Ads 468x60px

.

රියැදුරනි සීරුවෙන් ට්‍රැෆික් සුද්දා ඉදිරියෙන්...

ග්‍රෑන්ඩ්පාස් ‍පොලිස් නිලධාරීන් සමග  වාහන හසුරුවන සුනඛ හිතවතා සුද්දා...

කොළඹ ඉඟුරු කඩේ හන්දිය ‍පොලිසියේ ට්‍රැෆික් රාළහාමිලාට කාර්යබහුල තැනකි. ඒ, කොළඹ මීගමු පාරෙන් තොටළඟ හරහා කොළඹට ඇදී එන වාහනද කොළඹ නුවර පාර ඔස්සේ කොළඹට ළඟා වන වාහන ද මෙන්ම කොළඹින් එකී පාරවල් හරහා පිටවන වාහනද හසුරුවාලීමේ භාරදූර වගකීම ඔවුන්ට පැවැරී තිබෙන නිසාය.

එවන් කලබලකාරී ස්ථානයක ට්‍රැෆික් රාළහාමිලා සමග වෙසෙන “සුද්දා”ටද මෙම ස්ථානය ඉතා කාර්යබහුල ස්ථානයක් වී තිබෙන අයුරු ඒ හරහා යනෙන ඕනෑම අයෙකුට දැකිය හැකිය.  

ට්‍රැෆික් රාළහාමි කෙනකු නලාව හඬවා වාහනයකට නැවැත්වීමට අණ කළහොත් නීතිය ක්‍රියාත්මක කිරීමට ඉක්මන් වන්නේ “සුද්දාය” ඒ ට්‍රැෆික් රාළහාමිට පෙර “සුද්දා” එම වාහනය පසුපස දිව යෑමෙනි. මහමග ඇති ඉරි කපා ගමන් ගන්නා වාහන “සුද්දාට” ට පෙන්නන්ට බැරිය. 
 
එහෙත් “සුද්දා” යනු ‍පොලිසියේ ට්‍රැෆික් රාළහාමි කෙනෙක් නම් නොවේ.

“සුද්දා” සුනඛ වර්ගයට අයත් සත්වයෙකි. “සුද්දා” ගැන තවත් විස්තර කරන්නේ නම් ඌ අයත් වන්නේ දේශීය වර්ගයේ, මුහුන් සුනඛ පරම්පරාවටය. ග්‍රෑන්ඩ්පාස් ‍පොලිසියේ රථ වාහන (ට්‍රැෆික්) අංශයේ ‍පොලිස් නිලධාරීන් පසුපස වැටීගෙන සිටින “සුද්දා” ඔවුන් සමග හාදකම් පවත්වන්නට වී වසර දෙකක් පමණ ගත වී ඇත.  

“මම ග්‍රෑන්ඩ්පාස් ‍පොලිසියට ඇවිත් දැන් අවුරුදු හතරක් විතර වෙනවා. මීට අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා තවත් දුඹුරු පාට බල්ලෙක් එක්ක සුද්දා අපේ ‍පොලිසියට ආවේ. ඒ ආපු දා ඉඳල ට්‍රැෆික් අංශයේ තමයි ඉන්නේ. දුඹරු පාට බල්ලා කොහාට ගියාද දන්නේ නැහැ. 

සුද්දා තමයි ඉතිරි වුණේ.” යනුවෙන් සුද්දාගේ වතගොත පැවැසුවේ ග්‍රෑන්ඩ්පාස් ‍පොලිසියේ රථවාහන අංශයේ සේවයේ නියුතු ‍පොලිස් කොස්තාපල් මූර්ති (ඛි 88685)ය.
 
“සුද්දා” අරුම පුදුම සුනඛයෙකි. ග්‍රෑන්ඩ්පාස් ‍පොලිසියේ රථවාහන අංශය ඉදිරියට වී සිටින “සුද්දා” මහමගට පිවිසෙන්නේ සුදු පටි පැළඳ ගත් ට්‍රැෆික් රාළහාමිලා සමග පමණි. 


රථවාහන අංශය හැර අපරාධ අංශය හෝ වෙනත් අංශයක ‍පොලිස් නිලධාරීන් සමග කිසිදු ඇයි හොඳයියක් නොපවත්වන “සුද්දා” කිසිම දිනක ඔවුන් පසුපස ගමන් කරන්නේ නැත. ‍පොලිස් නිලධාරීන්  පිටුපස “සුද්දාට”ට ගමන් කරන්නට නම් ‍පොලිස් නිලධාරීන් “සුදු පටි” පැළඳ සිටිය යුතුමය.  

“සුද්දා” ග්‍රෑන්ඩ්පාස් ‍පොලිසියට පැමිණි මුල් කාලයේදී ගුණසේකර නම් ට්‍රැෆික් රාළහාමි කෙනකු මෙහි සේවය කර ඇත. මෙම සුනඛයාට “සුද්දා” යන නාමය තැබුවේද ගුණසේකර රාළහාමිය. “සුද්දා” දැඩි හිතවත්කම් පෑවේ ඔහු සමගය. එහෙත් හදිසියේම ගුණසේකර රාළහාමි25-2 රථ වාහන අංශයෙන් වෙනත් අංශයකට මාරු කෙරිණි.

එදා සිට “සුද්දා” ගුණසේකර රාළහාමිට පිටුපෑවේය. “සුදු පටි” රහිත ගුණසේකර රාළහාමි සමග පැවැති සියලු සබඳතා “සුද්දා” නවතා දැමුවේ, ඌ පෙම් කළේ “සුදු පටිවලට මිස ගුණසේකර රාළහාමිට නොවන නිසාය. 
 
දිනපතා ග්‍රෑන්ඩ්පාස් ‍පොලිසියේ ට්‍රැෆික් රාළහාමිලා පසුපස දිව යන “සුද්දා” ඔවුන් අසලටම වී කල්ගත කරන්නේ රාජකාරියේ යෙදී සිටින ට්‍රැෆික් රාළහාමි කෙනකු මෙනි. ඉරි පනින වාහන පසුපස බුරාගෙන එළවන “සුද්දා” ඇතැම් විට රථයේ ටයරය සැපීමට තැත් කරන අවස්ථාද ඇත.

 
‍පොලිස් අණින් නැවතෙන වාහන අසලට “සුද්දා” දිව යන්නේ මහා රාජකාරියක් ඉටු කරන්නට මෙනි. “වෙලාවකට සුද්දා අපිට කරදරයක් වෙනවා.

 
වාහනවලට බුරන කොට, ටයර් හපන්න යනකොට සුද්දා හැප්පේවිද කියලා බය හිතෙනවා. ඒත් සුද්දා වාහන මැද්දෙන් බේරිලා යන්නත් අපූරුවට දන්නවා.” යනුවෙන් ග්‍රෑන්ඩ්පාස් ‍පොලිසියේ ‍පොලිස් සැරයන්, විජය කුමාර 3695 පැවැසීය.

 
ඒ කොහොම වුවද මහ මග ඉදිරියට ඇදෙන රථ වාහන වලට “සුද්දාගෙන්” කරදරයක් නැත. පෙළට ඇදෙන රථ වාහන කන්දරාව දෙස “සුද්දා” නිසොල්මනේ බලා සිටියි. සුද්දාගේ බිරුම් ගෙරවුම් එල්ල වන්නේ මාර්ග නීති කඩන රථ වාහනවලට පමණි.

 
ග්‍රෑන්ඩ්පාස් ‍පොලිසියේ රථ වාහන අංශයේ සේවයේ නියුතු රාළහාමිලා පසුපසින්ම යන “සුද්දා” සාමාන්‍යයෙන් ගමන් කරන්නේ ඉඟුරු කඩේ හන්දියටය. එහෙත් ඔරුගොඩවත්ත, කැලණිතිස්ස විදුලි බලාගාරය අසල සේවය සඳහා පිටත් වී යන රාළහාමිලා පිටපුසද “සුද්දා” සමහර දවස්වලට දිව යනු ඇත. 


ඉඟුරුකඩේ හන්දිය හැර අනෙකුත් ස්ථාන කරා සේවය පිණිස පිටත් වී යන ට්‍රැෆික් රාළහාමිලා “සුද්දා”ට හොර රහසින් පිටත් වන්නේ එපමණ දුරක් යෑම “සුද්දා”ට වෙහෙසකර ගමනක් වන නිසාය. එහෙත් ඇතැම් දිනවල හොර රහසින් පිටත් වූ රාළහාමිලා අදාළ තැනට ගොස් වටපිට බලන විට “සුද්දා” පසෙකින් සිටිනු දැකිය හැකිය.
 
“11 වැනි බ්‍රහස්පතින්දා දවල් 2.15 විතර ඉඟුරුකඩේ හන්දියේ ට්‍රැෆික් ලයිට් ක්‍රියා විරහිත වුණා. එදා හවස 6.00 වෙනකම් මම එතන එක දිගට වැඩ කළා. සුද්දාත් දවල් 2.00 ඉඳලා හවස 6.00 වන තුරු මා එක්ක එක දිගට හිටියා, අව්ව,වැස්ස, කියලා සුද්දාට ගණනක් නැහැ. අව්වේ හති දදා ඉන්නවා.” යනුවෙන් සුද්දා ගැන විස්තර කළේ ‍පොලිස් කොස්තාපල් (ඛි 88685) මූර්තිය.

 
සුදු පටි පැළඳි ‍පොලිස් නිලධාරීන් සමග පමණක් හිත මිතුරුකම් පාන “සුද්දා” සුදු පටි නොපළඳින එකම එක ‍පොලිස් නිලධාරියෙකුට පමණක් ගෞරවාචාර දක්වනු ඇත. එසේ ගෞරව දක්වන්නේ ග්‍රෑන්ඩ් පාස් ‍පොලිසියේ ‍පොලිස් ස්ථානාධිපතිතුමාටය. ‍


පොලිස් ස්ථානාධිපතිවරයාව හොඳින් හඳුනන “සුද්දා” ඔහු පැමිණෙන විට වලිගය වනා සිට ගනිමින් සිය ආචාරය පුද කරන්නේ ‍පොලිස් රාළහාමි කෙනෙකු පරිද්දෙනි. ඔහු පැමිණෙන විට ඉඳගෙන සිටීමේ පුරුද්දක්ද “සුද්දාට” නැත. 25-3
සුද්දාගේ නවාතැන වී ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ‍පොලිසියේ රථ වාහන අංශයයි. ඉඳුම් හිටුම් මෙන්ම කෑම බිම සැපයෙන්නේද ග්‍රෑන්ඩ්පාස් ‍පොලිසියේ රාළහාමිලාගෙනි. 


සුද්දා නහවා පිරිසිදු කිරීමට අමතරව තුවාලවලට බෙහෙත් දැමීම වැනි කටයුතු පවා ‍පොලිස් රාළහාමිලා සිදුකරන්නේ ට්‍රැෆික් අංශය සමග හිතවත්කම් පාන “සුද්දා”ට ඔවුන්ගේ කෘතවේදීත්වය පළ කරනු පිණිසය.
 
බල්ලෙකු වුවද “සුද්දා” බත්,මස්, මාළු කෑමට ප්‍රිය නැත. ඌ වඩාත් කැමැත්තක් දක්වන්නේ කේක්, අඩ හා ස්පන්චි කෑමටය.


ග්‍රෑන්ඩ්පාස් ‍පොලිසියේ සිට ඉඟුරුකඩේ හන්දිය දක්වා ගමන් කරන ට්‍රැෆික් රාළහාමිලා මග ඇති කඩවලින් කේක් කෑලි මිලදී ගෙන “සුද්දාට” දෙන තුරු කඩේ දොරකඩට වී බලා සිටින “සුද්දා” කිසිම දිනෙක කඩය ඇතුළට හොම්බ දමන්නේ නැත. සෑම දෙයකටම හොම්බ දමන පුරුද්දක් “සුද්දාට” නැත. එමෙන්ම තමා සිටිය යුතු මායිම ගැනද නිසි අවබෝධයක් සුද්දාට ඇත. 
 
බොහෝ මනුෂ්‍යයන් අතර පවා දක්නට නොලැබෙන එවන් ගති ගුණවලින් හෙබි ට්‍රැෆික් රාළහාමි කෙනකු බඳු වූ “සුද්දා” ගැන අප කතා කරන්නේ එම නිසාය.
 
Related Posts with Thumbnails