Ads 468x60px

.

අභිමානවත් ජාතික නිදහස්‌ දින සමරුව හෙට ගාලු මුවදොරදී...


එකම දැයක්‌ - මහ බලයක්‌ යන තේමාව පෙරදැරිව 68 වැනි ජාතික නිදහස්‌ දිනය ගාලු මුවදොර පිටියේදී හෙට (04 දා) අභිමානවත් ලෙස සැමරේ.

සම්මුතිවාදී ආණ්‌ඩුව පිහිටුවීමෙන් පසු සමරනු ලබන පළමු ජාතික නිදහස්‌ උත්සවය හෙට පෙරවරු 8 ට ආරම්භ වේ. "නිදහසේ හදගැස්‌ම" ලොව දකින මනමවන - පෙරදැක්‌ම නමින් සංස්‌කෘතික සහ සංගීත

ප්‍රසංගයක්‌ ද හෙට සවස 7 ට ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට ආණ්‌ඩුව සැලසුම් කර ඇත.

මෙවර නිදහස්‌ උත්සවයට සමගාමීව ඊයේ (02 දා) සිට සර්ව ආගමික වතාවත් ආරම්භ කෙරිණි. නිදහස්‌ චතුරස්‍රයේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්‌ පැවැත්වීමෙන් එම ආගමික වතාවත් ආරම්භ විය.

අද (03 දා) පෙරවරු 7 ට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්‌ථානයේදී සංඝගත දක්‍ෂිණාවක්‌ පිළිගැන්වේ.

68 වැනි ජාතික නිදහස්‌ දිනය යෙදෙන හෙට පෙරවරු 6.30 ට කොළඹ පොල්වත්ත ධර්ම කීර්ත්‍යාමයේදී බෞද්ධ ආගමික වතාවත්ද, කොළඹ 13 ශ්‍රී පොන්නම්බල වානේෂ්වර දේවස්‌ථානයේදී හින්දු ආගමික වතාවත්ද මරදාන ජුම්මා මුස්‌ලිම් දේවස්‌ථානයේදී ඉස්‌ලාම් ආගමික වතාවත් හා බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්‌ථානයේදී කතෝලික දේව මෙහෙයක්‌ ද බ්ලූමැන්ඩල් මාවතේ පිහිටි ක්‍රිස්‌තියානි රෙපරමාදු දේවස්‌ථානයේදී ක්‍රිස්‌තියානි දේව මෙහෙයක්‌ ද සිදුකෙරේ.

එදින පෙරවරු 7.30 ට මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්‌වීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

ජාතික නිදහස්‌ දින සැමරුම් උළෙල හෙට පෙරවරු 8.00 ට ඇරඹේ. ආරාධිත අමුත්තන් ගාලු මුවදොර පිටියේ විශේෂ පීඨිකාවේ අසුන් ගැනීමෙන් අනතුරුව බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ සහ එම මහත්මියගේ පැමිණීම සිදුවේ.

අනතුරුව බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාර කේ. සී. ලෝගේෂ්වරන්, ස්‌වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නිමල් ලාන්සා, ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, කථානායක කරු ජයසූරිය, අගමැති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන් හා මහත්මීන් ද සමඟ පිළිවෙළින් උත්සවයට පැමිණීමට නියමිතය.

පෙරවරු 8.50 ට මඟුල් බෙර වාදනය සහ ජය සක්‌ හඬ මධ්‍යයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික ධජය එසවීම සිදු වේ. එම අවස්‌ථාවේ පාසල් සිසු සිසුවියන් 100 දෙනකු විසින් ජාතික ගීය ගායනා කිරීම සිදු වේ.

අනතුරුව ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්‌පති සහ ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී විසින් ජනාධිපතිවරයා විශේෂ පීඨිකාවක්‌ වෙත කැඳවාගෙන යන අතර පාසල් සිසු සිසුවියන් විසින් ජය මංගල ගාථා සහ දේවෝ වස්‌සතු කාලේන ගාථාව ගායනා කරනු ඇත.

දේශය වෙනුවෙන් දිවි පිදූ සියලුම ශ්‍රී ලාංකිකයන් අනුස්‌මරණය කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්‌ පළකිරීමත් ඉන් අනතුරුව ජනාධිපති උත්තමාචාර දැක්‌වීමට ආචාර වෙඩි මුර 21 ක්‌ පිරිනැමීම සිදුකෙරේ.

අනතුරුව පෙරවරු 9.15 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජාතිය ඇමතීම සිදුකෙරේ. පසුව ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක බළකායේ ආචාර පෙළපාලිය පැවැත්වේ.

ජාතික දින නිදහස්‌ උත්සවය සමාප්ත කරමින් ජනාධිපති, අගමැති ප්‍රමුඛ පිරිස පිටත්ව යැමෙන් අනතුරුව දහවල් 12 ට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමස්‌ත ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 25 ක්‌ පිරිනැමීම සිදුවේ.

මෙවර නිදහස්‌ දිනය වෙනුවෙන් ගාලු මුවදොර පිටියේදී රාත්‍රි 7.00 ට සංස්‌කෘතික හා සංගීත ප්‍රසංගයක්‌ ද පැවැත්වෙන අතර ඊට විවිධ නර්තන ගායනා ද ඇතුළත් කර ඇත.
 
Related Posts with Thumbnails