Ads 468x60px

.

ආචාර්ය පදවිය ගැන අද මට ලැජ්ජයි - මර්වින්

මම මාළුවෙක් නෙවෙයි. කතා කරන ඔයා මාළුවෙක් වෙන්න පුළුවන්...

මාධ්‍යයත් එක්ක මගේ කිසිම අරෝවක් නැහැ...

මම මේ වට කැලෑ පත්තර කියන්නේ.... කවුද කිව්වෙ?.... කොහේදිද කිව්වෙ?... 


විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අරඹා තිබෙන වර්ජනය කිසිසේත් සාධාරණ ක්‍රියාමාර්ගයක් නොවන බව සඳහන් කරන ආචාර්ය මර්වින් සිල්වා නම්‍යශීලිව ක්‍රියාකර එකඟතාවට එන ලෙසත් දේශපාලන පක්ෂවල අතකොලු බවට පත් නොවන ලෙසත් පවසනවා. 

එයට අමතරව මාධ්‍යයේ හැසිරීම ගැන හා කාලීන දේශපාලන ප්‍රශ්න ගැන ඔහු මෙසේ අදහස් දැක්වූවා.

ඔබ සම්බන්ධ කරගෙන නැවත වරක් මාධ්‍යවල පුවත් පළවෙනවා. අලුත් කතාවට අනුව ඔබ පුවත්පතකට තර්ජනය කළ බව කියනවා. මේ අරෝවට හේතුව මොකක්ද?


මාධ්‍යයත් එක්ක මගේ කිසිම අරෝවක් නැහැ. මම මාධ්‍යවල මිතුරෙක්. මගේ පොටෝ එකයි, මම ගැන විස්තරයි මිනිස්සු බලන්න කැමතියි. ඒ විත්තිය පුවත්පත්වල අයිතිකාරයෝ, පත්තරවලට ලියන මහත්තුරු, නෝනල දන්නව. ඉතින් ඒක නිසා මම ගැන දාන එකෙන් ඒ අයටත් කිසියම් උදව්වක් වෙනවා. මිනිස්සු පත්තර වැඩියෙන් බලනවට ටී.වී.වැඩියෙන් බලනවට මම විරුද්ධ නැහැ.


ඔබ ගැන මාධ්‍යවල තොරතුරු පළවෙන්නේ ඔබ යම් යම් සිදුවීම්වලට මුල්වෙන නිසා නෙවෙයිද?
චිත්තරපටයක් වුණත්, ටෙලි ඩ්‍රාමා එකක් වුණත් බලන්න කලින් මිනිස්සු හොයනවා රඟපාන නළුවෝ කවුද කියලා. නළුවා හොඳනම් චිත්තරපටය කන්ටිනිව් කරනවා. මම ගැනත් දිගින් දිගටම විස්තර යන්නෙ මම හොඳ නිසා වෙන්න ඇති. මම ඒක මෙහෙම පැහැදිලි කරන්නම්. ඉස්සර ගාමිණී -මාලනී, විජය-ගීතා වගේ හොඳ නළුනිළියෝ හිටියා.

මුලින්ම මිනිස්සු චිත්තරපටය බලන්න එන්නේ නමටනේ. ෆිල්ම් එක බැලුවට පස්සෙන් පහු හොඳ නරක පෙනෙන්න ගන්නවා. සමහර පත්තර මගේ පොටෝ එක අලි ලොකුවට දානවා. කියවලා බැලුවම ඕවයේ ඇති දෙයක් නැහැ. පත්තරයක නම ගෞරවනීය දෙයක්නේ. සමහර පත්තර ඒක ඇතුලෙත් හෙඩින් දාලා පුවත්පත් කලාවම පහතට දානවනේ.


ඔබ කියන්නේ පුවත් පත් සිදුවීම් නිර්මාණය කරනව කියලද?

පත්තරවලට හැමදාම සිදුවීම් වුවමනායිනේ. දැන් යුද්දෙත් නැති නිසා මාධ්‍යට ප්‍රවෘත්ති හිඟයක් තියෙනවනේ. ඉතින් සමහර පත්තර අතේ රෝල් ගොතනවා. දැන් ඔය සිද්ධිය හොඳට බලන්න. මොකක්දෝ කැලෑ පත්තරයක් කියනව මම ඒ අයට තර්ජනය කළයි කියලා. අඩු ගානේ බොරුවක් ගොතන කොට ඒකවත් සවිස්තරාත්මකව ලියන්න එපායැ. හෙඩිමයි පින්තූරයයි අතහැරපුවහම මේ ප්‍රවෘත්තියෙ වෙන මොනවත් නැහැනේ.

මේ පත්තරවලට ඔබ කැලෑ පත්තර කියන්නේ ඔවුන් ඔබට විරුද්ධව ප්‍රවෘත්ති පළ කරන නිසාද?

මම මුලින්ම කිව්වනේ මට විරුද්ධව ප්‍රවෘත්ති දාලා පත්තර විකුණ ගත්තට මගේ කිසිම අහිතක් නැහැයි කියලා. ඒ මිනිස්සුත් ජීවත් වෙන්න වුවමනායි. මම මේ වට කැලෑ පත්තර කියන්නේ.... කවුද කිව්වෙ?....කොහේදිද කිව්වෙ?... මොනවද කිව්වෙ වගේ විස්තර පළ කළ යුතුයිනේ. නමක්, ගමක්, අගක්, මුලක් නැතිව හිතුණ හිතුණ දේවල් ලියන එකට ගමේ බාසාවෙන් කියන්නේ කැලෑ පත්තර ගහනව කියලයි. මේ විදිහට වඳවීගෙන යන පත්තර ටිකක් ලංකාවේ තිබෙනවා. ඒවා පත්තර සීයයි ගහන්නේ.

ඔය මොනව කිව්වත් මේ තැනට ඔබව ගෙනාවේ මාධ්‍ය නෙමෙයිද? මාළුවට ජලය නැතිව බැහැ වගේ ඔබටත් මාධ්‍ය නැතිව බැහැ නේද?

එහෙම දෙයක් මට නැහැ. මම මාළුවෙක් නෙවෙයි. කතා කරන ඔයා මාළුවෙක් වෙන්න පුළුවන්. මම මනුෂ්‍යයෙක්.

මාළුවා කියන්නේ උදාහරණයක්? වෙනත් දෙයක් කියන්නයි ඒ උදාහරණය ගත්තේ?

ඒක මට අදාළ උදාහරණයක් නෙමෙයි. ඒ උදාහරණය මම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේ නිදසුන් මා සම්බන්ධයෙන් යොදන්න එපා. මාළු ගණයට ඔයා වැටෙයි.

මම ඔබෙන් අහන්නේ....?

ඒ වගේ උදාහරණ උපහැරණ දෙන්න වෙන නෝංජල් මිනිස්සුන්ට මම ඒවට කැමති නැහැ.

ඔබට මෙතැනට එන්න මාධ්‍ය උදව් කළේ නැත්ද?

මම ගමෙන් ආපු මනුස්සයෙක්. මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ කරලා තිබෙනවා. ඒ හැම තැනකම මිනිස්සු මට කැමතියි. පත්තරවලින් මට ජනප්‍රියත්වයක් ලැබුණේ නැහැ. මට මෙතැනට එන්න උදව් කළේ ජනතාවයි. මමත් මිනිස්සුන්ට උදව් කරනවා. මම යන යන තැන්වලට මිනිස්සු එනවා. ඒකනේ මාධ්‍යයෙන් මා කරන කියන දේවලට ප්‍රචාරයක් දෙන්නේ.

ඔබට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දෙ කරලා ලබා ගන්න බැරි වූ ජනප්‍රියත්වය පසුව ගම්පහින් ලැබුණේ මාධ්‍ය නිසා නෙමෙයි නේද?

ජනතාව මට පළමුවැනි. මාධ්‍ය දෙවෙනි. ස්වර්ණවාහිනියෙන් ප්‍රචාරය වූ ‘මෙගා ස්ටාර්’ වැඩසටහන නිසා මට ලොකු ප්‍රචාරයක් ලැබුණා. මම ඒ වැඩසටහනට ගියේ නොමිලේ. සිරස ඒ කාලේ මට දොස් කිව්වා. දැන් නම් එහෙම කියන්නේ නැහැ. ඒකෙන් මට ප්‍රචාරයක් ලැබුණා.

ඒකාලේ ඔබව විවේචනය කළ මාධ්‍ය දැන් ඔබට හොඳ ද?

මාධ්‍යයේ සිරිතක් තිබෙනවා. දේශපාලඥයන් හැටියට අපි එය දැන ගතයුතුයි. ඔවුන් අපිව කාලෙක විවේචනය කරනවා. ඒක ඉවර වුණහම ආරංචි මාර්ගවලින් නිවැරැදි තත්ත්වය දැන ගත්තයින් පසු වර්ණනා කරනවා. මම ඔය දෙකින් එකකටවත් සැලෙන්නේ නැහැ. සන්තෝෂයෙන් පිළිගන්නවා. 


එහෙම නැතිව දේශපාලනය කරන්න බැහැ. මේක තේරුම් ගන්න ටිකක් කල් යනවා. ‍දේශපාලකයන් වගේම මාධ්‍යයත් එය තේරුම් ගත යුතුයි. ඔවුන්ට රටේ දියුණුවට හොඳ සේවයක් කරන්න පුළුවන්. යුද්ධය තිබුණ කාලේ ඔවුන් හොඳ සේවයක් කළා. මම එයට ගරු කරනවා.

එතකොට ඔබ අර කාටද කිව්වා බළලගෙයි මීයගෙයි කතාවට මොකද වෙන්නෙ?

ඒක මෙහෙමනේ මනුස්සයො අතරත් ඉන්නවනෙ තිරිසන් වැඩ කරන අය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනය සඳහා වෙන් කරන්න කියලා වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ආණ්ඩුව ඔවුන් සමඟ සාකච්ඡා නොකරන්නේ ඇයි ?

කතා කරන්න නම් එදිරිවාදිකම් නවත්වන්න එපැයි. 6%ක කතාවක් ඉස්සරහට දාගත්තට ආචාර්යවරුන් කෑගහන්නේ ඔවුන්ගේ පඩිය වැඩි කරන්න කියලනේ. ඕක කෙලින් කියන්න නිකම් ලැජ්ජයි ලැජ්ජයි වගේ නිසානේ 6%ක කතාවක් ඉස්සරහට දාගෙන එන්නේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැමෝම වර්ජන ක්‍රියාමාර්ගයේ නැහැ. 


ටික දෙනෙක් සියයක් විතර බංකොලොත් වෙච්ච පක්ෂ ඉස්සරහට දාගෙන අසරණ ළමයින්ට උගන්වන්නේ නැතිව පාරේ ඉබාගාතේ පා ගමන් යනවා. මේ ඇදුරො කරන වැඩ දැක්කම මටත් දැන් ආචාර්ය පට්ටම පාවිච්චි කරන්න ලැජ්ජයි. මාස තුනක් ගියා. අපි මාස නවයක් යන තෙක් බලාගෙන ඉන්නවා ලැබෙන ළමයා කොයි වගේද කියලා බලන්න. ඊට පස්සෙ බලමු ළමයා අංගවිකල ද නැත්නම් ගබ්සා වෙයිද කියලා.

දැනුම් ආර්ථිකයක් ගොඩනැඟීම ආණ්ඩුවෙ මූලික පරමාර්ථයක්. අධ්‍යාපනය වෙනුවෙන් කරන වියදම අඩුකර එම ඉලක්කයට ළඟාවෙන්නේ කොහොමද?

මේ රජය රාජ්‍ය සතු සම්පත් රැක ගැනීමට කැපවෙනවා. ඒ නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල ආරක්‍ෂා කිරීම ගැන හෝ නිදහස් අධ්‍යාපනය රැකගැනීම ගැන කවුරුවත් අපිට කියා දිය යුතු නැහැ. ආචාර්යවරුන්ගේ සංගමයේ ක්‍රියාකාරී කමිටුවෙ ඉන්නෙ පැටලුන මනසක් තියෙන අය. සමහරු සමලිංගිකත්වය ඕනෑ කියනවා. තවත් අය ඊළාම්වාදීන්. සමහරු මස් පිඬු පෙන්නන්න දඟලනවා. 


ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙ තැන්පත්කම නැහැ. මම හිතන්නේ මේ අයගෙ ෆියුස් ගිහිල්ලා. වයරින් එකේ පොඩි දෝෂයක් වෙන්න ඇති. ඔක්කොම ගැන නෙවෙයි සමහරු ගැන මම කියන්නේ. ඒකට අපිට උදව් කරන්න විදිහක් නැහැ. ගිය ෆිවුස් එක දාගන්න වෙන්නෙ ඒගොල්ලන්ටමයි.

“ලබන ආත්මෙ ඇමති පුතෙක් වෙන්න එපා” කියලා ඔබේ පුතා කියලා තිබුණා. ඒ කියමනට ඔබ එකඟ ද?

මම නම් එහෙම කියන්නෙ නැහැ. මට පිනක් තියෙනව නම්, මගේ දක්‍ෂකම් තියෙනව නම් ඉපදෙන ආත්මයක් පාසා රටේ ඉහළ තැන්වලට යයි.

ඇමති පුතුන්ට විශේෂ වරප්‍රසාද ලැබෙනව නේද?

ඇමති පුතාලට දුවලට වෙනම දීමනා ලැබෙන්නේ නැහැනේ. එගොල්ලො හම්බ කරගන්න දේවල් ඒ අය වියදම් කර ගනී. හැබැයි ඉතින් දේශපාලන විරුද්ධවාදීන් හැදෙන එක නම් කොහොම කළත් වළක්වන්න බැහැ.

ඔය කතා ඇරුණහම ඔබේ අමාත්‍යාංශයෙන් කෙරෙන වැඩ පේන්නෙ නැහැනේ?

මට ලැබිලා තිබෙන අමාත්‍යංශය නිසා ඕන තැනක, ඕන වෙලාවක, ඕන ප්‍රශ්නයක් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්. ඒත් මම ඒ වැඩ ගැන කිය කිය යන්නේ නැහැ. දැන් සජිත් ප්‍රේමදාස පන්සලකට රු. 50,000 ක් දීලා ඒක ලොකුවට ප්‍රචාරය කරනවා. මම එක පන්සලකට පමණක් කෝටි ගණනින් උදව් කරලා තිබෙනවා. 


ඒවා මම කියන්නේ නැහැ. දුප්පත් මිනිස්සුන්ට අනන්ත උදව් කරලා යනවා. මේ ඔක්තෝම්බර් 16 වෙනිදට දිගම්පතන කඳවුරේ නාවික සොල්දාදුවන් 106 දෙනා දිවි පුදලා වසර හයක් වෙනවා. මම එදාට ලංකාවෙ නොහිටියත් ඔවුන් වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක් පවත්වන්න කටයුතු යොදලා තිබෙනවා. ඒවා අපි කිය කිය යන්නේ නැහැ.
 
Related Posts with Thumbnails