Ads 468x60px

.

ලෝක විනාශය ගැන කියන මායාවරුන් සොයා ගියෙමි.

දෙදහස් දොළහ වසරේ දී සිදුවන ලෝක විනාශයක් පිළිබඳව අනාවැකිය සඳහන් වෙන්නේ මායා සහ ඉන්කාවරුන්ට අයත් දින දර්ශනයකයි. 

එය ලොව පුරා ආන්දෝලනයක් ඇති කරනවා සේම එම සංකල්පයට පක්ෂ විපක්ෂ අදහස් ද ප්‍රචලිතව තිබේ. ඒ කෙසේ වෙනත් මායා දින  දසුනේ සඳහන් දිනයටම විශ්වයේ ග්‍රහලෝක වල යම් සුවිශේෂි පිහිටීමක් සිදුවේ.

එය තාරකා විද්‍යාඥයින්ද පිළිගන්නා දෙයකි. එසේ වුවද ලෝක විනාශයක් සිදුවීම පිළිබඳව ඔවුහු නොඅදහති. එනමුත් ලෝක විනාශය අදහන අය  එම විද්‍යාත්මක සිදුවීමද තම මතය තහවුරු කර ගැනීම සඳහා උපයෝගි කොටගෙන තිබේ. 

මෙම අදහස ජන සමාජයට යම් බලපෑමක් කර තිබෙන නිසා ඇමෙරිකාව විසින් මෑතක ප්‍රකාශ කරන ලද්දේ, පුරාවිද්‍යාඥයින් විසින් තවත් මායාවරුන්ගේ දින දර්ශනයක් සොයාගෙන ඇති බවත් එහි ලෝක විනාශයක් පෙන්නුම් නොකරන බවත්, තව දිගුකලක් ලෝකය ඉදිරියට පවතින බවක් එහි පෙනුම් කර ඇති බවත්ය.



මෙම ආන්දෝලනාත්මක සංකල්පයේ35-1 අයිතිකරුවන් වන්නේ මායා සහ ඉන්කාවරුය. මායා හා ඉන්කා  ජනතාව ජීවත් වන්නේ ඇමෙරිකානු මහද්වීපයේ වන අතර ඔවුන්ගේ සංස්කෘතියේ ස්වර්ණමය භූමීන් පිහිටා තිබෙන්නේ දකුණු ඇමෙරිකාවේය. එහි කේන්ද්‍රස්ථාන වූයේ වත්මන් මෙක්සිකෝව සහ පේරු රාජ්‍යයන්ය.

මෙයින් දශක කීපයකට පෙර අප මේ ස්වදේශික ඇමෙරිකානුවන් වූ (රතු ඉන්දියානු) ජනතාව ගැන ලෝකය දැනගෙන සිටියේ, හරිහැටි ඇඳුමක් පැළඳුමක් නැති, කිසිම තාක්ෂණික  දියුණුවක් ලබා නැති, මිනිසුන් මරා බිලිපූජා පවත්වන ඉතාමත්ම ම්‍ලේච්ඡ ජනවර්ගයක් ලෙසය. 

ඒත් අද තත්ත්වය එය නොවේ. අද ඔවුන් ගැන කතා කරන්නේ පිටසක්වල ජීවීන් සමග සබඳතා පැවැත් වූ  ඉතාමත් දියුණු දැනුමක්  සහ තාක්ෂණයක් තිබුණ විස්මිත නිර්මාණ කරන ලද ජනතාවක් ලෙසය. 

මේ වන විට ඔවුනගේ නිර්මාණයක් ලෝකයේ පුදුම හතෙන් එකක් බවට පත්ව ඇති අතර එය එම ස්ථානය හිමිකරගත්තේ රෝමයේ කොලෝසියම් ගොඩ නැගිල්ල පසෙකට තල්ලු කරමිනි. මායාවරුන්ගේ ගොඩනැගිල්ලක් එලෙස ලෝක පුදුමයක් වෙද්දී ඔවුන්ගේ මතවාදයක් ලෝකය හොල්ලන සංකල්පයක් බවට පත්ව තිබේ.

මායාවරු පිළිබඳ මගේ අවධානය යොමුවූයේ කලෙකට පෙර ජන කතා සහ ගෝත්‍රික  ජනයා ගැන කියවද්දීය. 

සමහරවිට පාසල් අවදියේ සිටම ඒ 35-2පිළිබඳව යම් දැනුමක් තිබුණා  විය යුතුය. කෙසේ වෙතත් මේ සංස්කෘතියට මා වඩාත් ළබැදුනේ සියැටෙල් නම් ඇස්ටෙක් ජාතිකයා (රතු ඉන්දියානුවා) ගේ සුප්‍රකට ලිපිය නිසාවෙනි. 

එම නිසාම ඔවුන් ගේ චින්තනය පිළිබඳව හැදෑරීමකට යොමු වූ නිසා ඔවුන් පිළිබඳව සෑහෙන අවබෝධයක් ලබාගත හැකි විය. ඒ අතර මගේ අවධානය ඇදගත් තැනක් වූයේ මායාවරුන්ගේ චීචන් ඉට්සා නමින් හඳුන්වන ගොඩනැගිල්ල සහ එහි ඓතිහාසික නටබුන් නගරයයි. මෑතක පුදුම හතතෙන් එකක් බවට පත් වූයේ මෙක්සිකෝවේ කැන්කූන් නගරයට ආසන්නව පිහිටා තිබෙන මෙම නිර්මාණයි.

චිචන් ඉට්සා එහි ප්‍රධාන පිරමීඩයට අමතරව තවත් සුවිසල් ගොඩනැගිලි රැසක් සහිතව සුවිසල් නගරයක් වන අතර අනුරපුර හෝ ‍පොළොන්නරු පැරණි නගරවල වපසරිය සමග සසදද්දී මේ නගරය ඒවාට කිසිසේත් දවෛනි නොවේ. එය එතරම් ම සුවිසල් නගරයකි. අපේ නගර දෙක කළුගල් සහ ගඩොල් දෙකම උපයෝගිකරගත් ඉදිකිරීමක් වෙද්දී මායාවරුන්ගේ නගරය සම්පූර්ණයෙන්ම කළුගල් නිර්මාණයකි.

චිචන් ඉට්සා නගරය මගේ හිත ඇදගත්තේ මේ සමානකම් නිසා නොවේ. එහි ඊට වඩා වූ සබැඳියාවක් ද තිබේ. ලෝකගෝලය තුළ අනුරාධපුරයට සම්පූර්ණයෙන්ම අනෙක් පස නැතිනම් ප්‍රතිවිරුද්ධ පැත්තේ චීවන් ඉට්සා නගරය පිහිටා තිබේ. 

නිවැරදිව කාලය ගණනය කරද්දී  මේ නගර දෙකේ සූර්ය උදාවේ පරතරය හරියටම පැය 12 කි. අනුරාධපුරයට සඳුදා දහවල් මධ්‍යහ්නය වෙද්දී චිචන් ඉට්සාවට ඉරුදින මැදියම උදාවේ. 

එහි ඇති තවත් සුවිශේෂිත්වයක් වන්නේ අනුරාධපුර නගරයේ ප්‍රධාන ස්ථූප තුනට සමාන්තරව චිවන් ඉට්සා හි ප්‍රධාන ගොඩනැගිලි තුන පිහිටා තිබිමයි. මේ පිළිබඳව පර්යේෂණ කරන විද්වත්හු පවසන්නේ සංස්කෘති දෙකම සතුව පැවැති නක්ෂාස්ත්‍රය ගැන තිබූ නිවැරදි දැනුම නිසාත් එම දැනුමට අනුව ගොඩනැගිලි ස්ථාපිත කළ නිසාත් මේ සමානකම ඇති වූ බවයි.

චිචන් ඉට්සා නගරයේ සිට බටහිරින් තවත් එවැනිම නගරයක් වන උක්ෂමාල් පිහිටා තිබෙන අතර එය මුල් නගරයට වඩා සුවිසල් නිර්මාණයකි. 35-3මෙවන් නිර්මාණ රැසක් දකුණු ඇමෙරිකාව තුළ පිහිටා  තිබේ. 

ඒත් චිවන් ඉට්සා නගරයේ පිහිටි පිරිමීඩය වැඩි අවධානයක් දිනාගත්තේ එහි තිබෙන වාස්තු විද්‍යාත්මක ලක්ෂණයන්හි ඇති සුවිශේෂී ගුණය සහ එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ දී ග්‍රහයන්ගේ  සහ විශ්වයේ පිහිටීම තේරුම ගෙන ඉදිකර තිබෙන නිසාත්ය. 

මෙම ගොඩනැගිල්‍ලේ පඩිපේළි සහ මාලකවල ඇති වන සෙවණැලි අනුව දින හා සෘතු ගණනය කිරීමේ හැකියා තිබිණි. පිරමීඩයේ ඉහළට ගමන් කිරීම සඳහා සිවුදිසාවෙන් ඉදිකර තිබෙන පඩිපෙළ  හතරෙන් තුනකට පඩි 365 බැගින් වේ. එකක් 366 ක් වේ. එය වසරක දින ගණනට සමවන අතර අධික අවුරුද්ද ප්‍රකාශ කෙරේ.

චීචන් ඉට්සා නගරය බිහිවීමේ ජලමූලාශ්‍රය වන්නේ භුගත ගංගාවක අවකාශයට විවර වූ ළිඳක හැඩය ගත් ජලාසයයි. චිචන් ඉට්සා  යන නමේ අරුත ද චිචන් (දේවත්වයෙන් අදහන පැරණි පාලක හවුලක්) දෙවියන්ගේ ළිංකට යන්නයි. පැරණි නගරය අවට ප්‍රදේශය අද සුවිසල් වනාන්තරයක් වූද එය අතීතයේ විශාල ජනගහනයක් විසූ මහ ජනපදයන්ගෙන් සමන්විත විය. 

ලංකාවට සමාන කාලගුණික හා දේශගුණික තත්ත්වයක්  තිබෙන මෙහි පරිසරය සැමතින්ම අපේ රජරට සමය. අද අපේ රටේ වැවෙන භවබෝග රැසක මුල් අයිතිකරුවෝ මේ මායා සහ ඉන්කාවරුය. ඒ අතර බඩ ඉරිඟු , බතල, මඤ්ඤාෙක්කා, ජාතික ආහාරයක් බවට පත් වූ මිරිස් ද වේ. ජාතික ආර්ථිකයේ කොටස්කරුවෙකු වන රබර් ගස ද ඔවුන්ගේය. 

මෙම ගස්වැල් සංක්‍රමණය යටත්විජිත යුගයේ සිදු වූ අතර අපේ ගස් රැසක්ම  මෙක්සිකෝවට ගොස් තිබේ. ‍පොල් ගසත් කිතුල් ගසත් තිබෙනවා සේම කොස්ගස අඹගසද ගෙවතුවට ආවේණිකව තිබෙන්නේ ලංකාවේ ගෙවතු සිහියට නගමින්ය. 

අපි අපේ ගෙවතුවල වැවෙන ගස්වැල් මායාවරුන්ගේ කියා නොදන්නවා සේම ඔවුන් ද තමන්ගේ ගෙවත්තේ වැවෙන ගහකොළ මුල් උරුම කරුවෝ සිංහලයන්ගේ කියා නොදනිති.

චිචන් ඉට්සා නගරය බිඳ වැටුනේ ස්පාඤ්ඤ ආක්‍රමණය නිසාවෙනි. බටහිර ජාතිකයින්  මෙක්සිකෝවට පැමිණෙද්දී, ඔවුන් දැක තිබූ ලෝකයේ සුවිසල්ම නගරය චිචන් ඉට්සා සිට කි.මී. ගණනාවක් බටහිරින් පිහිටි මෙක්සිකෝ (පැරණි) නගරයයි. ඔවුන් ට මේ නගරවල බලය අල්ලා ගැනීමට දීර්ඝ සටනක යෙදෙන්නට සිදුවිය. 

කෙසේ වෙතත් බටහිර ධවලයන්ගේ කයිරාටික දේශපාලන සහ යුද උපායන් හමුවේ ලොව සෙසු ජනතාවට අත් වූ ඉරණමම මායාවරුන්ටත් හිමි විය. සමහර විට එහි විපාක දරුණු ආකාරයෙන්ම වින්දේ ඔවුන් ද විය හැකිය. 

චිචන් ඉට්සා නගරය ද පළමු ස්පාඤ්ඤ 35-4ආක්‍රමණයට සාර්ථකව මුහුණ දුන්නේය. මුහුදු බලයේ දී ස්පාඤ්ඤයින් ශක්තිමත්  වූ නිසා මායාවරුන්ට මුහුදුබඩ සුරක්ෂිතව තබාගත නොහැකි විය. 

ආක්‍රමණික ස්පාඤ්ඤ ජාතිකයින් ලබාගත් ලොකුම ජයග්‍රහණය මායාවරුන්ගෙන් කොටසක් දිනා ගැනීමත් එම ස්වදේශිකයන්ගෙන් හමුදාවක් සකසා ගැනීමට සමත්වීමත්ය. 

මුහුද සහ ගොඩබිම් මාර්ග අවහිර කර තබා නගරය ආර්ථිකව ඇද දැමූ පසු ස්පාඤ්ඤයින්ට ඉතාම පහසුවෙන් නගරය යටත් කර විනාශ කර දැමිය හැකි විය.

පසුකලෙක විශාල වශයෙන් ස්පාඤ්ඤ ජාතිකයින් මෙහි පදිංචි වූ අතර මැරිඩා වැනි ස්පාඤ්ඤ නගර බිහි විය. ඊළඟට සිදු වූයේ සුපුරුදු ආගමික ආක්‍රමණයයි. එහි ප්‍රතිඵලය වූයේ මායාවරුන් ක්‍රිස්තියානි ආගම් අදහන්නන් බවට පත්වීමයි. ඔවුන්ගේ සාම්ප්‍රදායික දෙවිවරු සහ දැනුම යක්ෂයාගේ දේවල්  ලෙස නම් කරන ලදී. එහි දී සිදු වූ බරපතළම හානිය සිදුවූයේ මායාවරුන් සතුව තිබූ දැනුමටයි. 

ඔවුන් ගේ අති විශාල ග්‍රන්ථ ප්‍රමාණයක් පුළුස්සා දමන ලද්දේ මායා ජාතික උගතුන්ගේ දූ දරුවන් බෞතීස්ම කරන අවස්ථාවේය. එකල මෙක්සිකෝවේ පිහිටි ස්පාඤ්ඤ  පූජකවරුන් තමන්ගේ ලොකුම දේවමෙහෙවර හැටියට දැක්කේ මේ ‍පොත්පත් පුළුස්සා දැමීමයි. එසේ විනාශ වූ දැනුම අතර වැදගත්ම දැනුම වන්නේ මායාවරුන්ගේ වෛද්‍ය සාහිත්‍යයි.

ප්‍රංශයේ කෞතුකාගාරයකට මේ ‍පොත් පත් අතරින් කොටසක් ගියේ ඇන්ටික් බඩු මේනියාව නිසාය. කෙසේ හෝ එහි එයින් යම් ප්‍රමාණයක් රැකිනි. එහෙත් මේ අකුරු  කියවීමේ  හා ලිවීමේ හැකියාව මායාවරුන්ගෙන් ගිලිහිනි. 

ඒ සමග මේ රැකුන ‍පොත්පත්ද ගොලුබවට පත්විය. වත්මන් පුරා විද්‍යාඥයින් යම් පරිශ්‍රමයක් දරා නැවත මේ ග්‍රන්ථ කියවීමට පටන්ගෙන තිබේ. ඒ පුරා විද්‍යාඥයින් අද කතා කරන්නේ මායාවරුන්ගේ ගුවන් යානා තාක්ෂණය පිළිබඳවයි.

චිචන් ඉට්සා පිළිබඳව මගේ සිහිනය සැබෑවක් වූයේ ඇමෙරිකාවේ වසන සතීන්ද්‍රිය හිමියන්ගේ නිසාමය. ඒ ගමනට අප හා එක් වූ ධම්මරතන හිමියන්ටද එහි කොටසක් හිමි ය. මේ නටබුන්  නගරයේ  රුක්සෙවණක සිටිද්දී මගේ සිහියට ආවේ කැප්පෙටි‍පොලලා, පුරන් අප්පුලා ගේ හිස සිඳී ගියත් ඔවුන් දැය රැක්කා නොවේද, යන්නත් මොහොට්ටි වත්තේ ගුණානන්ද හිමි සහ ධර්මපාලතුමන්ගේ කඨොර  වදන් මොනතරම් මියුරුද යන්නත්ය. 

මෙලිපිය අවසන් කරන්නට පෙර මේ සටහන තබමි. වරෙක සුදු මිනිසෙකුට මායාවරයෙකු හමු විය. එම අවස්ථාවේ සුදු මිනිසා තමන්ගේ අතේ තිබූ යෂ්ඨියෙන්  වැල්‍ලේ ‍පොඩිරවුමක ඇද පෙන්වා මායාවරයාට කිව්වා, මේ තමා රතු මිනිසාගේ දැනුමෙ තරම. 

මායා ජාතිකයා කිව්වා වෙන්න පුළුවන් කියලා. නැවතත් සුදු මිනිසා මුල් රවුමත් ඇතුල් වන පරිදි විශාල රවුමක් ඇඳලා කිව්වා මෙ තමා සුදු මිනිසාගේ දැනුම කියලා. එවිට මායා ජාතිකයා සුදුමිනිසාට කිව්වා වෙන්න ඇති. ඒත් අමතක කරන්න එපා ඔය  රවුමෙන් පිට තියන අසීමිත ප්‍රමාණය සමානයි අපි දෙන්නම  නොදන්නා ප්‍රමාණයට කියලා.

2012 දෙසැම්බර් 21 වැනි දින ලෝක විනාශය වෙනවා කියූ දිනයට තව සති 10 යි...

 
Related Posts with Thumbnails