Ads 468x60px

.

ඖෂධ පනත යනු කවරය පමණක්‌ ඇලවූ ජනතාවට හිතකර නොවන පනතක්‌ බව


දෙවියන්ගේ පිහිටෙන් කිසිදු ලෙඩක්‌ දුකක්‌ නැති කෙනෙකුට වුවද "හාට්‌ ඇටෑක්‌" හැදෙන අන්දමේ ප්‍රවෘත්ති දෙකක්‌ ඊයේ පුවත්පත්වල පළවී තිබිණි. ඉන් පළමුවැන්න වූයේ හෘද "රෝගීන් දිව යට තබන පෙත්ත හිඟවීම" පිළිබඳ ප්‍රවෘත්තියයි. 

ජී. ටී. එන්. (Glyceryl Trinitrate Tablet) හෘද රෝගීන්ට ලබාදෙනු ලබන අත්‍යවශ්‍ය ඖෂධයකි. හෘද රෝග වේදනාවක්‌ පැමිණි විගස එම ඖෂධය දිව යටින් තබා ගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ
රෝගී තත්ත්වයට පත් අයගේ සිරවී ඇති රුධිර නාල ලිහිල් වි ප්‍රසාරණය වන නිසාය. ඒ අනුව ගත්කළ එවැනි අත්‍යවශ්‍ය ඖෂධයක්‌ එසේ හිඟවීම බරපතළ තත්ත්වයක්‌ බව අමුතුවෙන් කිව යුතු නැත.

දෙවැනි ප්‍රවෘත්තිය වූයේ දැනට ක්‍රියාත්මක ඔසුසල් වලින් සියයට 70 ක්‌ම ලියාපදිංචි කර නොමැති බවය. හදිසියේ බෙහෙතක්‌ ගන්නට යන "ෆාමසි" වල තරම එබඳුය. ප්‍රවෘත්තියට අනුව විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය පසුගිය වසරක කාලය පුරා ඔසුසල් වැටලීම සිදුකර නැත.

මේ නිසාම ඔසුසලක පැවතිය යුතු නියමිත ක්‍රමවේදයෙන් බැහැරව ක්‍රියාත්මක වීම වැළැක්‌විය නොහැකි අතර මෙරට ලියාපදිංචි කර නොමැති ඖෂධ වර්ග පවා අලෙවි කිරීමේ හැකියාව ඉතා වැඩිය.

තත්ත්වය මේ තරම්ම නරක අතට හැරී තිබෙන්නේ නව ඖෂධ පනතද ගෙන ඒමෙන් පසුව වීම අපට "හිසරදය" ඇති කරන්නේය. කොහොමත් ලෙඩට දුකට පත් කෙනෙකුට නිදහස්‌ සෞඛ්‍ය සේවාවක්‌ යටතේ වුව ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. 


ඒ අතරට මුදල් ගෙවා ඖෂධ ලබා ගන්නටත්, මෙවැනි කරදර විඳින්නට සිදුවීමත්, හොර ෆාමසිවලට ජීවිතය උකසට තබන්නට සිදුවීමත් නරක තත්ත්වයකි. ලෙඩෙන් මිය යැම ඊට වඩා සැපතකැයි රෝගීන් කල්පනා කරන්නේ නම් එය සාධාරණය.

පසුගිය දිනවල ඖෂධ පනත ගෙන ආ බවත් එහි ඇති හොඳ නරකත් දිගින් දිගටම කියන්නකි. දාපු සද්දේ තරමට වැඩ නැති බව පෙනෙන්නේ මෙවැනි කාරණා නිසාය. මේ සිද්ධිවලට බලපෑ කරුණු ඖෂධ පනතෙහි තිබූ වගක්‌ අප කියන්නේ නැත. එහෙත් ඖෂධ පනත සකස්‌ කරන විට මෙවැනි කාරණා ගැනද සැලකිල්ලක්‌ දක්‌වන්නට තිබුණු බව අපේ හැඟීමය.

දිවයින පුරා ක්‍රියාත්මක ඔසුසල්වලින් බහුතරයක නිසි පරිදි ඖෂධ ගබඩා නොකිරීම (ඖෂධ ගබඩාවේදී සෙල්සියස්‌ අංශක 25ට අඩු උෂ්ණත්වයෙන් ගබඩා කිරීම) ආහාර හා ඖෂධ එකම ශීතකරණයක බහාලීම, වෛද්‍ය නිර්දේශයන් නොමැතිව ඖෂධ අලෙවි කිරීම, පළපුරුදු ඖෂධවේදීන් ගෙන් තොරව ඔසුසල් පවත්වාගෙන යැම වැනි වැරදි සිදුවන බවද අනාවරණය වේ.

කරුණු එසේ තිබියදී ලියාපදිංචි නොකළ ඔසුසල් සියයට 70 ක සිදුවන දේ ගැන කවර කතාද?

ඉතිං මෙවැනි ප්‍රවෘත්ති දිගින් දිගටම ඇසෙන විට (ඖෂධ පනත සම්මත කිරීමෙන් පසුත්) අපට සිතෙන්නේ නව ඖෂධ පනත යනු මහැදුරු සේනක බිබිලේගේ කවරය පමණක්‌ ඇලවූ ජනතාවට හිතකර නොවන පනතක්‌ බවය. එසේ නැත්නම් අදාළ අංශ මෙවැනි සිදුවීම් වලදී කටයුතු කරන්නේ උදාසීන ආකාරයකින් බවය.
 
Related Posts with Thumbnails