Ads 468x60px

.

බුද්ධිකගේ ප්‍රකාශයට චන්ද්‍රිකා ප්‍රතිචාර දක්‌වයි

හරියාකාරව නාඳුනන විපක්‌ෂ මන්ත්‍රීවරයකු සමග ආණ්‌ඩු පෙරළන ආකාරය කතා කරන්නට තරම් තමා නුවණ නැති කෙනකු නොවන බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

ඉකුත් 16 වැනිදා "දිවයින" පුවත්පතේ "හරි නායකයෙක්‌ ඉන්නවා නම් ආණ්‌ඩුව පෙරළා එජාපය දිනවන හැටි මම කියා දෙන්නම්" මැයෙන් පළවූ ප්‍රවෘත්තිය පිළිබඳ නිවේදනයක්‌ කරමින් ඇය එසේ සඳහන් කර තිබේ. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

"ශක්‌තිමත් නායකයෙක්‌ සමග එක්‌සත් ජාතික පක්‌ෂය ඉදිරිපත් වුවහොත් වත්මන් රජය පෙරළන ආකාරය පිළිබඳව උපදෙස්‌ දෙන්නට සූදානම් යයි මා ප්‍රකාශ කළ බව මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ අඩංගු පුවතෙහි සඳහන් වේ. මෙය සම්පූර්ණ අසත්‍යයකි."

ආණ්‌ඩු හදන හෝ පෙරළන කර්තව්‍යයන්ගෙන් මා දැන් ඉවත් වී ඇත. 2010 පැවැත්වූ ජනාධිපතිවරණ සමයේ දී ආණ්‌ඩු පක්‌ෂයේ අපේක්‌ෂකයා 8 වතාවක්‌ද, විපක්‍ෂ අපේක්‌ෂකයා 5 වතාවක්‌ද, ඔවුන්ගේ මැතිවරණ සටනට උදව් කරන ලෙස මගෙන් කරන ලද ඉල්ලීම්ද මා ප්‍රතික්‌ෂේප කළේ මෙම කාරණා හේතු කොටගෙන බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

අදාළ පතිරණ මන්ත්‍රීවරයා සත්‍යයෙන් තොර මෙවැනි ප්‍රකාශ පැතිරවීම සම්බන්ධව මම කනගාටු වෙමි.

මා ඩුබායි ගුවන්තොටුපළේ දී "එමිරේට්‌ස්‌ ගුවන් සේවයේ" යානයකින් කොළඹ බලා පැමිණීමට අසුන්ගෙන සිටින විට, ඔහු මා ළඟට පැමිණ "මම බුද්ධික පතිරණ" යෑයි ස්‌වයං හඳුන්වාදීමක්‌ කර මා සමග සුහදව කතා කළේය.

මා ඔහු හමුවූ පළමුවන හෝ දෙවන වතාව මෙය විය හැක. මා ඔහුට කියා සිටියේ විපක්‌ෂයේ ප්‍රධානීන් භේද භින්න වී අභ්‍යන්තර සටන් ඇති කරගන්නවා වෙනුවට ශක්‌තිමත් විපක්‌ෂයක්‌ ලෙස ඉදිරිපත්වීම අප රටට අවශ්‍ය බවයි. අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‌ෂා කරන්න නම් ස්‌ථාවර රජයක්‌ මෙන්ම ශක්‌තිමත් විපක්‌ෂයක්‌ද අවශ්‍ය බව මම ඔහුට ප්‍රකාශ කළෙමි.

හරියාකාරව නාඳුනන විපක්‌ෂ මන්ත්‍රීවරයකු සමග ආණ්‌ඩු පෙරළන ආකාරය පිළිබඳ කතා කරන්නට තරම් මම නුවණ නැති කෙනෙක්‌ නොවෙමි.
 
Related Posts with Thumbnails