Ads 468x60px

.

srilankamirror අවහිර කලාට කෝටි පහක වන්දියක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන එහෙත් මෙරට ලියාපදිංචිවී නැති වෙබ්අඩවි ලියාපදිංචි කිරීම සඳහා එම වෙබ්අඩවි පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විදුලි සංදේශ නියාමන කොමිසමට ඊයේ (02) නියෝග කළේය.එසේම දැනට අවහිර කර ඇති වෙබ්අඩවි තුළට මෙරටදී පිවිසීමට ඇති බාධා ඉවත් කිරීමේ හැකියාව පිළිබඳවද එම පරීක්‍ෂණයේදී සොයාබලන ලෙසටද නියම කෙරිණි. එම අධිකරණ නියෝගය අනුව වෙබ් අඩවි සම්බන්ධ පරීක්‍ෂණ පවත්වා ඉදිරි කටයුතු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවෙහි එකඟතාව පළකළේය.
මෙලෙස අවහිර කර ඇති වෙබ්අඩවි ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි කර ඇති නමුත් මෙරට ලියාපදිංචි කර නැති බව ඒ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

එම පරීක්‍ෂණ සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට www.srilankamirror.com වෙබ් අඩවිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් මහතා එකඟ විය.මෙරටදී සිය වෙබ්අඩවියට පිවිසීම අවහිර කිරීමට එරෙහිව www.srilankamirror.com  වෙබ්අඩවියේ හිමිකරු වන කේ. එස්. රොඩ්රිගෝ ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මේ නියෝග කළේය.ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම එහි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ආරියරත්න ඇතුගල, ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ඩබ්. බී. ගනේගල, දුරකථන සමාගම් කිහිපයක් හා නීතිපති මේ පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති.

කේ. ශ්‍රීපවන්, සත්‍යා හෙට්ටිගේ, පි‍්‍රයසාත් ඩෙප්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුමඩුල්ල ඉදිරියේ මේ පෙත්සම කැඳවිණි.මේ වෙබ් අඩවියෙහි දේශපාලන පක්‍ෂපාතීත්වයෙන් තොරව සමබර තොරතුරු, භාෂා තුනෙන්ම පළකරන බව පෙත්සම් කරු පවසයි.දිනකට තිස්දහසකට අධික පිරිසක් අදාළ වෙබ් අඩවියට පිවිසෙන බව දැක්වේ.මේ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉකුත් ජූලි මස 20 වැනිදා ලිපියක් යවමින් මේ වෙබ් අඩවිය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි කරන ලෙස පෙත්සම්කරුට දන්වා තිබේ.
එහෙත් නොවැම්බර් මස 05 වෙනිදා සිය වෙබ්අඩවියට මෙරටදී පිවිසීම අවහිර කර ඇති බව අනාවරණය කරගත් බව පෙත්සම්කරු පවසයි.

එබැවින් සිය සේවකයන්ට හෝ නොදන්වා මෙලෙස වෙබ්අඩවිය අවහිර කිරීම මූලික අයිතිවාසිකම් කඩවීමක් බව පෙත්සම්කරු පවසා සිටී.එබැවින් එම වෙබ්අඩවියට පිවිසීමට ඇති බාධා ඉවත්කරන ලෙසද සිය මූලික අයිතිවාසිකම් කඩවීම වෙනුවෙන් රුපියල් කෝටි පහක වන්දි මුදලක් ලබාදෙන ලෙසද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.මේ පෙත්සම දෙසැම්බර් මස 15 වැනිදා නැවත කැඳවීමට නියමවිය.නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ ඩී. එස්. විජේසිංහ සහ එම්. යූ. එම්. අලි සබ්රි, කාලිංග ඉන්ද්‍රතිස්ස, නීතිවේදීහු ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාද වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.
 
Related Posts with Thumbnails