Ads 468x60px

.

දෙන්නා වෙන්කරලා ජීවත් කරවන්න පිහිට වෙන්න...

මොවුන් දෙදෙනාටම පිහිටා තිබෙනුයේ එකම හෘදය වස්‌තුවක්‌...

බිලිඳියන් දෙදෙනාට ඇත්තේ එක උප්පැන්න සහතිකයක්‌...

ශ්‍රී ලංකාවේ දෙබිඩි දරු උපත් මින් පෙරද සිදුවී ඇති අයුරු අපි අසා ඇත්තෙමු. දැක ඇත්තෙමු. එහෙත් මේ දෙබිඩි දරුවන්ගේ උපත ඊට හාත්පසින්ම වෙනස්‌ වනුයේ කාරණා කිහිපයක්‌ හේතු කරගෙනය.

දරුවන් දෙදෙනකු වශයෙන් පෙනුණද මේ බිලිඳියන් දෙදෙනාට ඇත්තේ එක උප්පැන්න සහතිකයකි. එක නමකි. එසේම මේ බිලිඳියන් දෙදෙනා අනිකුත් දෙබිඩි දරුවන්ට වඩා වෙනස්‌ වන විශේෂත්වය නම් මොවුන් දෙදෙනාටම පිහිටා තිබෙනුයේ එකම හෘදය වස්‌තුවකි.


මොනරාගල මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් තඹාන ග්‍රාම නිලධාරී වසමේ මල්ගස්‌ලන්ද දුෂ්කර ගම්මානයේ පදිංචි ඩී. එම්. ගුණසේකර සහ ආර්. එම්. සුමනාවතී මවුපියන්ට දාව ඉකුත් අගෝස්‌තු 13 වැනි දින බොරැල්ල සොයිසා කාන්තා රෝහලේදී උපත ලැබූ සඳුනි නිල්මිණි දිසානායක නම් බිලිඳිය නමින් එක්‌ අයකු ලෙස පෙනුණ ද භෞතික වශයෙන් බිලිඳියන් දෙදෙනෙකි.


අනිකුත් සියලු අවයව වෙන් වෙන්ව පිහිටා තිබුණ ද අවාසනාවකට මෙන් මේ සිඟිත්තියන් දෙදෙනාටම තිබෙනුයේ එකම හදවතකි.

ඒ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරන එම බිලිඳියන්ගේ පියා වන ඩී. එම්. ගුණසේකර මහතා පවසන්නේ මෙවැනි අදහසකි. අපට තව වැඩිමහල් දරුවෝ දෙදෙනෙක්‌ සිටිනවා. ඔවුන් දෙදෙනාත් දියණියෝ. ඉරේෂා ලක්‌මාලි සහ ජයනි තරංගා තඹාන පාසලේ ඉගෙන ගන්නවා. දැන් ඉපදිලා ඉන්නෙත් දියණියන් දෙදෙනෙක්‌.

ඒත් අපිට ඔවුන් එක්‌ දරුවෙක්‌ ලෙස සලකන්නයි උපදෙස්‌ ලැබුණේ. මේ දෙන්නාටම එක උප්පැන්න සහතිකයයි, එකම නමයි තියෙන්නේ. ඒ වගේම දෙදෙනාටම එකම හෘදය වස්‌තුවක්‌ තමයි පිහිටලා තියෙන්නේ. අපි දරුවෝ ලැබෙන්න කලින් මොනරාගල මහ රෝහලට සායන සඳහා ගියා. එහිදී වෛද්‍යවරුන්ගෙන් දැනගන්න ලැබුණා දරුවන් දෙදෙනෙක්‌ සිටින බව. ඒත් දෙබිඩි දරු උපතක්‌ සිදු විය හැකි බවද පැවසුවා. වෛද්‍ය උපදෙස්‌ අනුව දරුවන් ලැබෙන්න සොයිසා කාන්තා රෝහලට ඇතුළු වුණා. අගෝස්‌තු 13 දා සිසේරියන් සැත්කමකින් තමයි දරුවන් මෙලොවට බිහි වුණේ.

අපිට අවශ්‍ය වුණේ මේ දරුවන් දෙදෙනා දෙදෙනෙක්‌ විදියට මේ ලෝකේ ජීවත් වෙනවා දකින්න. නමුත් වෛද්‍ය උපදෙස්‌වලින් කියෑවුණේ අනෙකුත් අවයව වෙන්වෙන්ව වර්ධනය වුණත් හෘදය වස්‌තුව කවදාවත් වෙනස්‌ විය නොහැකි බව.

කොහොම වුණත් අපේ උත්සාහය මේ දරුවන් පිටරටකට යවල හරි දෙදෙනෙක්‌ විදියකට සනීප කරගන්න. පැය 24 පුරාම දරුවන් ළඟට වෙලා කවුරු හරි ඉන්න ඕනි සැරින් සැරේ දෙපැත්තට හරවන්න. මවුකිරි දෙන්න අපහසුයි. දරුවෝ දෙදෙනා පිහිටලා සිටින ආකාරය අනුව. ඒ නිසා බෝතලයෙන් තමයි කිරි පොවන්නේ. 





කොහොම වුණත් අපේ ආර්ථිකයත් එක්‌ක මේ දේ කරගන්න අපට හයියක්‌, ශක්‌තියක්‌ නැහැ. ගොවිතැන් කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා මේ දරුවන් දෙදෙනා ජීවත් කරවන්න, ඒ වගේම ලෝකයේ කොහේ හෝ රටකට යවලා සුවපත් කරගන්න තමයි අපේ එකම බලාපොරොත්තුව.

මේ අසරණ පවුලට සහ බිලිඳියන් දෙදෙනාට උපකාර කළ හැකි සංවේදී පරිත්‍යාගශීලී හදවත් ඇති ඔබට අපි ආරාධනය කරන්නෙමු.
 
Related Posts with Thumbnails