Ads 468x60px

.

ඇන්ජලාට රැකියාව අහිමි වුනේ හෂීෂ් මත්කුඩු පාර්සලය නිසාද ?

ඊයේ සිට මගේ රැකියාවත් අහිමි වුණා...
ඇයි සමාජය මේ විදිහට සලකන්නේ...

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ විදේශීය පාර්සල් අංශයට ජනප්‍රිය සිනමා නිළි ඇන්ජලා සෙනවිරත්න මහත්මියගේ නමට මත්කුඩු පාර්සල් ලැබීමේ සිද්ධිය හේතුවෙන් ඇයව රැකියාවෙන් ඉවත්කර ඇත. 

ඇය සේවය කළේ සවුදි අරාබි තානාපති කාර්යාලයේය.“මගේ නම යොදාගෙන මත් කුඩු පාර්සලයක්‌ එවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මම වැරදිකාරියක්‌ නොවුණත්, එම මඩ ප්‍රචාරයෙන් මගේ රැකියාව අහිමි වීම ගැන මට  විශාල කනගාටුවක්‌ තියනවා ” යෑයි  ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය පවසන්නීය.


” මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය පරීක්‍ෂණ පවත්වා අවසන් කිරීමටත් කලින් සමහරු මාව වැරදිකාරියක්‌ බවට නිගමනය කළා. එය මහත්සේ ප්‍රසිද්ධියට පත් වුණා. මා . ඊයේ සිට මගේ රැකියාවත් අහිමි වුණා. ඇයි සමාජය මේ විදිහට සලකන්නේ”  යෑයි ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය ශෝකයෙන් යුතුව කියා සිටින්නීය.

මේ අතර, පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය කළ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත්තේ, මධ්‍යම තැපැල් හුවමාරුව වෙත හෂීෂ් මත්කුඩු පාර්සල ලැබීමේ සිද්ධියට ඇන්ජලා සෙනෙවිරත්න මහත්මියගේ කිසිම සම්බන්ධයක්‌ නොමැති බවයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට මධ්‍යම තැපැල් හුවමාරුව වෙත හෂීෂ් මත්කුඩු පාර්සලය එවා ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා විසින් බව මේවනවිට තහවුරුවී ඇත.

මෙම බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනාගෙන් එක්‌ අයකු මේ වන විට පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර පලාගිය අනෙක්‌ බ්‍රිතාන්‍ය ජාතිකයා අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මත්ද්‍රව්‍ය නාශක අංශය කළ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා ඉන්දියාවේ නවදිල්ලි නගරයට ගොස්‌ හෂීෂ් අඩංගු පාර්සලය ඉතාම සූක්‍ෂම ලෙස සකස්‌ කර එය ඇන්ජලා සෙනෙවිරත්න මහත්මියගේ ලිපිනයට තැපැල් කර ඇති බවයි.

ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය අංක 67 හඩ්සන් පාර කොල්ලුපිටිය ලිපිනයේ පිහිටි නිවසේ පදිංචිව සිට ඇත්තේ 1992 වර්ෂයේ සිට 2002 වර්ෂය දක්‌වාය.

පසුව මෙම නිවසේ විවිධ පුද්ගලයන් වරින් වර පදිංචිව සිට ඇත. ස්‌විට්‌සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවක්‌ සිය සැමියාද සමඟ මෙම නිවසේ පදිංචිව සිටියාය.නිවාඩුවක්‌ සඳහා විදේශ ගතවීමට පෙර ඔවුන් මෙම නිවස සිය හිතවත් බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනකුට ලබාදී තිබිණි.

ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය මෙම නිවස අතහැර ගොස්‌ සිටියද ඇගේ නමට විදේශයන්හි සිට නිතරම ලිපි ලැබෙමින් තිබිණි.බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා එම ලිපිනය ප්‍රයෝජනය ගෙන හෂීෂ් ගෙන ඒමට සැලසුම් කර ඇත. ඒ අනුව ඔවුන් දෙදෙනා ඉන්දියාවට ගොස්‌ අදාළ හෂීෂ් ග්‍රෑම් 366 ක ප්‍රමාණය සඟරාවක්‌ තුළ අසුරා තැපැල් මගින් එය ඇන්ජලා සෙනෙවිරත්න මහත්මියගේ ලිපිනයට එවා ඇත.

පසුව බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනාම මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගොස්‌ ඇන්ජලා සෙනෙවිරත්න මහත්මියගේ අත්සන ව්‍යාජ ලෙස යොදා පාර්සලය ලබාගැනීමට උත්සාහ කරද්දී එය රේගු නිලධාරීන්ට හසුවී ඇත.
ඒ අවස්‌ථාවේ එක්‌ බ්‍රිතාන්‍ය ජාතිකයකු පලාගිය අතර අනෙක්‌ තැනැත්තා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම මත්කුඩු සිද්ධියට ඇන්ජලා සෙනෙවිරත්න මහත්මියගේ සම්බන්ධයක්‌ තිබෙන බවට විශාල ප්‍රචාරයක්‌ ගියද ඊට ඇගේ කිසිම සම්බන්ධයක්‌ නොමැති බව පසුව අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය ඇන්ජලා සෙනෙවිරත්න මහත්මියගෙන් ප්‍රකාශයක්‌ ද සටහන් කර ගත්තේය.
පොලිසිය කළ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම හෂීෂ් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ පාවිච්චිය සඳහා ගෙන ආ ඒවා බවයි.
 
Related Posts with Thumbnails