Ads 468x60px

.

මම ගුවන් නියමුවරියක් වෙන්න ආසයි - රයිනි චාරුකා

සංගීත පවුලක ආභාෂය ලැබ මෙරට සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන ඇය පළමුව ප්‍රේක්ෂක අවධානය දිනාගන්නේ "ඩැඩී" සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා සමග ගායනා කළ "නීල කඳු ගැටේ" ගීතය තුළිනි. එතැන් සිට ගායන ශිල්පිණියක ලෙස ඔබ හඳුනාගන්නා ඇය "සිංහාවලෝකනය" චිත්‍රපටය සඳහා සිය කුළුඳුල් රංගන දායකත්වය ලබාදෙමින් රංගන ශිල්පිණියක ලෙස ද කලා ක්ෂේත්‍රයට සිය නම එක්කරයි.
එම චිත්‍රපටය සඳහා රුවන් හෙට්ටිආරච්චි සමග ගායනා කළ "මතකද හැන්දෑවේ අපි දෙන්නා", චින්ති සමග ගායනා කරන "තරු මිණි ඔච්චම් පාමින" වැනි ගීත තුළින් ද ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියත්වයට පත්වීමට ද ඇය සමත්වූවාය.ඇය ප්‍රවීණ ගායක යුවලක් වන රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා මහත්මියගේ ආදරණිය දියණිය රයිනි චාරුකාය. . .

*රයිනි, කොහොමද ඉතින් ජීවිතේ?
මම මේ දවස්වල නත්තල් ගී තැටියක පටිගත කිරීම් කටයුතුවල යෙදිලා ඉන්නවා. මේ වසරේ නෙමෙයි ලබන වසරේ තමයි එය එළිදක්වන්න බලාපොරොත්තු වෙන්නේ.

*ඔබේ අධ්‍යාපන වැඩ කටයුතු ගැනත් මතක්කළොත්?
මගේ අධ්‍යාපනයට තමයි මම හැමවෙලේම අංක එක දීලා තියෙන්නේ. නත්තල් නිවාඩුව නිසයි මම මේ දවස්වල ලංකාවේ ඉන්නේ. මගේ උපාධියේ තෙවන වසරෙ මම අධ්‍යාපනය හදාරන්නේ. මට තව වසර 3 ක් පමණ තියෙනවා සම්පූර්ණ කරන්න. ගුවන්යානා හැසිරවීම සම්බන්ධවයි මම ඉගෙනගන්නේ. ගුවන් නියමුවරියක් වෙන්න මට ලොකු ආසාවක් තියෙනවා.

*රයිනි, සිංහාවලෝකනය චිත්‍රපටයෙන් පස්සේ නැවතත් රංගනයට සම්බන්ධ වුණේ නැද්ද?
 අදහසක් තියෙනවා. මට ගොඩක් අධ්‍යක්ෂවරුන්ගෙන් ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් මට ඒ සඳහා වෙලාවක් නෑ. මොකද මම මාස කිහිපයක් වෙනුවෙන් ලංකාවට එන්නේ මැයි මාසයේදී. අගෝස්තු විතර වෙනකං ලංකාවේ ඉන්නවා. ඒ කාලයේ දී රූගත කිරීම් කෙරෙනවා නම් පමණයි මම චිත්‍රපටයට දායකවෙන්නේ. නැත්නම් ඉතින් බෑ කියනවා. මම අධ්‍යාපනය මූලිකත්වය දෙනවා. මේ දවස්වල නත්තල් නිවාඩුවට තමයි ලංකාවට එන්න ලැබුණේ.

*ඔබ වැඩියෙන් කැමැත්තක් දක්වන්නේ රංගනයටද? ගායනයටද කියලා ඇහුවොත්?
ගායනය තමයි ‍පහසුම. පටිගත කිරීම් කළා, වීඩියෝවක් කළා, ගීතය එළිදක්වනවා. කාලය වැයවන්නේ නෑ. රංගනය සඳහා කාලය අවශ්‍යයි. මට කාලය නැහැ. අධ්‍යාපනයට මුල්තැනක් දෙන නිසා මට ලැබෙන කාලය අඩුයි. මොන රටේ හිටියත් මම හරිම කාර්යයබහුලයි. කාලය යෙදෙන විදිහට තමයි මම වැඩ කටයුතු කරන්නේ. 

*රයිනි,  ඔබේ බලාපොරොත්තුව දිගටම විදේශයේ රැඳීඉන්නද?
 මම දිගටම විදේශගතව ඉඳීවි. දැන් වගේම ලංකාවට ඇවිල්ලා යන්න එයි. ඒත්, මම අමෙරිකාවෙම ඉඳීවි. 


*මෙරට කලාවට සම්බන්ධ වෙන්න ඔබට ලැබුණු අවස්ථාව ගැන ඔබ සතුටට පත්වෙනවද?
අනිවාර්යයෙන්ම. මම ගුවන් නියමුවරියක් වෙන්න ආසයි. ඒත්, කලාව තමයි මගේ ලේවල ගමන් කරන්නේ. අනිත් දේවල් කරද්දි මට මහන්සිය දැනෙනවා. නමුත් සින්දු කියද්දි, රඟපාද්දි මට ඒ මහන්සිය දැනෙන්නේ නෑ. ඕනෑතරම් ඒ වෙනුවෙන් මහන්සිවෙන්න පුළුවන්. කලාවට කොයිතරම් ආසවුණත් මම හිතන්නේ නෑ ලංකාවේ දැන් තියෙන ආර්ථික තත්ත්වය අනුව මට ඒ සඳහා පමණක් දායකවෙන්න පුළුවන් කියලා.   

*අපේ රටේ නව පරපුරේ ගායන ශිල්පීන් වැඩි නැඹුරුවක් දක්වනවා ජාත්‍යන්තරය වෙනුවෙන් සංගීත නිර්මාණ කරන්න. ඔබට එවැනි අදහසක් නැද්ද?
ජාත්‍යන්තරයට යන්න තියෙනවා නම් කොච්චර හොඳද? නමුත් ලංකාවේ හොඳ ආර්ථිකයක් තියෙනවා නම් ජාත්‍යන්තරයට යන්නම ඕන කියලා මම හිතන්නේ නෑ. ඒ තත්ත්වය අපේ රටේ තියෙනවා නම් අපි නිකම්ම අනිත් රටවල් සමග සබඳතා ගොඩනගාගන්නවා. ඕනම කෙනෙක් කැමති ජනප්‍රියවෙන්න. මුළු ලෝකයක්ම තමන් දැනගන්නවට කවුද අකමැතිවෙන්නේ. මමත් ජාත්‍යන්තරයට යන්න අනිවාර්යයෙන්ම කැමතියි.

*රයිනි, සාමාන්‍ය ජීවිතයේ දී මොනවගේ කෙනෙක්ද?
මාව මුලින්ම දකින කෙනෙක් හිතන්නේ මම ආඩම්බර, අහංකාර කෙනෙක් කියලා. මම ටිකක් ආඩම්බරයි. ඒත්, පොඩ්ඩක්වත් අහංකාර නෑ. අපේ භාෂාවෙන් කියනවා නම් මට ටිකක් පිස්සු. මම බොහොම විවෘත කෙනෙක්. මට කියන්න ඕන දේ කෙලින්ම කියනවා. මම හිතනවා මට කෙනෙක්ව හොඳින් තේරුම්ගන්න පුළුවන්. මිත්‍රශීලීයි. ඉගෙනගන්න නැති තරමට ගොඩක් ආසයි. ඒත්, දැන් කාලයත් එක්ක ඒක කරන්න බෑ. ගොඩක් සතුටින් ඉන්න කැමතියි. 


*තවමත් නව යොවුන් වියේ සිටින කෙනෙක් විදිහට ඔබ බොහෝ යහළු යෙහෙළියන් ඇසුරු කරනවා ඇති? කොහොමද ඔවුන් සමග ගතකරන ජීවිතය?
මම පුංචි කාලේ ඉඳන්ම ජාත්‍යන්තර පාසලක ඉගෙනගත්තේ. ඒ පාසලට මාව ඇතුළුකරද්දිම තාත්ති මාව පාටිවලට යන්න නම් අහන්න එපා කියලා පොරොන්දු කරගත්තා. මම සාමාන්‍යයෙන් තාත්තිට වෙන හැම පොරොන්දුවක්ම රකිනවා. අනිත් අයට වුණු පොරොන්දු නම් කඩලා තියෙනවා. ඒක නිසා මට පාසලේ දී ගොඩක් යාළුවෝ හදාගන්න බැරිවුණා. දැන් නම් ඉතින් ෆේසුබුක් එහෙම තියෙන නිසා කතා නොකළ යාළුවොත් දැන් කතාකරනවා. ගොඩක් වෙලාවට මම යාළුවෝ ගෙදරට ගෙන්න ගන්නවා. ඒ වගේ ගෙදරදි ඔවුන් සමග විනෝද වෙනවා විතරයි.  

*ඔබේ නැගණියත් තවම පාසල් යන වයසේ. ඉතින් කොහොමද ඇය සමග කාලය ගතවෙන්නේ?
මට එයාගේ පාසල් වැඩවලට උදව් කරන්න වෙන්නේ නෑ. මොකද මම ලංකාවේ නෑ. නංගි ලංකාවේ ඉන්නේ. නංගි ගොඩක් තනියෙන් වැඩ කරන කෙනෙක්. ඇයට වයස අවුරුදු 13 ක්. අපි දෙන්නා හැමවෙලේම රණ්ඩුකරනවා. ඉතින් අපි දෙන්නා නම් දවස ගතකරන්නේ එහෙමයි. මම ගෙදරදි ටිකක් දඟකරලා ඉන්න කෙනෙක්. නමුත් නංගි එහෙම නෑ. ඇය තරමක් නිහඬ, තැන්පත් කෙනෙක්. වැඩිය දඟලන්නේ නෑ. සමහර වෙලාවට මම එයාට බනිනවා එහෙම ඉන්නවා කියලා.

*ඔබේ ජීවිතයේ ආදරය සඳහා තිබෙන ඉඩකඩ ගැන කතාකළොත්?
 ඒ අවශ්‍ය කෙනාට අවශ්‍ය තැන දීලා තියෙනවා. ඔහු ලංකාවේ කෙනෙක්. ඉන්නේ අමෙරිකාවේ.

*ඔබේ ප්‍රේක්ෂකයින්ගෙන් ආදර යෝජනා එහෙම ලැබුණු අවස්ථා නැද්ද?
ගොඩක් වෙලාවට, කෙටි පණිවිඩ, ලිපි ආදිය තමයි ලැබෙන්නේ. ඒ වගේ ලියුමක් ලැබුණොත් මම පිළිතුරු ලියන්න ටිකක් පැකිලෙනවා. මොකද එයින් ඔහුගේ බලාපොරොත්තු තව වැඩිවෙන්න පුළුවන්. ඒ නිසා මම කැමති නෑ එහෙම කරන්න. නමුත් මට එන හැම ලිපියකටම, පණිවිඩයකටම මම පිළිතුරු ලබාදෙනවා. 

*රයිනි, ඔබ සාමාන්‍ය ජීවිතයේ වඩාත් සංවේදීවෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?
මගේ පෞද්ගලික ජීවිතයේ මගේ පවුලේ සාමාජිකයින් සම්බන්ධ කරුණුවලදී මම සංවේදී වෙනවා වැඩියි.

*ඔබේ මව්පියන්ගේ වැඩ කටයුතු කොහොමද මේ දවස්වල?
මම මුලින් කිව්ව නත්තල් තී ගැටිය සඳහා ඔවුනුත් දායකවෙනවා. එය පවුලම එකතුවෙලා කරන දෙයක්. ම‍ගේ නංගිත් පළමුවැනිවරට ඒ වෙනුවෙන් ගීත ගායනා කරනවා. ඒ දේවල් තමයි මේ දවස්වල වෙන්නේ. 

 

*පසුගිය කාලේ ඔබේ පවුලට විවිධ ගැටලුවලට මුහුණදෙන්න සිදුවුණා. එතැන් සිට අද දක්වා පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ?
අපි හැමවෙලේම පවුලක් විදිහට එකට හිටියා. හැමදේටම එකට මුහුණ දුන්නා. ඉතින් අද ඉන්න තැන දිහා බලද්දි ඇත්තටම සතුටුයි. උඩ කෙනෙක් බලං ඉන්නවා. එයා දන්නවා ඇත්තටම මොකද වෙලා තියෙන්නේ කියලා. මම කතෝලිකයෙක් විදිහට කිසිම කෙනෙක්ට වැරදි කියන්නේ නෑ. ලැබිය යුතු දෙය ඔවුන්ට ලැබේවි. අපි පැත්තකට වෙලා ඉන්නවා.

*කලා කටයුතු වගේම, ඔබ බලාපොරොත්තුවන වෘත්තියෙනුත් කවදා හෝ හදිසියේම සම්පූර්ණයෙන්ම ඉවත්වෙන්න සිදුවුණොත් ඔබේ ජීවිතය මොනවගේ පැත්තකට යොමුවෙයිද?
සාමාන්‍ය ගෘහණියක් විදිහට මාව දකින්න පුළුවන් වෙයි.

 *ඔබට තරුණයකුගෙන් ප්‍රථමවරට ආදර යෝජනාවක් ලැබුණේ වයස අවුරුදු කීයෙදිද?
 අවුරුදු 13 දී.

*කලා ක්‍ෂේත්‍රයේ ශිල්පියෙකු පිළිබඳව ඔබ තුළ කවදා හෝ ආදර හැඟීමක් ඇතිවෙලා තිබෙනවාද?
 නැහැ.

*ඔබට එක් අවස්ථාවක යුග ගීයක් ගායනා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ සඳහා ඔබට ගායකයින් තිදෙනෙකු අතරින් එක් අයෙක් තෝරාගන්න අවස්ථාව ලැබෙනවා. ඔවුන් ගයාන් පෙරේරා, චින්ති සහ ශිහාන් මිහිරංග. ඔබ තෝරගන්නේ කවුද?
ගයාන් පෙරේරා.

*කවදා හෝ ඔබ ඔබේ සහකරු ලෙස තෝරාගත් පුද්ගලයාගෙන් ඔබ පළමුව බලාපොරොත්තු වූ ගුණාංගය?
මගේ ජීවිතය තේරුම් ගැනීම.

*ඔබ තුළ ඔබ දකින අයහපත්ම ගතිගුණය?
 විවෘතව කතාකිරීම.

*ඔබේ බාහිර රූපයේ කිසියම් වෙනසක් සිදුකර ගැනීමට ඔබට අවස්ථාවක් ලැබුණොත් ඔබ කැමති මොනවගේ වෙනසක් සිදුකරගන්නද?
 කෙට්ටුවෙන්න.

සම්පූර්ණ නම
මේරියන් රයිනි චාරුකා ගුණතිලක

උපන්දිනය
1991 අප්‍රේල් 10

ලග්නය
මේෂ

ජීවිතයේ වඩාත්ම ගරුකරන පුද්ගලයා
දෙවියන් වහන්සේ

ප්‍රියතම විලාසිතාව
 ඩෙනිමයි, ටී ෂර්ට්

පදිංචිය
නිව්යෝර්ක්, අමෙරිකාව


 
 

 
Related Posts with Thumbnails