරුවල ප්‍රදේශයෙන් අසන්නට ලැබේ.  
බේරුවල බලතර ප්‍රදේශයේ තරුණියකගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුමක් මත තරුණයෙක් සමඟ සබඳතාවක් ඇතිකරගෙන තිබේ. මවුපියන් නොමැති මේ තරුණිය තම සොහොයුරියකගේ නිවෙසේ නැවතී සිටි විවාහ වන වයසේ පසුවූ එම තරුණියට ලැබුණු දුරකථන පණිවුඩය අනුව නුදුටු පෙම්වතා සමඟ සබඳතාව ගොඩනඟා ගත් පසු මාසයක පමණ කාලයක් තිස්සේ සිහින ලෝකයක ජීවත්වෙමින් නුදුටු පෙම්වතා සමඟ නිතර නිතර පෙම් වදන් හුවමාරු කරගෙන ඇති අතර දිනක් ඇගේ පෙම්වතා ඇය හමුවීමට ආශාවෙන් සිටින බව පවසා තිබේ.
 
ඒ අනුව ඇය ඔහු හමුවීම සඳහා කළුතර නගරයේ තැනක් යෝජනා කරගෙන ඇය ඔහු හඳුනා ගැනීම සඳහා හැඳ පැළඳගෙන එන ඇඳුම් ද පවසා ඇති අතර ඒ අනුව ඉකුත් දිනෙක කළුතර නගරයේදී දෙදෙනා මුණගැසී තිබේ.
 
එම තරුණිය ලාබාල තම පෙම්වතා හමුවීමට පැමිණියේ තමන් වියපත් වූ දා මවුපියන් විසින් පරිත්‍යාග කරන ලද රන් දම්වැල සහ රන් වළලු දෙක ද පැළඳගෙනය. දෙදෙනා කළුතර දී හමුවී හඳුනා ගැනීමෙන් පසු ඔහු තම පෙම්වතියට සවාරියක් යාමට යෝජනා කර ඇත. සන්ධ්‍යාවේ ආපසු පැමිණීමේ පොරොන්දුව පිට ඇය පෙම්වතා සමඟ කොළඹ බසයක නැඟී පැමිණ එහිදී තවත් බස් රථයකින් කටුනායක ප්‍රදේශයට ද ගොස් තිබේ.
 
කටුනායකට පැමිණි පෙම් යුවළ ඒ ප්‍රදේශයේ තිබූ පාළු නිවෙසකට ද සේන්දු විය. එහෙත් නුහුරු ප්‍රදේශයකට පැමිණි පෙම්වතියට කිසියම් චකිතයක් ඇතිවිය.
පෙම්වතා පිළිබඳව දැඩි විශ්වාසයකින් සිටි ඇය මේ වන විට පැළඳගෙන ආ රන් මාලය සහ වළලු දෙක ද පරෙස්සමට පෙම්වතා සතුකර ඇත.
 
එහෙත් ඇගේ හිතේ දළුලා වැඩුණ සැකය විසින් ඇය මායම් පා පෙම්වතාගෙන් මිදී රත්‍රන් අබරණ අමතක කර පැනවිත් කෙසේ හෝ නැවත බේරුවල නිවෙසට පැමිණ තිබේ. නිවෙසට පැමිණි ඇය සිද්ධියේ සුලමුල තම සොහොයුරියට පවසා ඇති අතර සොහොයුරිය තම නැගණියව බේරුවල පොලිස් ස්ථානය වෙත යොමුකර ඇත. එහිදී එය කළුතර නගරයේදී වී ඇති සිද්ධියක් නිසා කළුතර පොලිසියට එය දැනුම් දෙන ලෙස බේරුවල පොලිසිය උපදෙස් දී තිබේ. සොයුරියන් දෙදෙනා පැමිණ කළුතර දකුණ පොලිසියට සිද්ධිය දැනුම් දීමෙන් පසු එම තරුණියව වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුතර නාගොඩ රෝහලට යවා තිබේ.
 
ඉන්පසු කළුතර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක සමන් වෙදගේ මහතාගේ උපදෙස් මත එම පොලිස් ස්ථානයේ අපරාධ පරීක්‍ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුනෙත් ශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (4991) රත්නසිරි සහ කාන්තා පොලිස් කොස්තාපල් (768) චාමිකා යන අය මේ කපටි පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා ජංගම දුරකථන ඇමතුම් ද පරීක්‍ෂාවට ලක්කරමින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails