Ads 468x60px

.
ලංගම බස් වර්ජනකට අර අදින බව පිටකොටුව පොලිසිය කියයි’

ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයෙකුට අතින් පහරදී ප‍්‍රවේශ පත‍්‍ර පොත හා රුපියල් 8,000 ක මුදලක් පැහැරගත් සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ සිදුකරණ බව පිටකොටුව පොලිසිය අද (06) මහේස්ත‍්‍රාත් අධිකරණයට දැන්වීය.

කොටුව පොලිසිය මෙම දැනුම්දීම කරනු ලැබුවේ සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් දෙදෙනෙකු කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියට පමුනවමිනි.

ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලයේ කැකිරාව ඩිපෝවට අනුයුක්තව කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කරනු ලබන අන්වර් මොහොමඞ් නජායිඞ් නැමැති අය විසින් අද (06) අලූයම පිටකොටුව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණවා තිබිණි.

සැකකරුවන් දෙදෙනා සහෝදරයන් වන අතර  ඔවුන් ලබන ජූලි 12 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ තැබීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මෙසේ රිමාන්ඞ් බාරයට පත්වූයේ ගලබඩආරච්චිගේ සමන් පි‍්‍රයංකර හා ගලබඩආරච්චිගේ සම්පත් පෙරේරා යන පුද්ගලයන් දෙදෙනාය.
අදාළ සැකකරුවන් ඇතුළු පිරිසකගේ පහර කෑමට ලක්වූ කොන්දොස්තරවරයා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවද කොටුව පොලිසිය අධිකරණයට දැන්වීය.

මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ ආරම්භකර ඇති බවත්, අදාළ පහරදීමට විරෝධය දක්වා ලංගම බස් රථ සේවකයන් අද වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සුදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

අද (06) අලූයම කොළඹ සිට ගලෙන් බිඳුනුවැව දක්වා ගමන් කිරීම ආරම්භ කළ ලංගම බස් රථයට ගොඩවී සිටි අයෙකුට ටෙක්නිකල්  මංසන්ධිය ආසන්නයේදී බසයෙන් බැසීමට අවශ්‍ය බව පැවසුබවත් පසුව බස් රථය නවත්වනවාත් සමඟ තමාගේ අතට පහරක් එල්ලකරමින් ඔහු බැස ගැනීමත් සමඟ මෙම ගැටුම ඇතිවූ බවත් කොන්දොස්තරවරයා කළ පැමිණිල්ලේ සඳහන් වේ.

එම අවස්ථාවේ තමා සන්තකයේ රුපියල් 12,730 ක මුදලක් තිබූ බවත් සිද්ධියෙන් පසුව තමා අත තිබූ මුදල්වලින් රුපියල් 8000 ක් හා ප‍්‍රවේශපත් පොත අස්ථාන ගතව ඇතැයි ද ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 
Related Posts with Thumbnails