Ads 468x60px

.

රාජකාරියේ යෙදී සිටියදී කැබ් රථයකට බිලිවූ පොලිස්‌ නිලධාරියාගේ ඇතුල් පැත්ත

රත්තරන්.. දැන් ඔයා අම්මා කෙනෙක්‌ පරෙස්සමෙන් වැඩ කරන්න ...
කෙල්ල කාලේ වාගේ දුවන්න පනින්න එපා...
මේ ඔහුගේ අවසන් වදන් ටිකයි...

දකුණ පුරවරයේ තංගල්ල නෙටොල්පිටිය මැදගම ප්‍රදේශයේ උපන් උපුල් ජයන්ත රාජපක්‌ෂ විසිඅට හැවිරිදි තරුණ පොලිස්‌ කොස්‌තාපල්වරයෙකි. විවාහකයෙකි. දරු සුරතල් බැලීමේ දැඩි ආසාවෙන් පසුවූ අයෙකි. 

තංගල්ලේ මැදගම ප්‍රදේශයේදී මෙලොව එළියදුටු ජයන්ත රාජපක්‌ෂ උසස්‌ පෙළ දක්‌වා අධ්‍යාපනය ලබා ඇත්තේ අම්පාර උහන මහා විද්‍යාලයෙනි. වැඩිදුර අධ්‍යාපනයට ආයුබෝවන් කී හෙතෙම පොලිස්‌ සේවය රැකියාව වශයෙන් තෝරා ගත් නිහතමානි අයෙකි. 


පවුලේ දෙවැනි සාමාජිකයාය. රැකියාවට ගොස්‌ වසර හතරකට පසු විවාහ වූයේය. ඒ මොනරාගල හිදිකිවුල සුන්දර ගම්මානයේ පදිංචි සුනේත්‍රා වසන්ති කුමාරි නමැති සුන්දර කුමාරිකාවක්‌ සමගිනි.

මෙම දෙදෙනාගේ හමුවීමද සිදුවී ඇත්තේ අහම්බෙනි. සිය පොලිස්‌ මිතුරකු සමග හිදිකිවුල ප්‍රදේශයට පැමිණි දිනක සුනේත්‍රා හෙලූ සුන්දර බැල්මට වසඟ වූ ජයන්ත එතැන් පටන් ඇය සමග කුලුපගවන්නට සමත් වූයේය. වැඩිකල් යන්න මත්තෙන් මෙයට මාස නවයකට පමණ පෙර දෙමාපියන්ගේ ආශිර්වාදය ලැබ විවාහ දිවියට ඔවුහු පා තැබුවෝය. 


එම ප්‍රදේශයේම නිවසක්‌ ඉදිකිරීම ආරම්භ කළ හෙතෙම එම නිවස වහළ මට්‌ටමටම ඉදිකර තිබිණ. මේ වසර තුළදීම නිවසේ වැඩ අවසන් කර තුන්තිස්‌ පැයේ පිරිත් දේශනයක්‌ පවත්වා මහා සාංඝික දානයක්‌ පිරිනමන බව ගමට පැමිණෙන හැම මොහොතකදීම හෙතෙම නෑ හිත මිතුරන්ට මතක්‌ කළේය. 

ඉකුත් 23 වන දින සිය බිරිඳ සමග නෑ හිතමිතුරන් දැක බැලීමට ගමට පැමිණි ජයන්ත රාජපක්‌ෂ තම පොලිසියේ ස්‌ථානාධිපතිවරයාගේ දෙපා නැමද අවසර ගෙන සිංහල අලුත් අවුරුද්දට ගමට එන පුවත බිරිඳ සුනේත්‍රාගේ නළලතට අත තබා කීවේය.

එපමණක්‌ නොව ඔයා අඳින්න ආසා නිල්පාට ඇඳුම් කීපයක්‌ අලුත් අවුරුද්දට අරන් එන බවද හේ පුන පුනා කීවේය. ඉකුත් 27 වන දින ගෙදරින් කොළඹ යන්න පිටවූ හෙතෙම යළි ආපසු හැරී සුනේත්‍රා ළඟට පැමිණ සුරතින් සුරත අල්ලාගෙන දැන් දරු ගැබට මාස පහයිනේ... 


පරිස්‌සම් වෙලා ඉන්න. බර ඔසවන්න එපා. කෙල්ල කාලේ වාගේ දුවන්න පනින්න එපා... දැන් අම්මා කෙනෙක්‌ යෑයි සිතා වැඩ කරන්න රත්තරන් කියා ඔහු එදා ඇගෙන් සමුගත්තේය.

ඉකුත් 4 වැනිදා උපුල් ජයන්ත වැලිකඩ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට රථවාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටියේය. පොල් සංවර්ධන මණ්‌ඩලයට අයත් කැබ් රථයක්‌ ඔහුව යටකර ගෙන ධාවනය විය. බරපතල තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‌ෂයට පත්විය. සිත්පිත් නැති අමනුස්‌ස රියෑදුරකු නිසා තවත් වටිනා ජීවිතයක්‌ අපට අහිමි විය.

සිංහල අලුත් අවුරුද්දට ගෙදර එනවා" කී යූ. ඒ. ඒ. උපුල් ජයන්තගේ සිරුර බහාලු දෙන සිවුදෙනකුගේ කර මතින් හිදිකිවුල ගම්මානයට පැමිණියේ සැවොම වේදනාවෙන් කම්පිත කරවමිනි.


සිද්ධිය ඇසින් දුටු වෙරළබඩ පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල්දිලාන් චතුරංග,
"මම ආනන්ද රාජකරුණා මාවතේ මැද දූපත මත සිටියා. මට ආනන්ද රාජකරුණා මාවතත්, දෙමටගොඩ පැත්තත් හොඳින් පෙනුනා. මිය ගිය අය බේස්‌ලයින් පාර මැද සිටියා. පෙරවරු 7.30 ට පමණ කැබ්රථයක්‌ ආනන්ද රාජකරුණා මාවත පැත්තේ සිට පැමිණියා. 

නවතාගෙන සිටි මෝටර් රථයකට වම් පැත්තෙන් ඉස්‌සර කළා. කැබ් රථය එක්‌වරම බොරැල්ල දෙසට හරවනු ලැබුවා. බොරැල්ල දෙසට හැරවිය යුතු තීරුවෙන් බැහැර වූ මෙම කැබ් රථය වේගයෙන් ධාවනය කර රථවාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටි මියගිය පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ ශරීරයේ හප්පනු ලැබුවා."

"මෝටර් රථය නවත්වා තිබුණේ කහපාට සංඥ ලාම්පු දල්වා රතුපාට සංඥ ලාම්පුව දැල්වීමට ආසන්නයේදීය. කහපාට ලාම්පු දැල්වෙද්දී වැරදි පැත්තෙන් කැබ්රථය වේගයෙන් ඉස්‌සර කළා. මෙම කැබ් රථය පොලිස්‌ නිලධාරියාගේ ඇඟේ හැපීමෙන් පසු එම රථය නැවැත්වූවා. 


තුවාල ලත් නිලධාරියාගේ කටින් ලේ ගැලුවා. ඔහුගේ හිස ඉදිරි දකුණු ටයරය අසල තිබුණා. ඔහුට සිහිය තිබුණේ නැහැ. ඔහු සුදු අත්වැසුම්ද පැළඳ සිටියා. ඔහුව හප්පන ලද්දේ රාජකාරි කටයුතු කරමින් සිටියදීයි.

බාල සොහොයුරකු වූ චාමර අසංක රාජපක්‍ෂ,
"මිය ගොස්‌ සිටින්නේ මගේ අයියායි. ඔහු විවාහකයි. අයියා විවාහ වී සිටින අක්‌කාට බබෙක්‌ හම්බවෙන්නයි ඉන්නේ."
 
දකුණේ ඉපිද නැගෙනහිර පළාතෙන් අධ්‍යාපනය ලැබ ඌව පළාතේ මොනරාගල දිස්‌ත්‍රික්‌කයෙන් විවාහ දිවියට පිවිස බස්‌නාහිර පළාතේ දී අකල් මරණයකට ගොදුරු වූ උපුල් ජයන්ත රාජපක්‌ෂ පොලිස්‌ කොස්‌තාපල්වරයාට නිවන් සුව පතමු.
 
Related Posts with Thumbnails