Ads 468x60px

.

මම තෘප්තිමත් නැහැ ආරධනාවක් ලැබුණොත් පිළිගන්නවා - රොහානි

නාගරික කාන්තාවක් වුවත් චිත්‍රාංගනී නගරයෙන් සැතපුම් ගණනක් දුර ගෙවා ගෙන රාජාංගනයට ගියේ තම එකම දියණියගේ සතුට වෙනුවෙන්. තම සහෝදරයාගේ පුතාට උක්කුවා ගුරුන්නාන්සේ ලවා සීනි මතුරවා දීම ඇගේ එම ගමනේ අරමුණයි. රොහානි වීරසිංහ.

 
ඉතින් චිත්‍රාංගනී අපිටත් උක්කුවා ගුරුන්නාසේගේ ගෙදරට යන පාර කියනවාද?
මේ දවස්වල මගෙන් හැමෝම අහන්නෙ ඔය වගේ ප්‍රශ්නමයි.
දෙරණ නාලිකාවෙන් විකාශය වන මලී ටෙලි නාට්‍යයේ චිත්‍රාංගනීගේ චරිතයට ජීවය දෙන රොහානි වීරසිංහ මෙලෙසින් අප හා ලෙන්ගතු කතා බහකට මුල පිරුවා.
රොහානි මොකද හිතෙන්නෙ චිත්‍රාංගනී ගැන?
ඇත්තටම චිත්‍රාංගනී චරිතය මම කළේ හරිම ආසවෙන්. ඒ චරිතයට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චිත්‍රාංගනී වගේ අය මේ සියවසෙත් නාගරික සමාජය තුළ ඕනෑ තරම් ඉන්නවා.
ඇයි මේ හැමදාම නාගරික චරිතම රඟපාන්නේ?
මට ලැබිලා තිබෙන චරිත බොහෝමයක්ම නාගරික චරිත. මට යම් පරාසයක විහිදුණු රංගන කුසලතාවක් තිබුණත් තවම මට ඒ කුසලතාව ප්‍රායෝගිකව ප්‍රේක්ෂකයා ඉදිරියේ ගෙනහැර දක්වන්න අවස්ථාව ලැබිලා නෑ. ඒ නිසයි මම කියන්නේ මගේ රංගන ජීවිතය ගැන මම තෘප්තිමත් නෑ කියලා.
ඔබ රංගනයේ යෙදෙන්න කැමැති සුවිශේෂී චරිත තියෙනවාද?
ජීවිතයේ නොයෙකුත් ආකාරයේ හැල හැප්පීම්වලට මුහුණ දෙන ධෛර්යවන්ත දේශපාලනඥවරියකගේ චරිතයක් කරන්න මම බොහෝම ආසාවෙන් ඉන්නෙ. ඒ වගේම ආදීවාසී කාන්තාවකගේ චරිතයක් හෝ දුෂ්කර ගමක ගැමි කාන්තාවකගේ චරිතයකට මට ආරධනාවක් ලැබුණොත් මම ඒ චරිත සතුටින් පිළිගන්නවා. මට අවශ්‍යයි නාගරික, ධනවත් කාන්තාවගේ චරිතයෙන් මිදෙන්න.
රෝහානි වීරසිංහ හුදෙක් රංගන ශිල්පිනියක් පමණක්ම නෙවෙයි.
ඔව්, මම කලා ක්ෂේත්‍රයේ නිෂ්පාදිකාවක් ලෙසත් කටයුතු කරලා තියෙනවා. නමුත් නිෂ්පාදිකාවක් විදිහට මා ලැබූ අත්දැකීම් සියල්ල සමාලෝචනය කළොත් එහි තියෙන්නෙ මිහිරි අත්දැකීම්වලට වඩා අමිහිරි අත්දැකීම්. නමුත් මම ඉදිරියේදී විධායක නිෂ්පාදකවරියක් ලෙස හොද නිර්මාණයක් අපේ ප්‍රේක්ෂකයින්ට ආදරයෙන් තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා.
රංගන ශිල්පිනියක් ලෙස ජනාදරයට පත් රොහානිට විවිධාකාර ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා ඇති නේද?
අපොයි ඔව්. කිඳුරංගනා ටෙලි නාට්‍යයේ මම කළේ ටිකක් නපුරු චරිතයක්. ඒ දවස්වල මාව දකින කොට පුංචි ළමයි අඬනවා. දවසක් මට එක කාන්තාවක් කිව්වා, නෝනව ටී. වී එකේ පෙන්නන කොට මට ටී. වී. එක පොළොවෙ ගහන්න හිතෙනවා. ඒ නිසා නෝනා මේ පැත්තෙ නම් එන්න එපා. මම මොනවා කරයිද කියලා මටම හිතා ගන්න බෑ කියලා. හැබැයි මේ කිසිම ප්‍රතිචාරයක් ගැන මට දුක හිතුණෙවත්, තරහා ගියේවත් නෑ. ඒ හැම ප්‍රතිචාරයකටම මම ප්‍රතිචාර දැක්වූවේ සුහදශීලී සිනහවකින්.
රොහානිට මෙවැනි ප්‍රතිචාර ලැබුණේ තමන්ට ලැබුණු චරිතයට සාධාරණයක් කළ නිසයි. රොහානිගේ ඉදිරි කලා නිර්මාණ ගැන දැන ගන්නත් ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයින් කැමැත්තෙන් ඇති. ඉදිරියේදී දියතක සෙනෙහස, තුෂාරයෙන් දිය දෝතක්, සඳ වසන්තය සහ මායා මන්ත්‍රිී යන ටෙලි නාට්‍යවලින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඊට අමතරව සාජන්ගේ නැන්දම්මා වේදිකා නාට්‍යයත් සමඟ, යුරෝපීය රටවල සංචාරයක යෙදෙන්නත් බලාපොරාත්තු වෙනවා.
 
Related Posts with Thumbnails