Ads 468x60px

.

"මල් පිපී ඇතැයි ජනතාවට පෙන්වුවත් රටේ ආර්ථිකය වඳ පීදිලා" ඇත්ත ඇති සැටියෙන්...


දේශපාලනඥයන් ජීවත් වෙන්නේ 'පොරොන්දු' වලිනි. ජනතාව ජීවත් වන්නේ ද පොරොන්දු නිසා ය. ක්‍රමය සකස්‌ වී ඇත්තේ එහෙමය. පොරොන්දු කැඩීම දේශපාලනඥයන්ගේ පුරුද්දය. 

පොරොන්දු පසුපස හඹා යැම ජනතාවගේ පුරුද්දය. ආණ්‌ඩුවක්‌ පත්වන විට හැම කෙනෙක්‌ ම සිතන්නේ 'මේ ආණ්‌ඩුව නම් කියපු දේ කරයි' යනුවෙනි. එහෙත් සිදුවන්නේ කියපු දේ වෙනුවට වෙන වෙනදේ කිරීම හා ජනතාව රැවටීමය.

ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති 'කෙළින්ම' කියා තිබුණේ මේ කතාවය. මහින්දගේ ආණ්‌ඩුව ගෙදර යවා මෛත්‍රී පාලනයක්‌ ගෙන ඒම උදෙසා ජවිපෙ ද යම් තරමක කොටස්‌

කරුවකු වී සිටි බව කිව යුතු නොවේ. කාටත් කලින් ඉදිරිය දකින ජවිපෙ කියන මේ කතාව වැදගත් වන්නේ එහෙයිනි.

හඳුන්නෙත්තිගේ කතාවට පෙර යමක්‌ කිව යුතුය. ඒ වත්මන් ආණ්‌ඩුව ද බොහෝ පොරොන්දු දුන් බවය. මේ පොරොන්දු සියල්ලම නොවෙතත් බහුතරය රටේ ආර්ථිකය සමඟ ගැටගැසුණු කාරණා විය. 


කොටින්ම කීවොත් 'සහන' ගැන බොහෝ දේ කී බව අමතක කළ යුතු නැත. සහන දෙන්ඩ නම් විධිමත් වැඩපිළිවෙළක්‌ තිබිය යුතුය. අපට පෙනෙන්නේ එවැන්නක්‌ සිදු නොවන බව ය.

හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ඒ ගැන පැහැදිලි කරන්නේ මෙසේය.

"මේ ආණ්‌ඩුවට මාස පහක්‌ ගත වී ඇතත් තවමත් මේ රටේ යහපත් ආර්ථික ගමනක්‌ සඳහා වන යෝජනා අණපනත් කිසිවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නැත."

හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ කතාවට ආණ්‌ඩුවට උත්තරයක්‌ තිබිය හැකිය. දිය හැකි යෑයි අනුමාන කළ හැකි පිළිතුරු කිහිපයක්‌ අපි දක්‌වමු.

* දින සියයට කරපු දේ මදිද?

* පසුගිය ආණ්‌ඩුවට අවුරුදු දහයක්‌ ගිහිල්ලත් කරන්න බැරි වැඩ අපිට මාස පහෙන් කරන්න පුළුවන්ද?

* මේ ආණ්‌ඩුව තවමත් ස්‌ථාවර නෑ. ඉදිරි මැතිවරණයකින් පසු අපේ ආණ්‌ඩුවකින් අපි නිශ්චිත ආර්ථික වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් කරනවා.


මේ කවර පිළිතුරක්‌ ලබා දුන්නද පත්වන කවර ආණ්‌ඩුවකට වුවද ලේසියෙන් ගැලවෙන්නට බැරි ප්‍රශ්න තිබේ. අපි මුලින් සඳහන් කළාක්‌ මෙන් දුන් 'පොරොන්දු' ඒ උත්තර න්‍යාය පත්‍රයට අදාළ නොවේ.

සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ කතාවෙන් එය පැහැදිලි කර ගනිමු.

'' අතුරු අයවැයෙන් සමෘද්ධි දීමනාව රුපියල් තුන්දහස දක්‌වාත්, මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් පන්දහස දක්‌වාත් වැඩි කරන බව කීවා. ඒත් ඒ යෝජනා පාර්ලිමේන්තුවේදී විවාද කරලා ක්‍රියාවට නංවන්න ආණ්‌ඩුව කටයුතු කරන්නේ නෑ. රට පුරා ඉදිකිරීම් වැඩ නතර වෙලා. 


ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ හැත්තෑදහසකගේ පමණ රැකියා අහිමි වෙලා. සතොසට භාණ්‌ඩ මිලදී ගැනීම නතර වෙලා. ජනතාවට අවශ්‍ය භාණ්‌ඩ දැන් සතොසේ නෑ· (සතොස දැන් සතොසේ නොව දුකසේය) රටේ ආර්ථිකය දැන් සම්පූර්ණයෙන් ම අරාජික වෙලා..."

අප නොකීවද තත්ත්වයේ බරපතළකම එසේය. මේ කිසිවක්‌ අප විසින් අනුමාන කළ 'උත්තර' මගින් මඟහැරිය හැකි දේවල් නොවේ. කළ හැකි දේය. දුන් පොරොන්දුය.

පසුගිය ආණ්‌ඩුවෙන් රුපියල් හතළිස්‌දහසත් පනස්‌දහසත් අතර මුදලකට රජයේ සේවකයන්ට යතුරුපැදි ලබා දුන්නේය. මේ ආණ්‌ඩුව පත්වන්නට පෙර කීවේ තමන් පැමිණි පසු ඒවා නොමිලයේම ලබා දෙන්නට කටයුතු කරන බවය. 


කෙසේ හෝ රුපියල් දෙලක්‍ෂයකට වඩා වටිනාකමින් යුත් යතුරු පැදියක්‌ ලබා ගැනීම වෙනුවෙන් බොහෝ දෙනෙක්‌ රුපියල් පනස්‌දහසක මුදල බැන්දේ මුදු, වළලු, කරාබු ආදී රන් භාණ්‌ඩ උකස්‌ කරමිනි. අමාරුවෙන් ඉතිරි කරගත් මුදල් ඒ සඳහා යොදවමිනි, ණය ලබා ගනිමිනි.

තවමත් බොහෝ දෙනෙකුට නොමිලයේ තබා, ගෙවූ මුදලටවත් යතුරු පැදි නැත. ණය වූ තැන්වලට පොලී බඳිමින් හූල්ලනවා හැර ඔවුනට කළ හැකි දෙයක්‌ ද නැත. තත්ත්වය එසේ තිබියදී ප්‍රාදේශීය දේශපාලනඥයන් යතුරු පැදි දෙක බැගින් ලබා ගත් බවටද තොරතුරු වාර්තා විණි. 


කෙසේ හෝ මේ සියල්ල සිදුවන්නේ නිසි ආර්ථික කළමනාකරණයක්‌ නොමැති වීම නිසා බව පෙනෙන්නට තිබේ. "මල් පිපී ඇතැයි ජනතාවට පෙන්වුවත් රටේ ආර්ථිකය වඳ පීදිලා" යෑයි සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කියන්නේ එහෙයිනි. 

පසුගිය බ්‍රහස්‌පතින්දා රූපවාහිනි වැඩසටහනකදී සුනිල් හඳුන්නෙත්ති මේ ප්‍රශ්නය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාට ඉදිරිපත් කළ විට ඔහුට නිසි පිළිතුරක්‌ දෙන්නට (ගොතාගන්නට) නොහැකි විය. ජනතාවට අවශ්‍ය වන්නේ ඒ පිළිතුරය.
 
Related Posts with Thumbnails